අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශ කිහිපයක පාසල් සිසු දරු දැරියන් 500 දෙනකු සඳහා ශිෂ්‍යත්ව සහ ආධාර බෙදාදීමේ විශේෂ වැඩසටහනක් 05 දා අනුරාධපුර ඓතිහාසික මිරිසවැටිය විහාරස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමිපාණන්ගේ සංකල්පයකට අනුව, විවිධ දානපතීන්ගේ උපකාර ඇතිව, වසරකට මෙවන් වැඩසටහන් 50කට පමණ අධික ප්‍රමාණයක් හරහා සිසු දරු දැරියන් 5000 ට මෙසේ ආධාර සහ උපකාර ලබාදෙනු ලබයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික ආයතනයක් වන ඊ විස් ආයතනය මගින් එවන් දරු දැරියන් 1000 ට පමණ වසරකට ආධාර සඳහා අනුග්‍රහය ලබාදෙනු ලැබේ. එහි මෙම වසරේ පළමු අදියර ලෙස දරු දැරියන් 500 ට මෙසේ වසරක් සඳහා අධ්‍යාපන කටයුතු සඳහා ආධාර සහ ශිෂ්‍යත්ව, ටැබ් පරිගණක, පොත්පත් ආදිය ලබාදෙනු ලැබිණි.
මෙහිදී සිංහල, දෙමල, මුස්ලිම් යන සියලූ ජන කොට්ඨාස නියෝජනය වන පරිදි, සිසු දරු දැරියන්ට ශිෂ්‍යාධාර ලබාදීම විශේෂත්වයකි.
අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය පණ්ඩිත පල්ලේගම හේමරතන නාහිමි, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තිබ්බටුවාවේ මේධංකර නාහිමි ප්රමුඛ මහා සංඝරත්නය ඇතුළුව, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ඊ විස් ආයතනයේ අධිපති සංජීව වික්‍රමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
සිරිල් බස්නායක – අනුරාධපුර