දූෂිත ජලාශවල ජපන් ජබර කොම්පෝස්ට් පොහොරත් ලෙඩකරයි

633

රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් වූ විවේචනයන්හිදී කලකට ඉහතදී ඉදිරිපත් වූ ප‍්‍රධාන කරුණක් වූයේ ඒ හරහා බැරලෝහ නමින් හඳුන්වන මූලද්‍රව්‍ය කොටසක් පසට එකතුවෙන බවත්, ඒවා යම් ක‍්‍රමයකට මිනිසාගේ ශරීරයට ඇතුල්වූයේනම් විවිධ රෝගාබාධ ඇතිවී ශරීර සුවතාවට හානි පැමිණවෙන බවත්ය. බැරලෝහ අනවශ්‍ය ප‍්‍රමාණයන්ගෙන් ශරීර ගතවීම අහිතකර බවට කිසිදු විවාදයක් නැත. ලෝහ අලෝහ බොහොමයක් මූලද්‍රව්‍ය ස්වාභාවිකවම පසෙහි පවතින ඒවා වේ. බැරලෝහ ලෙස හැඳින්වෙන ඊයම්, රසදිය, තඹ, කැඞ්මියම් වැනි මූලද්‍රව්‍යයන්ද අප පරිහරණය කරන පසෙහි ඇතැම් තැන්වල ඉතා සුළු වශයෙන් හෝ තිබෙන්නේය. එසේ තිබුණාට ගහකොළ විසින් ද්‍රව්‍ය උරාගන්නේ තෝරා බේරාගෙන බැවින් මේවාට අනවශ්‍ය පරිදි ශාක තුළට ඇතුල්වීමට ඉඩ නොලැබේ. එසේනම් මිනිස් ශරීරයට මේවා පැමිණිය හැකි පහසු මාර්ගයක් වන්නේ පානීය ජලයයි. ස්වභාවිකව මෙරට පසේ අන්තර්ගත බැරලෝහ සාන්ද්‍රණය ඉතාමත් අල්ප නිසා ළිං ජලය පානය කළත්, එහි ඇතුලත්විය හැකි අංශුමාත‍්‍ර ප‍්‍රමාණයක් වූ බැරලෝහ, ශරීර සෞඛ්‍යයට බලපෑමක් ඇතිකරන බවට වාර්තා නැත.

දූෂිත ජලාශවල  ජපන් ජබර  කොම්පෝස්ට්  පොහොරත්  ලෙඩකරයි

කෙසේ වෙතත් බාල ප‍්‍රමිතියෙන් යුත් රසායනික පොහොර තුළ යම් තරමකට අපද්‍රව්‍යයක් වශයෙන් බැරලෝහ අන්තර්ගත වීම නිසා ඒවා භාවිතයෙන් පසට බැරලෝහ මුසුවීම සිදුවෙතැයි ෙසෙධාන්තිකව පිළිගත හැකිවේ. එසේ පැමිණිය හැක්කේ ප‍්‍රධාන වශයෙන් පොස්ෆෙට් පොහොර සමග පමණි. යූරියා භාවිතයත් මේ ගොඩට දමා තර්ක කරන්නට පිරිසක් ඉදිරිපත්ව සිටි නමුත් පසුගිය දිනවල ජනමාධ්‍යයන් තුළ කෙරුණු හරවත් වාද විවාද ඔස්සේ එම මතය මේ වනවිට ජනතාවගේ සිත් තුළින් මැකී ගොසිනි. අනුක ව්‍යුහය බැලූවත් යූරියා අනුවක් සමග බැරලෝහ පරමාණුවක් සවිවෙන්නට ස්ථානයක් නැත. බැරලෝහ මගහැරීම වෙනුවෙන් රසායනික පොහොර භාවිතය අතහැරියත්, යොදන කාබනික පොහොර හරහා වුවත් පසට බැරලෝහ එකතුවිය හැකි අවස්ථා කීපයක්ම විද්වතුන් විසින් පෙන්වා දී තිබේ. එකක් වන්නේ අවිධිමත් ලෙස නාගරික කසළ භාවිත කරමින් කොම්පෝස්ට් නිෂ්පාදනය කර ඒවා පසට යෙදීමයි. එම කසළවල තිබිය හැකි කාර්මික අපද්‍රව්‍ය තුළ යහමින් බැරලෝහ තිබිය හැකිය. ඒ නිසා කොම්පෝස්ට් සෑදීමේදී යොදාගන්නා අමුද්‍රව්‍ය ගැන සැලකිලිමත්වීම ඉතා වැදගත්ය. ශාක කොටස් පමණක් යොදාගෙන කොම්පෝස්ට් සෑදුවත් මේ අවදානම අප අතහැර නොයන බව පැවසෙන පර්යේෂණ තොරතුරක් මෙරට විද්වතුන් අතින්ම ප‍්‍රකාශයට පත්වී තිබේ. එවැනි පර්යේෂණ නිමිත්තක් පහළවී ඇත්තේ කොම්පෝස්ට් නිපදවීම සඳහා ජල ශාකයක් වන ජපන්ජබර ශාකය බහුල ලෙස භාවිත වීමත්, ජපන්ජබර යනු පරිසරයේ තිබෙන බැරලෝහ ඉතා කැමැත්තෙන් උරාගෙන තම ශාකදේහය තුළ ගබඩා කරගන්නා ශාකයක් නිසාත්ය.

දූෂිත ජලාශවල  ජපන් ජබර  කොම්පෝස්ට්  පොහොරත්  ලෙඩකරයි


විදෙස් රටවල කර ඇති පර්යේෂණයන්ට අනුව වැඩියෙන්ම බැරලෝහ උරාගන්නේ අබ පැළෑටියයි. එහෙත් අප බියවිය යුතු නොවේ. අපගේ අබ අනුභවය ඉතාමත් සීමාසහිත බැවින් හානියක් විය නොහැකිය. මීළඟට වැඩිම බැරලෝහ ප‍්‍රමාණයක් උරාගන්නා බවට වාර්තා වී ඇත්තේ ජපන්ජබර ශාකයයි. එසේනම් දූෂිත ජලාශයක වැවෙන ජපන්ජබර වැඩිපුර යොදමින් කොම්පෝස්ට් නිෂ්පාදනයක් කරන්නේ නම් එහි බැරලෝහ අන්තර්ගතය ආරක්ෂිත සීමාවලින් ඔබ්බට යනු ඇතැයි යන්න සාධාරණ සැකයකි. ජපන්ජබර යනු මෙරටට ආගන්තුක ශාකයකි. මෙරටට පැමිණි 19 වෙනි ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයා වන සර් හෙන්රි ආතර් බ්ලේක්ගේ බිරිඳ වූ එඩිත් ඔස්බෝන් ආර්යාව හොංකොං සිට එන අතරවාරයේ විනෝදයට මෙන් රැුගෙන ආ වතුරේ පාවෙන මල්පැළයක් ලෙසින් ජපන්ජබර ලංකාවට පැමිණ තිබේ. කෙසේ වෙතත් අද වනවිට මෙය වඳ කිරීමට අපහසු ආක‍්‍රමණ ශාකයකි. මෙය භාවිතයෙන් කොම්පෝස්ට් හදනවානම් එය ජපන්ජබර මර්දනය කිරීමටද හොඳ උපක‍්‍රමයකි. මෙවැනි මර්දන පිළිවෙතක් ලෝකයේ වෙනත් රටවල පවා ජපන්ජබර වෙනුවෙන් ක‍්‍රියාවට නංවන්නේය. නමුත් ඉහත හේතුව නිසා ජපන්ජබර එකතුකළ යුත්තේ පිරිසිදු ජලාශයන්ගෙන් මිස කාර්මික අපද්‍රව්‍ය වලින් දූෂිත ජල නිකේතනයන් වෙතින් නොවේ.

 මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ ප‍්‍රතිපලයක් ීරස ඛ්බන්බ න්‍දමරබ්ක දෙ ්ටරසජමකඑමරු ්බා ෑජදිහිඑැපි යන සඟරාවේ පළකර තිබිණ. ඒ රුහුණ සරසවියේ කෘෂිකර්ම පීඨයේ පාංශු විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රාජිකා අමරසිංහ මහත්මිය සිදුකළ පර්යේෂණයක් ඇසුරෙනි. මෙහිදී සිදුකර ඇත්තේ අනෙකුත් අමුද්‍රව්‍යයන් සමග ජපන්ජබර මිශ‍්‍රකර හා ජපන්ජබර පමණක් යොදාගනිමින් කොම්පෝස්ට් සාදා, අවසන් නිෂ්පාදනය සතු බැරලෝහ සාන්ද්‍රණය සහ කොම්පෝස්ට් හි ගුණාංග පරීක්ෂා කිරීමයි. ”අපි පර්යේෂණය සඳහා ගත්තේ ගාල්ලේ මොරගොඩ ඇළ ආශ‍්‍රිතව වැවී තිබුණු ජපන්ජබර. පර්යේෂණය තුළදී බැරලෝහ අන්තර්ගතය පමණක් නෙවෙයි අපි කොම්පෝස්ට් වල පී. එච්. අගය, විද්‍යුත් සන්නායකතාවය, කාබන් නයිටි‍්‍රජන් අනුපාතය යනාදිය ගැනත් අවධානය යොමුකෙරුවා. බැරලෝහ වශයෙන් සොයා බැලූවේ කොපර්, කැඞ්මියම්, ලෙඞ්, සින්ක්, නිකල් හා ආසනික් පිළිබඳවයි.” පර්යේෂණයේ ක‍්‍රමවේදය පිළිබඳව ආචාර්ය රාජිකා පවසන්නේ එවන් අදහසකි.

 සනත් එම්. බණ්ඩාර
[email protected]

දූෂිත ජලාශවල  ජපන් ජබර  කොම්පෝස්ට්  පොහොරත්  ලෙඩකරයි
advertistmentadvertistment