දුස්පෝෂණ අරගල වත

45

ඉක්බිති නොබෝ දවස්හි සිද්ධ වූවා වූ අකරතැබය නොහොත් හුදී ජනයාගේ සුව දුක් විචාරා උන් පෙළනා පැන කිම්දැයි දැනැ යාවත්කල් වනු පිණිසැ සිද්ධ කළා වූ වීදි සැරිය දුස්සාරංචි බලකා රාජ පුරුෂයන්ගේ යදඬු වන් බාහුවෙන් තුමූ හා ශ්‍රාවක පිරිසේ ග්‍රීවයන් සිරවුමෙන් නිමා වූ බැව් ද ශ්‍රාවක ජනයාගේ බැගෑපත්වුමෙන් හා එදැක එතැන්හි රැස්වූ හුදී ජනයින් විසින් චූලෞෂධයන් යනු කවරකුදැයි මහත් වූ පරිශ්‍රමයෙන් එකී දුස්සාරංචි රාජ පුරුෂයනට වටහා දුන් කල පරුෂ වදනින් සංග්‍රහ ලැබ ගැලැවී ගත් නියා සිහි කෙරෙමින් තුෂ්ණිම්භූතව හා නිසොල්මන්ව හිඳිනා පිරිස දෙස බැලු චූලෞෂධ පණ්ඩිත තෙමේ, “දරුවෙනි, සිද්ධ වූවා වූ සිදුවුමෙන් අප අදිරිමත්ව හා උකටලීව හිඳිනු නොමනා ය. එසේ වූ කල්හි රටතොට තතු නොදැනැ දැවෙනා වූ පැනැ විසඳුම් නොකළහැක්කේය. ඉදින්, තෙල දුස්සාරංචි බලකා පුරුෂයනගේ තහංචි අණපනත් වගන්ති ආදී වූ දැලෙන් රිංගවුම් පිණිසැ උපා කෙරෙමින් අප අභිප්‍රායන් මුදුන්පත් කර ගතයුත්තේ යැ’යි කිවූහ. එවදන් ඇසූ ශ්‍රාවකයෝ “ස්වාමීනී, නුඹ වහන්සේ සිතනා සේ කවර උපාදැ?’යි විමසනාහ. එකල්හි “දැනටමත් මා ඊට උපායෙක් සිතා ඇත්තේයැ. මා කැටුව වරෙව’ යි ශ්‍රාවක පිරිස ඇතුළු ගෙට කැඳවූ පණ්ඩිතයෝ දැසි දස්සන් හැඳ ඉවත ලූ වැරහැලි පිළී සුඟක් ගෙන උනට දී, “සගයිනි, තෙල පිළියෙන් සැරහෙව්’යැයි බනවා තුමූද ඉන් එකක් ගෙන හඳිනාහ. පිරිස ද උහු උපා හැඳින, “ස්වාමීනී, නුඹ වහන්සේ කියනුයේ අප යාචකයන් සේ වෙස් වලා ගෙනැ වීදි සරනු සොඳයැයි කියාදැ’යි අසා කදිම උපායෙකැයි උන් එකී දිරාපත් පිළී හැඳ පැළැඳ යාචක මෙවලමාදියෙන් සැරහී චූලෞෂධයන් පෙරටු කොට ගෙනැ වීදි බසිනායැ.

පිරිස මඳ දුරක් පාද යාත්‍රායෙන් ගමන් කරනුයේ උනට හමුවන බෝ දනන් උන් දෙස බලා මුමුණමින් උන් පසුකර යන්නා වූ ලෙසක් දකිනා පණ්ඩිතයෝ, “සකියෙනි, ජනයා අප හැඳිනීදැයි සැකැයැ. උන් විචිකිච්ඡායෙන් අප දෙස බලමින් යන්නාහ. උන් කුමක් කියත්දැයි අසාගැනුම උචිතයැ. අප දැනුම යාවත්කල් පිණිස එමඟ කදිමයැ’යි කියා ඒ පිණිසැ පිරිස මෙහෙයවනාහ. ශ්‍රාවකයෝ ද යෙහෙකැයි කියා සතර‘ත විසිර ගියාහ. පණ්ඩිතයන්ද උදකලාවම ඈත මෑත බලමින් එතැනම හිඳිනේ, “එම්බල, තෙල හිඳිනා යාචකයා කවරෙක්දැ?’යි අසනා හඬක් ඇසී බැලූ කල්හි නුවරුන් දෙදෙනකු උන් යන මඟ නැවතී තුමූ දෙස බලා හිඳිනා බැව් දැකැ එබැව් නොදුටු සේ උන් කියනා බස් අසා සිටිනායැ. “කළින් දුටු බවක් නම් නොහැඟෙනායැ’යි පැවසූ එකකු මඳක් කල්පනායෙන් සිට, “වැටහෙනායැ. කදිමට වැටහෙනායැ. මේ වනාහී අප විකුම්සිහ මහරජාණන්ගේ උපායෙක් විය හැක්කේයැ’ යි කී කල්හි අනෙකා, “එසේය. එතුමන් සරි උපායෙන් කෙල පැමිණියෙකු මඤ්ඤංලන්තයේ පහළ වී නම් එතුමන්ගේමැ මයිලනුවන් වූ රිචද ජූනිස උතුමාණන් පමණයැ. ඉදින් තොප සිතනා සේ එතුමන්ගේ අභිනව උපාය කවරේදැ’යි අසනායැ. “තෙල මූල අරමුදල නම් වූ ජගත් භාණ්ඩාගාරයෙන් විදෙස කහවනු යැදුමට මඤ්ඤංලන්තය අන්ත යාචක දේශයක් සේ උනට ස්ඵුට කරනු පිණිසැ කළා වූ අණක් වියහැක්කේයැ. සකළ මඤ්ඤං වැසියන් මෙතැන් පටන් යාචක වෙස් ගතයුත්තේයැයි ගැසටු තල්පතක් ලියා තබා මූල නිලදරුවන් හමුවට ගොස් ඇති සේයැ. එකී අඬබෙරය මඟ පැමිණෙනු සත්තයැ’යි කියනායැ. චූලෞෂධයන්ද එබස් අසා අප නොදන්නා දෑ කෙතෙක්දැයි සිතනේ ඒ හා එතැනින් යන්නා වූ තවකෙකු, “එම්බල යාචකය, තට සිඟමන් පිණිසැ දීමට කිසිත් මා සතුව නොමැත්තේයැ. තෙල සමුදුරුපිටි අරගල අමනයින් නොසිටියේ නම් තා සව්බාගයෙන් නැහැවුමට හැකිව තිබීයැ’ කියනායැ. චූලෞෂධයෝද එබස් පවසනා ලද්දේ තුමූ අරභයා යැයි දැනැ සත්‍ය යාචකයකු සේ, “පුණ්‍යවන්ත වූ මහතුනි, ඒ කෙසේදැයි අසරණයාට පහදා දුන මැනැව’යි කී කල, “මුග්ධය, තා නොදන්නේදැ? සීග්ගර ලෙසින් දියුණු පවුණු වෙමින් තුබුනා වූ මඤ්ඤං දේශය එකී කාලකන්නින් විසින් කාබාසිනියා කළ බැව් අප බැරල පසන්න තුමාණන් කිවූ බැව් නොඇසීදැ? අහෝ! උන්නති මඟට සීග්ගරව බැසැ සිටි අප මඤ්ඤංලන්ත දේශය නොවේදැ’යි කියා ශෙෘ්කයෙන් පීඩිතව පසු නොබලා ගියාහුයැ.

චූලෞෂධයෝද මෙකී බස් අසමින් හිඳිනේ සල්පිලක් අසල උක්කුටිකයෙන් සිටිනා වූ මගියෙකු සල්පිලෙහි වාණිජයා අමතා, “තෙල කෝප සබය පිණිස චෞරයන් පත් කළේ යැයි විරුද පසයන් මැසිවිලි නගනායැ’යි කිවු කල්හි එබසට වාණිජයා, “මගිය, තොප නොදන්නේ නම් අසා ගනුව. තෙල කෝප සබය වනාහී හුදෙක් අරූ සොරයැ, මූ සොරයැ, තෝ සොරයැ ආදී ලෙසින් චෝදනා නඟනු විනා කරනා වූ අන් ලබ්භයක් නොමැත්තේයැ. ඉදින් එලෙස චෞරයන් හැඳුනුම් පිණිසැ සුදුසු චෞරයන්මැ මිස සීලවන්තයන් යැයි සිතනා උන් මුග්ධයන්යැ’යි පිළිවදන් දෙන්නායැ. චූලෞෂධයෝ ද උන් කියනා බස් නෑසූ සේ සිටිනුයේ පෙරළා එන්නා වූ ශ්‍රාවක පිරිස දැකැ, “සකියෙනි, වීදි සැරියෙන් තෙපි කිමෙක් දැන කියා ගත්තහුදැ?’යි ඇසූහ. “ස්වාමීනී, අප සිතූ බොහෝ දෑ සාවද්‍ය සේ යැ’යි එකකු විළියෙන් සේ පැවසූයෙන්, “ඒ කිමෙක්දැ’යි පණ්ඩිතයෝ වහා අසනාහ. “ස්වාමීනී, දුස්පෝෂණයෙන් පෙලෙනුයේ වෙදනුන් කියනා පරිදි හුදී ජන ළමා ළපටින් පමණෙක් නොවේයැ. රාජපුත්‍ර බබා නාමළුන්දැ මන්දපෝෂණයෙන් පෙලෙනායැ’යි උහු කී කල්හි, “එබැව් කවරෙක් කී දැ’යි චූලෞෂධයන් මවිතයෙන් අසනායැ. “පෙර වන සූකර ඇමැටියා වූ වෙරවිමලයා කියනායැ. හුදී දනන් හා සමවැ රජපසයන්දැ බොහෝ දුක් අනුභව කරනා බැව් උහු කියනා තෙක් අප නොදන්නායැ’යි මහත් ශෝකයෙන් පවසන්නේය. “එසේයැ ස්වාමීනී, මේ සියල් වෑසනයන්ට මූලය වනාහී තෙල සමුදුරු පිටි අමනයන්යැ. දුස්පෝෂණයට පත් රාජපුත්‍ර නාමළුන් කියනා පරිදි උන් සැම අල්වා පුනරුත්ථාපන කළැ යුත්තේයැ’යි තවදුරටත් උහු කියන්නේය. එබස් අසනා එතැනින් ගමන් කරනා වූ මගියෙකු, “ඇවැසි නොවන්නේයැ. අරගලය මස්තකප්‍රාප්තවැ ඇත්තේයැ. සකළ මඤ්ඤං වැස්සන්ගේ අපේක්ෂාව වූ සිස්ටම චේන්ජය පිණිසැ අරගල කළා වූ උනට ඊට නිසිමැ සුදුස්සා වූ පංච ශීලය දිවි හිමියෙන් රක්නා වූ උතුමෙකු හමු වී ඇත්තේයැ’යි කී කල්හි චූලෞෂධයෝ මහත් තුටින්, “යහපතයැ. ඉන්තේරුවෙන්මැ මහා තෙර නමක් විය යුත්තේයැ. සාධු! සාධූ!! මින්මතු මඤ්ඤං දේශය යළි ධර්මිෂ්ඨ දේශය යැයි විරුදාවලි ලබනා සේයැ. පුණ්‍යවන්ත වූ මහතුනි’ එකී සුපේශල ශික්ෂාකාමී මහා තෙර උතුමන් කවරෙක්දැයි කියනු මැනව’ යි ඇසූ කල්හි, “වෙනින් කවුරුත් නොව පෙම්දස් සජිතයා නම් වූ වන්දනීය සදාදරණීය පුතාණෝයැ’යි පවසා පසු නොබලා ගියාහුයැ.

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment