දෘශ්‍ය රූපය විනිවිද දැකීමේ විස්මය

192

පේ‍්‍රමසිරි කේමදාසයන් පිළිබඳව සටහනක් ලියන්නට මා යම් කිසි හෝ සුදුසුකමක් ලබන්නේ ඔහුගේ සංගීතය මට තේරෙන නිසා නොවෙයි. ඔහු සංගීතයට පාදක කරගන්නා රිදමය හා නාද මාලා මගේ නිර්මාණකරණයේදී රිද්මය හා රූප මාලා සැසඳීමේදී මතුවන සංඝටක ඔස්සේය.

කේමදාසයන්ගේ භාවිතය මගේ නිර්මාණ අත්දැකීම් සමඟ තේරුම් බේරුම් කරගැනීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

ඔහු චිත‍්‍රපට හෝ ටෙලිනාට්‍ය හෝ නරඹන අතර තුර නිදා වැටෙන බව ප‍්‍රසිද්ධ කරුණකි. එහෙත් ඔහු නිදා සිටි බවක් පසුව එම කෘතිය ගැන කතා බහ කරන විට නොපෙනේ. රූප භාවිතය, චරිත හා චරිත අභ්‍යන්තරික ලක්‍ෂණ හා සම්බන්ධතා විග‍්‍රහ කිරීමට ඔහු සමත්ය. ඇතැම් විට නිදා වැටුණද කේමදාසයන් හසුකර ගන්නේ කෘතියෙහි සමස්තයයි. සමස්තය යනු මතවාදී අර්ථය, ආකෘතික අර්ථය හා භූමිකා අර්ථයයි.

බොහෝ සංගීතඥයන් දෘශ්‍ය නිර්මාණයක් සඳහා සංගීතය සැපයීමට හසුකරගන්නේ රූපයෙහි උඩු අර්ථයන්ය. නැතහොත් දෘශ්‍යමාන රූපයයි. කේමදාසයන්ට වැදගත් වන්නේ අධ්‍යක්‍ෂවරයා ගේ මතවාදී අර්ථයයි. මතවාදී බව ආකෘතිය සමඟ බැඳී පවතී. ආකෘතිය, මතවාදය හා සමඟ භූමිකාවන්හි ජීවන අර්ථයන්ද බැඳී පවතී. ඔහු හසුකරගන්නේ දෘශ්‍ය නිර්මාණයකදී මෙකී අර්ථය මිස දෘශ්‍යමාන ගොඩනැඟීමක් වන කතන්දරය නොවේ. කතාන්දරය හඳුනා ගැනීමෙන් කෘතියක සමස්ත අර්ථය හසුකරගත නොහැකිය. චරිත සංඝට්ටන, සංසිද්ධීන්හි ගොඩනැඟීම යනාදිය තුළ සමස්තය හසු වේ. සංස්කරණය කළ ටෙලිනාට්‍යය නරඹා කේමදාසයන් ඔහේ යන්නට යැයි කතා කරන්නේ වෙන වෙන දේවල්ය. ඇතැම් විට රටේ දේශපාලනය ගැන අනේ අපොයි, මෙහෙමත් රටක් කියමින් කම්පාවෙයි. තවත් වරෙක ඔහු ඇසූ දුටු සංගීත හෝ වෙනයම් අත්දැකීමක් පිළිබඳ මහා හයියෙන් හිනාවෙයි. තවත් වරෙක ඔහුගේ කාර්යක් පිළිබඳ උදම් අනයි. මේ කේමදාසයන් ය.

ටෙලිනාට්‍යය බලා ගෙදර යෑමට සැරසෙන කේමදාස කොහොම ද අපි හම්බ වෙන්නේ? ඔවැනි සම්බන්ධතාවක් ගොඩනඟයි. එසේ කතා කර ගෙන දවස් කීපයක් හවසට හවසට සතුටු සාමීචියක් ඔහු ගේ බරපැනින්ම ගෙදර සූදානම් කරයි. මට නාට්‍ය ගැන යමක් කීමට එය අවස්ථාවකි. සංගීතය භාවිතය ගැන මෙසේ වුවමනාවක් පවතින බවත් තවත් තවත් දෑ කීමටත් එය අවස්ථාවකි. වැඩියෙන් අප කතා කරනුයේ වත්මන් දේශපාලනය ගැනයි. හැම විටම එය මහත් වූ හාස්‍යයක් සමඟ මිශ‍්‍ර වන මොහොතකි.

මෙසේ අප දින කීපයක් හමුවන විට නිර්මාණකරුවා හා සංගීතඥයා අතර ආධ්‍යාත්මික තේරුම් ගැනීමකටද එළඹ සිටී. මා විශ්වාස කරන අයුරින් එය ඉතා වැදගත් සම්බන්ධතාවකි. කෘතියෙන් නිර්මාණකරුවා වියුක්ත කොට සංගීතය සැපයිය නොහැකිය. කේමදාසයන් රිද්මය තේරුම් ගැනීමට කරන චාරිකාවක් ලෙස නිර්මාණකරුවා සමඟ ඔහුගේ මෙම ගතකිරීම මම දකිමි. (එසේම හැම නිර්මාණකරුවකු සමඟ මෙසේ ගත නොකරන බවද දනිමි) ඔහු කෘතිය සමඟ තදින් බද්ධවීමට පාර කපා ගන්නේ එලෙසය.

ඉන් අනතුරුව සංගීතය පටිගත කරන දින තෙක්ම විවිධ හමුවීම් තිබුණ ද වඩාත් වැදගත් වන්නේ කේමදාසයන් ගේ පාන්දර පහට පමණ දෙන දුරකථන ඇමතුමයි. නින්දෙන් අවදිවන මම ඔහුට සවන් දෙමි. තීක්‍ෂණ විචාරකයකු සේ ඔහු චරිත විග‍්‍රහ කරයි. රඟපෑම් හා රූප භාවිතය ගැන කතා කරයි. ඇතැම් දෙබස් ඛණ්ඩ මතකයෙන් කියයි. අවස්ථාවන් නිරූපණය කරන්නා වූ ආකාරය හා ඉන් මතු කරන අර්ථය මෙසේ නොවේදැයි විමසයි. එය නම් මහත් වූ සතුට දනවන කතා බහකි. කවරකු හෝ මේ කතා බහ සංගීතඥයකුට කුමකට දැයි සිතිය හැකියි. එවැනි විග‍්‍රහයක් විචාරකයන් යැයි කියා ගන්නා අයගෙන්ද මතු නොවේ. කේමදාසයන්ගේ විචාරාත්මක අදහස් මගේ ස්වයං විවේචනය හා සැසඳේ. ඔහු ගේ ප‍්‍රතිවින්දන ශක්තිය අතිමහත්ය. කේමදාසයන් සංගීත සිතුවිලි නිර්මාණ සමාධිය ගත කොට පෙරළා එය නිර්මාණය සමඟ සසඳා බැලීමට කරන පරිශ‍්‍රමයකි පාන්දර දුරකථනය. මෙම සංවාදය ඇතැම් විට දිගු වශයෙන්ද සිදු වේ.

කේමදාසයන්ගේ මේ ගතකිරීම සර්පිනාව ළඟ තබාගෙන සංගීත කාණ්ඩවල ස්වර ප‍්‍රස්තාර අඳින සංගීතඥයකුට වඩා වෙනස්ය. ඔහු ගතකිරීමකින් නිර්මාණ කාර්යය හඳුනා ගනී. සංගීතය ගැන හිතන්නේ පසුවය. බොහෝ විට කේමදාසයන් දෘශ්‍ය කාර්යක් සඳහා සංගීතය භාවිත කරන්නේ ‘‘රූපය තුළ නැතහොත් රූපය මත (On the pictura) ය. රූපයට පසුබිමෙන් හෝ රූපයේ පාරිසරික සාධකවලට අනුව හෝ නොවේ. පසුබිම් සංගීතය යන පටු යෙදුම කේමදාසයන්ට එතරම් අදාළ නොවේ. චරිත සිදුවීම් හා වස්තූන් අතර ඇති ගනුදෙනුව සූක්‍ෂමව වටහා ගන්නා කේමදාස ඒ මත ඔහුගේ සංගීතය නිර්මාණය කරගනී. ඔහුගේ සංගීතය මගින් රූපයට දෙනු ලබන බලය ඉතා වැදගත්. රූපයට අවශ්‍ය වන ශක්තියක් ලෙස සංගීතය හැඳින්විය හැකිය. එම ශක්තිය දෘෂ්ටිමය තීව‍්‍රතාවයට සෘජුව බල පැවැත්වේ. මතවාදී අරුථ බලසම්පන්න කරවයි. රූපයෙහි ‘‘චලන දැනීම’’ ශක්තිමත් කරයි. චලනය වේගයක් ලෙස නොව සමාජ රිද්මයක් ලෙස චලනය පුද්ගල දැනීමට හසුකර ගැනීමට සංගීතය සහාය වේ. එසේම එම බලය රූපයට සෞන්දර්යාත්මක සහායක් ද ලබා දේ. එය සාම්ප‍්‍රදායික නාදමාලාවක් නිර්මාණාත්මකව යොදා ගනිමින් හෝ විශ්ව සංගීත අත්දැකීම් පාදක කර ගනිමින් ගොඩනඟන්නකි.

කේමදාස සමාන්තර සංගීත යෙදුම උපයෝගී කොට නොගනී. ඉතා ප‍්‍රචලිත ව්‍යවහාරය වන්නේ මෙයයි. එනම් රූපයට සමාන්තර රිද්මයකින් හෝ රූපයෙහි අර්ථයට සමාන්තරව හෝ සංගීතය උපයෝගී කොට ගැනීමයි. ඔහු එකිනෙක පරස්පර සංසන්දනාත්මක අසමානතාවක් මගින් ප‍්‍රසංවාදය (Harmony) ගොඩනඟයි. ඔහු රූපයට ප‍්‍රතිවිරුද්ධ රිද්මයෙහි පිහිටා නැවත රූපය හා සමඟ රිද්ම සමෝධානයකට පැමිණෙයි. රූපය හා සමග සංඝට්ටනයක් ලෙස පවතින සංගීතය රූපයට දිගුවක් ලෙස නැවත බිහි වේ. එය අර්ථයෙන්ද උපක‍්‍රමයන්ගෙන්ද සමෝධානිකය. මනා පිරිද්දුමකින් යුක්තය. කේමදාස රූපයෙහි මතුපිට අරුත් සමග ගැවසෙන්නේද නැත. දුක වේදනාව වැනි හැඟීම් සන්දර්භය මනෝභාව අර්ථයකට පමුණුවයි. හ`ඩන කෙනකුගේ දුක වැඩි වන සේ හෝ බියෙන් දුවන කෙනකු ගේ බිය වැඩි වන ලෙස හෝ ඔහු සංගීතය භාවිත නොකරයි. කේමදාසයන් මගේ නිර්මාණ සඳහා කළ සංගීත භාවිතයන්ගෙන් පෙනෙන තවත් වැදගත් ලක්‍ෂණයකි. සමාන ශබ්ද මගින් වෙනස් වෙනස් අරුත් බිහිකිරීමට සමත්වීම. ද්විරූප තාල නාද (Homophonic) මගින් දෘශ්‍ය වියමන ප‍්‍රබල කෙරේ. රූපයෙන් සංගීතය වෙන් කොට ගත නොහැකි තරමට රූපයේම ඵලයක් ලෙස සංගීතය නිර්මාණය තුළ නැඟී සිටී. ඔහුගේ සංගීතයෙහි ස්වර සංගති සමාන්තරව ගමන් නොකරයි. ස්වර සංගති විවිධතාව මත කැපී පෙනෙන ලෙස පවතී. සමාන රිද්මයකින් ඕනෑම තැනකට ගැළපෙන ලෙස ඔහුගේ සංගීත ඛාණ්ඩ භාවිත කළ නොහැකි වන බව මෙයින් හඳුනාගත හැකි ලක්‍ෂණයකි.

තනු රේඛාව රූප අනුක‍්‍රමය හා ස්වර සංගති නිර්මාණාත්මක නොවන අවස්ථාවකදී යෙදෙනුයේ මෙසේය.

දෘශ්‍ය රූපය විනිවිද දැකීමේ විස්මය
තනු රේඛාව රූප අනුක‍්‍රමය ස්වර සංගතිය

කේමදාසයන්ගේ භාවිතය ආකෘති ගත කරන්නේ නම් මෙසේය….

දෘශ්‍ය රූපය විනිවිද දැකීමේ විස්මය
තනු රේඛාව රූප අනුක‍්‍රමය ස්වර සංගතිය

මේ අනුව ඔහු නිර්මාණකරුවාට මනා ශ‍්‍රව්‍ය දෘශ්‍ය සමෝධානයකට එළඹීමට ඉඩ ලබා දේ. එසේ වුව එය හුදු ශ‍්‍රව්‍ය දෘෂ්‍ය සමෝදානයක් නොවේ. හුදු රූප සංගීත සම්මිශ‍්‍රණයක් නොවේ. සංඝට්ටන සමෝධානයකි. එකිනෙකා අතර ගැටුම මගින් ඇතිකර ගන්නාවූ සමෝධානයකි ඇතැම් විට එය සංසන්දනාත්මක සමෝධානයකි. චරිතයන්හි මනෝභාවයන් හා සංසිද්ධීන්හි මානව සම්බන්ධතාවන්, සමාජ දේශපාලනික අරුත් මතුකර ගැනීමට ඉඩ ලබා දේ. මෙම භාවිතය කේමදාසයන් තුළ ඇති විශේෂතාවකි. ඔහු දැන සංගීතය කරයි. රූපය හා එහි ඇති තත්ත්ව තේරුම් ගනිමින් සංගීතය කරයි. එවිට සංගීතය රූපය සමග තදින් බද්ධව හැසිරේ.

ඔහු චරිතයෙහි හැඟීම් තවත් උත්සන්න කිරීමට හෝ චරිතයෙහි හැඟීම්වල අඩුකම පිරවීමට හෝ සංගීතය භාවිත නොකරයි. එසේම නරඹන්නා තුළ සෘජු අදහස් ඇති කිරීමට ද ඔහුගේ සංගීතය භාවිත නොවේ. සෘජු අදහස් හැඟීම් ඇති කිරීම සංගීතඥයකුගේ කාර්යක් නොවේ. ඇතැම් විට ඔහු චරිතවල පවත්නා රේඛීය රංග ස්වභාව නැතහොත් සුදු කළු ලක්‍ෂණ විසුරුවා හැරීමට ඔහුගේ සංගීතය සමත්ය.

කේමදාසයන්ගේ සංගීතය අනවශ්‍ය ලෙස කෘතිය පුරා භාවිත කරන්නේ නම් එවිට සංගීතයෙහි කේමදාසගේ ආධිපත්‍යය මතුකිරීමක් වේ. එබැවින් සංගීතය කෘතිය මත එලා දක්වන අධ්‍යක්‍ෂවරයා ගේ භාවිතය ඉතා වැදගත්ය.

කේමදාස සංගීතය හා තාලය අතර ඇති සම්බන්ධතාද ඉතා මැනවින් හඳුනා සිටී. එසේම ඔහු සංගීතය හා අවකාශය පිළිබඳවද මනා වැටහීමක සිටී. ඔහු දෘශ්‍ය කාර්යයට ඓතිහාසික හා සමාජීය කාලයද රූප පද්ධතියේ තාක්‍ෂණික කාලයද හසුකර ගනී. ඒ අනුව චරිතවලට සංගීතය භාවිත කිරීමෙන් ඔහු වැළකී සිටී. චරිත අත්විඳින සමාජ ඛේදය හසුකරගන්නා කේමදාස ඒ හා සමග දේශපාලනික ගනුදෙනුවක යෙදේ. සැබවින්ම කේමදාස ගේ සංගීතය දේශපාලනිකය.

සංගීතය අවශ්‍ය හා අනවශ්‍ය බව වටහා ගන්නා ඔහුගේ නිශ්බ්දතාව සංගීතයේම ඵලයක් ලෙසට පත්කිරීමට සංගීතයෙන් කෘතියට සහයක් ලැබේ. නිහඬතාව සංගීතයම වේ. ඇතැම් විට ඔහුගේ සංගීත ඛණ්ඩයක ස්වර සංඝති අතර ද මේ නිහඬතාව පවතී.

කෘතියෙහි චරිත, සංවාද සංඝට්ටනවලට දුරින් සිට ඒවා හසුකරගන්නා කේමදාස අවසාන ප‍්‍රකාශනය සඳහා දායක වන්නේ දැඩි අනන්‍යතාවක්ද කෘතියට ලබා දෙමිනි. එම අනන්‍යතාව ගොඩනැඟීමට කෘතිය ඔහුගේම කරගන්නේ මතවාදී රාමුව තුළය. එය අධ්‍යක්‍ෂවරයාට ඉහළින් සිට නොවේ. එහෙත් ඇතැම් තැන එවැනි ලක්‍ෂණ දක්නට ලැබුණේ අධ්‍යක්‍ෂවරුන් ගේ වුවමනාව මත විය යුතුය.

කේමදාස සංගීත භාවිතය මෙරට දෘශ්‍ය නිර්මාණවල තීරණාත්මක සලකුණු තබා ඇත. එහෙත් අප ඒවා එකතු කර අධ්‍යයනය කිරීමට තාමත් අසමත්ය. විශේෂයෙන් දෘශ්‍ය නිර්මාණ සඳහා සංගීතයෙහි සූක්ෂ්මතා තේරුම් ගත් තවත් සංගීත නිර්මාණකරුවකු නැති බව මගේ වැටහීමයි.

ආචාර්ය ආරියරත්න ඇතුගල

දෘශ්‍ය රූපය විනිවිද දැකීමේ විස්මය
advertistmentadvertistment
advertistmentadvertistment