දූෂිත නිලධාරී තන්ත්‍රය මට්ටු කිරීම ….

257

අප හැමවිටම හොරු හොරු කියමින් දොස් කියන්නේ දේශපාලනඥයින්ටය. එනම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාටය. එහෙත් හැම දෙයකටම වගකිවයුතු වන්නේ දේශපාලනඥයන් හෝ මන්ත්‍රීවරුම නොවේ. දූෂිත රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද රාජ්‍යතන්ත්‍රය තුළ සිටී. එම තත්ත්වයට ද පිළියම් යෙදිය යුතුව තිබේ. එය නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හඳුනාගෙන ඇති සැටියකි. එනම් ජනාධිපතිවරයා පසුගියදා මොනරාගලදී පැවැති ජනරැලියේදී ප්‍රකාශ කර ඇත්තේ දූෂිත නිලධාරීන්ගේ තොරතුරු ලබාදෙන ලෙසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එවැනි නිලධාරීන් රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, ඒ බව දැනුම් දෙන අයගේ අවශ්‍යතාව ඉටුකිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව ජනාධිපතිවරයා එම ජනරැලියේදී මෙසේ ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිගේ ප්‍රකාශය

“රාජ්‍ය නිලධාරීනුත් කොමිස් ඉල්ලන වැඩේ නතර කරන්න. පුරවැසියන්ට කියනවා කිසි කෙනෙකුට කප්පම්, පගාව දෙන්න එපා. එහෙම කවුරුවත් ඉල්ලුවොත් අපට කියන්න. කියන කෙනාගේ වැඩේ ඉක්මනට කරලා දෙනවා ඉල්ලපු කෙනා ගෙදර යවනවා. එහෙමයි මේ රට හදන්න ඕනේ.”

මේ ප්‍රකාශය ඉතාමත්ම වැදගත්ය. රාජ්‍ය නිලධාරීන් වැටුප් ලබන්නේ බදු ගෙවන මහජනයාගෙනි. එසේ නම් රාජ්‍ය නිලධාරීන්ගේ ස්වාමියා වන්නේ බදු ගෙවන මහජනතාවයි. මහජනතාව රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවා තම සේවය ඉටුකර ගැනීමට ඔවුන්ට කප්පම් හෝ පගාව දිය යුතු නම් එය ඉතාම ඛේදජනක තත්ත්වයකි. මේ නිසා දේශපාලනඥයන්ගේ වංචා දූෂණවලට අමතරව රාජ්‍ය නිලධාරීන්ගේ වංචා හා දූෂණ ක්‍රියා ද නතර කළ නොහැකි නම් හැකිතාක්දුරට උපරිම ලෙස අවම කරගැනීමට හෝ ක්‍රියාමාර්ග ද ගතයුතු වේ. ජනාධිපතිවරයා කියා ඇත්තේ එවැනි සිදුවීම් තිබේ නම් ඒ ගැන රජයට දැනුම්දෙන ලෙසයි. මේ සඳහා දුරකථන අංකයක් හෝ යම් ක්‍රියාවලියක් මහජනතාවට හඳුන්වාදෙන ලෙස ද අපි ජනාධිපතිවරයාට යෝජනා කරමු.

පරිසර අධිකාරියෙන් පරිසර බලපත්‍රයක් ලබාගැනීමට විශාල මුදලක් අල්ලස් ලෙස ලබාදීමට සිදු වූ බවක් මේ ලියුම්කරු දන්නා අයෙක් මීට කලකට පෙර කියූ බව අපට මතකය. එසේම ඇතැම් පොලිස් නිලධාරීන් මහමග රථවාහන වැරදිවලට වාහන නවතා එම රියදුරන්ගෙන් “කරනවා නම් ඉක්මනට මොනවා හරි කරන්න” කියමින් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට පගාව ඉල්ලන අවස්ථා ගැන ඇතැම් අය මේ ලියුම්කරුට ප්‍රකාශ කර තිබේ. එවැනි අත්දැකීම් තවත් ඕනෑ තරම් මේ ලිපිය කියවන ඔබට සිදුව තිබෙනවා විය හැකිය. ඒ නිසා ජනාධිපතිවරයා කියන දේ බොරුවක් නොවේ. එය මේ රටේ සිදුවන දෙයකි. රට හැදීමේදී දේශපාලනඥයන්ගේ දූෂිත තත්ත්වයන් පිටුදැකීමට නීතිය ක්‍රියාත්මක කරන අතරම මේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය තුළ සිටින ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ද දැඩිව ක්‍රියාත්මක විය යුතු වේ. ඇතැම් අය මෙවැනි දේ ගැන පැමිණිලි නොකර සිටින්නේ තමන්ගේ අවශ්‍යතාව එවැනි පැමිණිලි නිසා කිසිසේත්ම ඉටුකර ගත නොහැකි වනු ඇති බවට තිබෙන බිය නිසාය. ඒ නිසා එවැනි පැමිණිලි සිදුකරන අයගේ වැඩේ ඉක්මනට කරදෙන බවට ජනාධිපතිවරයා කර ඇති සඳහන ද ඉතා වැදගත්ය. එම කතාවේදී ජනාධිපතිවරයා මෙසේද පවසා තිබේ.

“පළමුවතාවට දූෂිත ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාවගේ අතට බලය මාරු වුණා. රිදෙන්නේ නැද්ද? රිදෙනවා. දුක ඇති ගොඩක්. දැන් නැවත උත්සාහ කරනවා මේක පරාජය කරන්න සහ වට්ටන්න. මේක එහෙම වට්ටන්නත් බැහැ. පරාජය කරන්නත් බැහැ. ඒවා ඒගොල්ලෝ දුකට කියන කතා. ඇත්තටම සමහරවිට ඒගොල්ලෝ රෑට කොට්ටේ බදාගෙන අඬනවා ඇති මොකක්ද මේ වුණේ කියලා. ඔවුන් හැමදාම හිතුවේ ජනතාව රවට්ටන්න. බියවද්දන්න. චණ්ඩින්ගේ පාලනය අවසන්. අර වීරප්පන්ලා පාලනය කරනවා වගේ තමයි මේ අප්පන්ලා රට පාලනය කළේ. ඒවා අවසන් කරන්න ඕනේ.”

ජනාධිපතිවරයා මේ කියන පරිදිම පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ සියයට 50ක් නොවුණත් බහුතර ජනතාවක් තට්ටු මාරු ක්‍රමයට බලයට පත්වූ සාම්ප්‍රදායික දේශපාලන කණ්ඩායම්වලට පණිවිඩයක් ලබාදී ඇත. ඒ අනුව එම සාම්ප්‍රදායික දේශපාලනය වෙනුවට නව දේශපාලන බලවේගයකට කැමැත්ත ප්‍රකාශ කර ඇත. මෙයට එක අතකට හේතුවක් වන්නට ඇත්තේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල රජයන්ගේ ඇතැම් බලවත් වංචනික හා දූෂිත තත්ත්වයන් විය හැකිය. ඒ පිළිබඳව පුවත් වරින්වර මාධ්‍ය මගින් වාර්තා වී ඇත. ඒ පිළිබඳව අධිකරණය හමුවේ නඩු කටයුතු ද විභාග වෙමින් පවතී. මේ නිසා මෙවර ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්කර ඇත්තේ රටේ ඉදිරි දේශපාලන ගමන් මඟේ පෙර නොවූ විරූ වෙනසක් ඇති කිරීමේ අරමුණින් විය හැකිය. ජනතාවගේ වෙනසක් පිළිබඳව එම දේශපාලන අපේක්ෂා යථාර්ථයක් බවට පත්කළ හැක්කේ නව රාජ්‍ය පාලනය තුළය. එහෙත් තවමත් මහ මැතිවරණය පවත්වා නැත. දැනට තිබෙන්නේ ජනාධිපතිවරයා ද ඇතුළුව තිදෙනකුගෙන් යුත් භාරකාර ආණ්ඩුවකි. මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 14 වැනිදාය. එම මැතිවරණයෙන් ද ජනාධිපතිවරණයෙන් ඇති කළ වෙනසට සමගාමී වෙනසක් ඡන්දදායක ජනතාව විසින් සිදුකරනු ඇතැයිද සිතිය හැකිය. ඒ අනුව ජාතික ජනබලවේගයේ රජයට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් (ආසන 113කට වැඩි) ලැබෙනු ඇතිද නැද්ද යන්න තවමත් අපට ස්ථීරව කිව නොහැකිය. එහෙත් නව ආණ්ඩුවට අණපනත් සම්මත කරගෙන සාර්ථකව රාජ්‍ය පාලනය කිරීමට නම් තුනෙන් දෙකේ බලය කෙසේ වෙතත් අඩු තරමින් සරල බහුතරයක්වත් තිබිය යුතුය. එසේ පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නව රජයට නොහැකි වුවහොත් වනු ඇත්තේ පාර්ලිමේන්තුවේ අණපනත් සම්මත කරගැනීමට නම් වෙනත් පක්ෂවලින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහාය ද ලබාගත යුතු වීමයි. ඒ සඳහා වෙනදා නම් කළේ කැබිනට් ඇමැති, නියෝජ්‍ය ඇමැති සහ රාජ්‍ය ඇමැති දොලපිදේනි සහ වෙනත් වරප්‍රසාද ඒ මන්ත්‍රීවරුන්ට ලබාදී ආණ්ඩුවට ඔවුන්ගේ සහාය ලබාගැනීමයි. ලබන මහ මැතිවරණයෙන් පසු මේ දෙය කවරාකාරයෙන් සිදුවනු ඇති දැයි අපට දැකබලා ගත හැකිය. ඒ සඳහා තවත් වැඩි දවසක් නැත. මෙහිදී ජනතාවට කිව යුත්තේ තමන් කැමැති ඕනෑම දේශපාලන පක්ෂයකින් සුදුස්සන් පමණක් තෝරා පාර්ලිමේන්තුවට යැවීමටයි. මේ සඳහා මහජනතාවටත් විශාල වගකීමක් තිබේ. එනම් කෙතරම් දූෂණ චෝදනා එල්ල වුවත් එම දේශපාලනඥයින්ම නැවත නැවත පාර්ලිමේන්තුවට පත් නොකර සිටීමටයි. මෙවර ජනාධිපතිවරණයේ වෙනස අනුව දැනට පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනෙක් නව පාර්ලිමේන්තුවේ දැකීමට නොහැකිවනු ඇති බව අපට සිතිය හැකිය. නව මුහුණු රැසක් නව පාර්ලිමේන්තුවට පත්වනු ඇතැයි ද සිතිය හැකිය. අත්දැකීම් වැදගත් වුවත් ඔවුන් දූෂිත නම් මහජන ධනය සොරා කනවා නම් ඒ අත්දැකීම් හෝ පළපුරුද්දෙන් මේ රටේ ජනතාවට ඵලක් නැත. පාර්ලිමේන්තුව යනු මේ රටේ උත්තරීතරම සභාවයි. එහි සිදුකෙරෙන්නේ ව්‍යවස්ථාදායක කාර්යයකි. එනම් නීති සම්පාදන කාර්යයයි. ඇතැම් විට දූෂිත නොවූවත් ඇතැම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ කාර්යභාරය ඉටුකිරීමට සුදුස්සන් නොවිය හැකිය. ඒ නිසා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කාර්යය මහජනතාව වෙනුවෙන් නිසිලෙස ඉටුකළ හැකි සුදුස්සන් පමණක් සෑම පක්ෂයකින්ම පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවීමේ වගකීම මහජනයාට තිබේ. එසේ නොකිරීමේ විපාක විඳීමට සිදුවනු ඇත්තේ ද මේ රටේ අතිමහත් බහුතර මහජනතාවටමය. 2022 වසරේදී ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට රටත්, ජනතාවත් මුහුණ දුන්නේය. එයට හේතුව අදූරදර්ශී රාජ්‍ය පාලනය සහ වැරදි ආර්ථික කළමනාකරණයයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව 69 ලක්ෂයක අතිවිශාල ජනවරමකින් මේ රටේ අතිමහත් බහුතර ජනතාව බලයට පත් කළත් රටට හෝ ජනතාවට සෙතක් වූයේ නැත. අන්තිමේදී රටත් බංකොලොත් විය. එයට ගෝඨාභය රාජපක්ෂ පාලනයට පෙර සිටම පැවැති රාජ්‍ය පාලනයන්ගේ වැරදි බලපා ඇති බව අපි දනිමු. ඒ නිසා නව ජනාධිපතිවරයා ප්‍රමුඛ ඉදිරියේදී පිහිටුවන නව රජයට විශාල වගකීමක් තිබේ. එනම් ජනතාවගේ අපේක්ෂා ඉටුකරමින්, ජීවන බර සැහැල්ලු කරමින් එසේම දැනට තරමක්දුරට ගොඩට ගෙන ඇති ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරමින් ඉහළ ආර්ථික වර්ධන මාවතකට රැගෙන යාමටය. ඒ සඳහා දායකවීමට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද නිසි මහජන නියෝජිතයන් තෝරා පත් කරගනිමින් මෙවර ජනතාව ද කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

දේශපාලන වේදිකාවේ කියන දේ

මේ දිනවල වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ඔහු නියෝජනය කරන දේශපාලන බලවේගයේ ඇතැම් අය පසුගිය දේශපාලන වේදිකාවේ කියන ලද දේවල් උපුටා දක්වමින් රජයට නොයෙකුත් චෝදනා එල්ල කරමින් සිටිනු පෙනේ. තෙල් මිල අඩුකිරීම, හොරු ඇල්ලීම සහ උගන්ඩාවේ තැන්පත් කර ඇතැයි කියන මෙරට මුදල් ගේනවා කියා කියමින් සිදුකළ ඇතැම් ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ බොහෝසෙයින් ප්‍රචාරය කරනු දැකිය හැකිය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද නව රජයට අභියෝග කළේ හැකිනම් උගන්ඩාවේ ඇතැයි කියන මුදල් මෙරටට ගේන ලෙසයි. මේ නිසා දේශපාලන වේදිකාවේ කියන දේවල් එලෙසින්ම ඉටු කිරීමට හැකිද යන ප්‍රශ්නය තිබේ. එනම් පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන මිලගණන් විශාල ලෙස අඩු කළ හැකි බවට ජාතික ජන බලවේගයේ නායකයන් දේශපාලන වේදිකාවේ බොහෝ දේ ප්‍රකාශ කළේය. ගොඩබාන මිල මෙය බවත් බදු ඉවත් කර සුළු ලාභයක් ලැබීමෙන් පෙට්‍රල් ලීටරයක මිල රු. 150 ස් ගණනකට අඩු කළ හැකි බවත් ඔවුන් කියා ඇත. එහෙත් ඒ කියන මට්ටම්වලින් ඉන්ධන මිල ගණන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නව රජයට අඩු කිරීමට හැකිව නැත. හොරු ඇල්ලීම ඇතුළු දේශපාලන වේදිකාවේ කියන ලද තවත් බොහෝ දේද එලෙසමය. හොරු ඇල්ලීම ගත්තත් අපට කෙනෙක් නීතිමය ක්‍රියාවලියට පිටින් කුදලාගෙන ඒමට හැකියාවක් නැත. ඒ සඳහා රටේ පවතින නීතිමය ක්‍රියාවලිය අනුගමනය කළ යුතුමය. ඒ සඳහා එම හොරකම් ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි හා තොරතුරු අධිකරණ ක්‍රියාවලියට ඉදිරිපත් විය යුතුවේ. නැතිනම් හොරු හොරු කියමින් චෝදනා කළාට ඒ කිසිවෙක් වැරදිකරුවන් කිරීමට හැකි වන්නේ නැත. ඒ නිසා හොරු ඇල්ලීමට වත්මන් රජයට අවංක වුවමනාවක් තිබේ නම් එය අපි ඉතාම අගය කරමු. එහෙත් ඒ සඳහා පවතින නීතිමය ක්‍රියාවලිය අනුගමනය කිරීමට රජයට සිදුවනු ඇත.

රට පැන සිටින අර්ජුන් මහේන්ද්‍රන් ගෙනඒමට කටයුතු කරන බවද නව රජය ප්‍රකාශ කර ඇත. ඒ වචනයට ද අපි ගරු කරමු. එහෙත් සිංගප්පූරුවට ගොස් අර්ජුන් මහේන්ද්‍රන් අල්ලාගෙන ඒමට අපට නීතිමය හැකියාවක් නැත. ඔහු මෙරට පුරවැසියෙක් හෝ ද්විත්ව පුරවැසියෙකු නොවේ. එසේ නම් එය කළ හැකි වනුයේ උදර්පණ නීතිය අනුවය. ඒ අනුව කටයුතු කිරීමට ද අපගේ නීතිමය නිලධාරීන්ට සිදුව ඇති බව අපට අමතක කළ නොහැකිය. යට ගොස් තිබූ බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට රටේ කතාබහට ලක්ව තිබේ. ඒ ගැන නව පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවට නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත. තවත් සිදුවීම් ගණනාවක් ගැන මෙසේ නව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද මාධ්‍ය වාර්තා කර ඇත. ඒ සියල්ලම අපි අගය කරමු. මේ නිසා දේශපාලන වේදිකාවේ කියන ලද දේවල් එලෙසම වහාම ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව අපහසු විය හැකි නමුත් ඒ සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කිරීමට නව රජය යොමුවීම අපි අගය කරමු.

උගන්ඩාවේ සැඟවූ සල්ලි

ජාතික ජනබලවේගයේ ඇතැම් අය කියා තිබුණේ ජනතාවගෙන් හොරා කෑ සල්ලි උගන්ඩාවේ ඇති බවත් ඒවා නැවත රටට ලබාගත යුතු බවත්ය. ඒ ගැන අප දන්නේ නම් එම මුදල් ඇණවුමක් මත මෙරට ඇති තෝමස් ඩිලාරු සමාගමෙන් මුද්‍රණය කරවාගත් උගන්ඩාවේ සල්ලි බවයි. ඒ මිස මෙරටින් හොරා කෑ මුදල් එරට තැන්පත් කර ඇති බවක් නම් අප නම් දන්නේ නැත. ඒ නිසා දේශපාලන වේදිකාවේ කියන ලද හැම දෙයක්ම ඇත්ත නොවිය හැකිය. එවැනි පදනම් විරහිත චෝදනා ඇත්නම් ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැති බවද අපට පිළිගැනීමට සිදුවේ. එහෙත් සෑම චෝදනාවක්ම එසේ නොවේ. ඇත්ත වශයෙන්ම පසුගිය රජයන් සමයේ වංචා හා දූෂණ සිදුව ඇත්නම් ඒවාට පරීක්ෂණ සිදුකර අධිකරණ ක්‍රියාවලියක් හරහා යුක්තිය ඉටුකර ගැනීමට ක්‍රියාකිරීමට බැරිකමක් ද නැත. ඒ අර්ථයෙන් නම් හොරු ඇල්ලීමට රටේ පවතින නීතිමය ක්‍රියාවලිය අනුගමනය කරමින් සිදුකිරීමට බැරිකමක් නැත. ඒ සඳහා යම් කාලයක් ද ගතවනු ඇත.

අයි.එම්.එෆ්. සහාය ගැනීම

නව රජයේ ඇතැම් අය පසුගිය කාලයේ දේශපාලන වේදිකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පසුගිය රජය විසින් ලබාගැනීම සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල කළ බව අපට මතකය. ඇතැම් විට කීවේ අයි.එම්.එෆ්. සහාය ගෙන ගොඩ ගිය රටක් නැති බවය. එසේ කීවත් වත්මන් රජයද මූල්‍ය අරමුදලේ සහාය ඇතිව එම ණය වැඩසටහන ඉදිරියට ගෙනයාමට තීරණය කර තිබේ. එහෙත් එහිදී මහජනතාව මුහුණ දී සිටින බලවත් ආර්ථික පීඩනය කිසියම් දුරකට සමනය කිරීමට තුඩුදෙන විකල්ප ප්‍රවේශයක් අනුගමනය කිරීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ සඳහා වන විකල්ප යෝජනා නව රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරි කාලයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මෙහි ප්‍රධාන කරුණක් වන්නේ අධික බදු බර සැහැල්ලු කිරීමයි. ඒ සඳහා වන යෝජනා නව රජය විසින් ඉදිරි අයි.එම්.එෆ්. සාකච්ඡාවලදී අයි.එම්.එෆ්. නියෝජිතයන්ට ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව අයි.එම්.එෆ්. සංවිධානය එම විකල්ප යෝජනා ගැන සාකච්ඡා කිරීමට මේවන විට නව රජයට එකඟතාව ද පළකර ඇත. එහෙත් යම් බදු අඩුකිරීමක් නිසා අහිමි වන බදු ආදායම වෙනත් විකල්ප ක්‍රමයකින් සොයාගැනීමට නව රජයට සිදුවනු ඇත. ඒ සඳහා වන විකල්ප බදු යෝජනා ද ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත. ඒ සඳහා අයි.එම්.එෆ්. සංවිධානය එකඟවන්නේ නම් සහ එම විකල්ප යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර අයි.එම්.එෆ්. එකට එකඟවූ බදු ආදායම් ඉලක්ක සපුරාගත හැකි නම් ගැටලුවක් ඇතිවන්නේ නැත. මේ නිසා අයි.එම්.එෆ්. ගිවිසුම යනු දෙපාර්ශ්වයක් අතර ඇති කරගත් ණය ගිවිසුමක් වන නිසා දෙපාර්ශ්වයේම එකඟතාව මෙම නව ප්‍රවේශයට අවශ්‍ය වේ. එම නව එකඟතා අනුව මෙම ණය වැඩසටහන නව රජය විසින් ඉදිරියට ගෙන යන ආකාරය අපට ඉදිරියේදී දැකබලා ගත හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]


advertistmentadvertistment