දුමින්ද යළි උසාවි යයි – විජයදාසට ඉල්ලූ වාරණය අහකට

205

තමන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් සිදුකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතුවලට බාධා කිරීම වළක්වන වාරණ නියෝගයක් විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් ඊයේ (16දා) පෙරවරුවේ ප්‍රතික්ෂේප කරන ලදී.

එම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම්කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර යන මහත්වරුන්ගේ ලිපිනය ලෙස ටී. බී. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ලිපිනය සඳහන් කර ඇති බැවින් එම පෙත්සම විභාගයට ගැනීමට අධිකරණයට නොමැති බව කියමින් දෙවන වගඋත්තරකාර විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කොට ඇති මූලික විරෝධතාවය තම අධිකරණය පිළිගන්නා බව පෙන්වා දුන් විනිසුරුවරයා එම නියෝගය කළේය.

කෙසේ නමුත් පැමිණිල්ලේ පවතින එකී අඩුපාඩු සංශෝධනය කර නැවත සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමේ අයිතිය පැමිණිලි පාර්ශ්වයට ඇතැයිද විනිසුරු සඳුන් විතාන මහතා එම නියෝගය නිකුත් කරමින් පැවසීය.

ඒ අනුව දුමින්ද දිසානායක මහතා ඊයේ (16දා) දහවල් සංශෝධිත පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර එම සංශෝධිත පෙත්සම කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය හමුවේදී ඊයේ (16දා) පස්වරුවේ කැඳවිණි. වගඋත්තරකාර පාර්ශ්වයට ඒ සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමකින් තොරව එම සංශෝධිත පෙත්සම ගොනු කර ඇති බැවින් එය සලකා බැලීමට හෝ කරුණු තහවුරු කිරීමට අවසර ලබානොදෙන ලෙස විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය. ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින් උදෑසන නිකුත් කරන ලද නියෝගය ප්‍රකාරව සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට පැමිණිල්ලට අවසර ලබාදී ඇති බැවින් තම සේවාදායකයා එම සංශෝධිත පෙත්සම ඉදිරිපත් කළ බව ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට පැවසීය.

එම සංශෝධිත පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 20 වැනිදා කැඳවීමට අතිරේක දිසා විනිසුරු චමරි ජයසූරිය මහත්මිය නියෝග කළාය. මේ අතර විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශ්වයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්ත මහතා ගොනුකර තිබූ පෙත්සමක්ද කරුණු තහවුරු කිරීම සඳහා එදිනම කැඳවීමටද අතිරේක දිසා විනිසුරුවරිය නියෝග කළාය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment