දූෂණය පිටුදැක විනයගරුක රටක් බිහි කිරීමට මා ඇපකැප වෙනවා – ෆොන්සේකා කියයි

79

වහල් දේශපාලනයෙන් තොරව සැමට එක හා සමාන වරප්‍රසාද හිමිවන රටක් බිහිකරීම සඳහා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තමා ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කීවේය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (09දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ෆොන්සේකා මහතා මෙසේ ද කීවේය.

ලංකාවේ සෑම පක්‍ෂයකම වැඩි පිරිසක් ඉන්නෙ දූෂිතයින්. ඒ නිසා මම තීරණය කළා ස්වාධීනව ජනතාව ඉදිරියට පැමිණිලා ජනවරමක් ලබාගන්න. අද තියන පක්‍ෂවල නායකයන්ට දැක්මක් නැහැ. ඔවුන් ජනතාවට ආදරය කරන්නේ නැහැ. ඒ නිසා අඳුරේ අතපත ගාන්නේ නැති ප්‍රමිතියක් ඇති නායකයෙකු බිහිකර ගැනීමට මෙය අවස්ථාවක් කරගත යුතුයි.

මම එදා රටට පොරොන්දු වුණා එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කරලා යුද්ධය අවසන් කරනවා කියලා. මම ඒක කළා. ඒ වගේම අද මම පොරොන්දු වෙනවා නීතිය, ආරක්‍ෂාව සහිත සැමට එක හා සමානව වරප්‍රසාද ලැබෙන රටක් බිහිකරනවා කියලා. ඒ වගේම දූෂණය පිටුදැක විනයගරුක රටක් බිහිකරීමට මා ඇපකැප වෙනවා.

රටකට අවශ්‍ය වන්නේ අවදානම්වලට බෙල්ල තියලා රට බේරගන්න නායකයෝ මිස අභියෝග හමුවේ පැනලා දුවන නායකයෝ නොවෙයි.

රටේ ආර්ථිකය හදන්න දැක්මක් මට තියෙනවා. ජනතාවගේ කුස පුරවන ආර්ථිකයක් ඇති කළොත් විතරයි රටේ ජනතාව සතුටින් ඉන්නේ. එවැනි සමාජයකින් පමණයි සමාජ සාධාරණත්වය බලාපොරොත්තු වන්න පුළුවන්.

ඉදිරියේදී මාගේ මැතිවරණ ව්‍යාපාරය ගම් මට්ටමින් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. දූෂිත දේශපාලන සංස්කෘතිය ප්‍රතික්‍ෂේප කරන ජනතාවට මා වටා එකතුවන ලෙස ආරාධනා කරනවා යැයි ද ෆොන්සේකා මහතා මෙහිදී කීවේය.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment