දුරකථනයෙන් හැලුණු දමිතා ලියුම් පෙට්ටියට

299

සමගි ජන බලවේගයෙන් නාම යෝජනා අහිමි වූ ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ඊයේ (21දා) ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමග එක්වූවාය. කොළඹ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයට පැමිණි ඇය එම පක්‍ෂයේ සභාපති, ව්‍යවසායක මොහාන් පෙරේරා මහතාගේ අතින් එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත්තාය.

මෙවර මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ලබා ගන්නා ජයග්‍රහණය අනුව ඇයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන බවත් පක්‍ෂයේ සභාපති මොහාන් පෙරේරා මහතා මෙහිදී කීය.

ඒ සඳහා ලැබෙන ප්‍රථම අවස්ථාවේදීම සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ දමිතා අබේරත්න මහත්මිය ‘මේ දිනවල පුවත් මවන මට විශාල අසාධාරණයක් වුණු බව මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා. ඒ ගැන මම මාධ්‍යයට ස්තුතියි. මම ආදරණීය අරගලයක් කළා. මම මගේ දේශපාලන පක්‍ෂය තෝරා ගැනීමේදී මම සජිත් ප්‍රේමදාස සමග හිටගත්තා. නමුත් මගේ බෙල්ල කැපුණා. කාන්තාවක් ලෙස මම අරගලය කළේ දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන්. මටත් කාන්තා හිංසනයක් සිද්ධ වුණා. කාන්තා අයිතීන්ට නිග්‍රහයක් තමයි සමගි ජන බලවේගයේ වුණේ. පෙරළිකාර චරිතවලට සජබය බයයි. ඒ වගේම මට ඒ සිදුවූ අසාධාරණය මම කාන්තාවක් ලෙස හෙලා දකිනවා. මෙය කුමන පුද්ගලයකුට සිදු වුවත් එය අසාධාරණයක්. මට සිදුවූ දේ කාන්තාවන්ට එල්ල වූ විශාල පහර ගැසීමක්. හඬක් නැති කාන්තාවන්ට හඬක් නඟන්න තමයි මේ පක්‍ෂය තෝරා ගත්තේ. ඒ සඳහා මම හිටපු කඳවුර අතහැරියා. මම සාකච්ඡා වට කිහිපයකින් පසුව මේ පක්‍ෂයට එක්වූවා. මම සජබයේ සියලුම තනතුරුවලින් ඉවත්වෙනවා. මේ මැතිවරණයේදී බහුතර බලයක් ලබා දීම භයානකයි කියා කියන්න ඕනෑ. ඒ නිසා ජනතාව වෙනුවෙන් සටන් කරන්න සමාන බලයක් දිය යුතුයි. මෙහිදී විශේෂයෙන්ම මේ පක්‍ෂය තුළ සමානාත්මතාවය තිබෙනවා. ඒ නිසා මගේ වැඩකොටස කරගෙන යන්න පුළුවන්.’

මෙහිදී රංගන ශිල්පිනි ගිහානි වීරසිංහ මහත්මිය ද අදහස් දැක්වූවාය.

අකිත පෙරේරා, සුසිල් ජයකොඩි

ඡයාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත
 


advertistmentadvertistment