දෙමළ කතා කරන යාපනයේ සිංහල ඉස්කෝලේ

302

උතුරුකරේ පියසටහන් දස වැනි කොටස

යාපනය නගරය හා ඒ අවට ප‍්‍රදේශ සිංහල ජාතික වැසියන් විශාල පිරිසක් ස්ථීර පදිංචිකරුවන් ලෙස සිටි ප‍්‍රදේශයකි. සිංහල ජාතික රජයේ සේවකයෝ විශාල පිරිසක්ද පවුල් පිටින් එහි තාවකාලිකව පදිංචි වී සිටියහ.

ඔවුන්ගේ දූ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සිංහල පාසලක් යාපනය නගරයේ නොතිබුණි. අතීතයේදී බේකරි කර්මාන්තය ප‍්‍රමුඛ විවිධ ව්‍යාපාර රැසක හිමිකරුවෝ සිංහලයන් වූ අතර ඔවුන්ගේ දූ දරුවන්ට ස්වකීය මවු බසින් සිංහල පාසලක් නොතිබීම විශාල අඩුවක් විය. 1930 දශකය ආරම්භ වන විට ඉතා තදින් දැනෙමින් තිබූ මේ අඩුව පුරවාලන්නට කාගෙත් අවධානය යොමු විය.

ඒ අනුව යාපනයේ සිංහල බෞද්ධ ජනයා එක්වී යාපනය තරුණ බෞද්ධ සංගමය පිහිටුවාගෙන සිංහල පාසලක අවශ්‍යතාවය පිළිබඳව රජයට කරුණු ඉදිරිපත් කර තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1932 වසරේ රජයේ අනුග‍්‍රහය ඇතුව සිංහල විද්‍යාලයක් පිහිටුවාගෙන ඇත.

ඒ අනුව යාපනය රෝහල පාරේ කතෝලික දේවස්ථානයට යාබද අක්කර භාගයක පමණ ඉඩමක ඉදිකරන ලද අඩි 40ක් පමණ දිගැති අඩි 16ක් පමණ පළලැති කුඩා ගොඩනැගිල්ලක සිංහල විද්‍යාලය ආරම්භ විය.

ගුරුවරුන් දෙදෙනකු ගෙන් ඇරඹි විදුහලේ අයිතිය දිස්ත‍්‍රික් ග‍්‍රාමීය අධ්‍යාපන කමිටුවට පැවරී තිබුණි. එසේ කුඩාවට පටන්ගත් මෙම කුඩා විදුහල 1995 වසරේ වැසීයන විට යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලය බවට පත්වී තිබුණි.

දෙමළ කතා කරන යාපනයේ සිංහල ඉස්කෝලේ

සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කළද මෙහි සිංහල ජාතික ළමුන් පමණක් නොව දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, තෝරා ආදී සියලූ ජාතීන්ට අයත් ළමුන් ජාති ආගම් භේදයකින් තොරව එකාවන්ව සිංහල බසින් ඉගෙනීමේ නිරත වූහ.

එසේ ජාතික සංහිඳියාවේ කදිම මූලාරම්භයක් ලෙස ඇරඹි මෙම විදුහල එකල යාපනයේ වැඩිහිටියෝ විසින් සැලකූවේ තම දූ දරුවන්ට සිප්නැණ ලබාදෙන පිංබිමක් ලෙසිනි.

දෙමළ ජාතිකයන්ගේ හදවත බඳු වූ අගනුවර වන යාපනය නගරය අද දෙමළ ජාතිකයන් පමණක් ස්ථිර පදිංචිකරුවන් ලෙස සිටින නගරයක් ලෙස පැවැතිය ද අතීතයේදී සිංහල ජාතිකයන් බහුලව සිටි ප‍්‍රදේශයක් බව දැන් බොහෝ දෙනා අමතක කරදමා ඇත. යාපනයේ සිංහල විද්‍යාලයක් තිබූ බවද කාටත් අමතක වී ඇත. නව පරපුරේ අති බහුතරයක් යාපනයේ සිංහල විද්‍යාලයක් තිබුණ බව දන්නේම නැත.

ඒ අතීතය අමතක කරවීමට යාපනයේ ඉතිහාසය විකෘති කිරීමේ වැඩපිළිවෙළක් මහා පරිමාණයෙන් ක‍්‍රියාත්මකව පවතිද්දී වැළලී යමින් පවතින ඒ යාපනයේ දෙමළ සිංහල අතීතය යළි ගොඩනැගීමට සිංහල විදුහලේ ප්‍රෞඪ ඉතිහාසය සොයා මම යාපනයේ සැරිසැරූවෙමි.

යුද සමයේ යුදබිමක්ව පැවැතියදී හා ඉන් පසුව කීප සැරයක්ම යාපනය නගරයේ සැරිසරා තිබෙන මම මෙවර සති 03ක පමණ කාලයක් යාපනය නගරයේ ලැගුම්ගෙන සිටියෙමි. ඒ දිනවල මට දැනුනේ මම මගේ ගම් ප‍්‍රදේශයේ සිටිනවා වැනි හැඟීමකි.

යාපනය නගරය අද වනවිට ලබා තිබෙන දැවැන්ත භෞතික සංවර්ධනය මෙන්ම අධ්‍යාපනය හැදෑරීමට සිසු දරුවෝ දක්වන රුචිය හා උනන්දුව අතිමහත්ය. යාපනය නගරයේ හා ඒ තදාසන්නයේ විදුහල් රැසක් පිහිටා ඇත. ඉතා ශීඝ‍්‍ර දියුණුවක් ලබා තිබෙන එම විදුහල් පහසුකම් අතින් ද ඉතා ඉහළය. යාපනය මධ්‍ය මහා විද්‍යාලය ද ඉන් එකකි. දෙමළ මාධ්‍යයෙන් උගන්වන එම විදුහල දුටුවිට මට යාපනයේ තිබූ සිංහල මධ්‍ය මහා විද්‍යාලය සිහිවිය. නමුත් දැන් එම විදුහල නැත. එය පිහිටා තිබූ භූමියේ දැන් ඇත්තේ යුද හමුදා 512 වන බළසේනා මූලස්ථානයයි. එම භූමිය දැන් යුද හමුදාව සතු ය. යාපනය නගරයේ ඉතා වටිනා වැදගත් ඉඩමක් වන එය යුද හමුදාව සතුව තිබීම ඉතා හොඳය. විවිධ ආගමික හා රාජ්‍ය නොවන සංවිධාන එය සතුකර ගැනීමට ඇස ගසාගෙන සිටිති. ඒ හුදෙක් වානිජමය පරමාර්ථයෙනි. යාපනය සිංහල විද්‍යාලය නැවත ආරම්භ කරනවා නම් පමණක් එම ඉඩම නැවත භාරදීමට හමුදාව සූදානම් ය. විදුහල නැවත ආරම්භ නොකරනවා නම් යුද හමුදාව එහි සිටිනවාට බහුතරයකගේ කැමැත්ත ප‍්‍රකාශ වී තිබේ. ඒ යුද හමුදාව සපයන ආරක්ෂාව හා සුබසාධන කටයුතු නිසාවෙනි.

යුද හමුදාවේ ද සහයෝගය ඇතුව යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලය පිළිබඳ අතීත තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි විය. එම අතීතය සලකා බැලීමේදී එවන් ප්‍රෞඪ අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන සිංහල මධ්‍ය මහා විද්‍යාලය යාපනයට අහිමිවීමේ අඩුව හා දැන් එවැන්නක දැඩි අවශ්‍යතාවය හොඳින් දැනෙනු ඇත.

1932 වසරේදී ගුරුවරුන් දෙදෙනකු ගෙන් හා සිසුන් 17 දෙනෙකුගෙන් ආරම්භ වූ සිංහල විද්‍යාලයේ මුල්ගුරු තනතුරට පත්වූවේ එච්.පී.එම්.වයි. විජේසිංහ මහත්මියයි. ඇගේ සැමියා වූ එම්.කේ. අමරදාස මහතා අනෙක් ගුරුවරයා විය. ඔවුන් දෙදෙනාගෙන් විදුහලට සිදු වූ සේවය ඉතා විශාලය. සිංහල ජනතාවගේ නිවෙස්වලට ගොස් දෙමව්පියන් දැනුවත් කිරීමෙන් දරුවන් විදුහලට ගෙන්වා ගැනීමට කළ සේවය වැදගත්ය. රජයේ හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර ලබාගෙන සිසුන්ට දිවා ආහාරය සැපයීමට ද කටයුතු කරන ලදී.

ප‍්‍රාථමික පන්තිවලට පමණක් සීමාවූ විදුහල මුලින් හැඳින්වූයේ යාපනය රජයේ පෝෂිත සිංහල මිශ‍්‍ර පාඨශාලාව නමිනි. යාපනය හිංදු අධ්‍යාපන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අධිනීතිඥ එස්. රාජරත්නම් මහතා විදුහලේ කළමනාකාර තනතුර දැරීය.

1933 වසරේදී දිස්ත‍්‍රික් ක‍්‍රීඩා තරගවලට සිසුන් ඉදිරිපත් කර ත්‍යාග හා සහතික ලබාගත් අතර එම වසර තුළ ටික කලක් එම්.එම්.කේ. ගුරුසිංහ මහතා ගුරුවරයකු ලෙස සේවය කළේය.

1938 මැයි 01 වැනිදා විදුහල රජයට පවරා ගත්තේය. එවක කෘෂිකර්ම ඇමැතිව සිටි ඞී.එස්. සේනානායක මහතා යාපනයේ සංචාරයක නිරතව සිටියදී විදුහලට පැමිණ ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස විදුහලට ගුරු නිවසක් ලැබී තිබේ.

1939 අගෝස්තු 01 වැනිදා ඞී.ඒ. කරුණාරත්න මහතා ප‍්‍රධානාචාර්ය ධුරයට පත්විය. ඒ වන විට සිසුන් ගණන 72ක් වූ අතර 07 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වීය. 1942 දී සිසුන් 74 දෙනෙක් සිටි අතර ගුරුවරුන් ගණන 02 දෙනෙකු විය.

1945 වනවිට එස්.පී.ඒ. ජයසුන්දර මහතා ප‍්‍රධානාචාර්ය ලෙස කටයුතු කළේය. ඔහුගේ බිරිඳ වූ එම්.ඒ.එන්. ජයසුන්දර මහත්මිය ගුරුවරියක ලෙස සිටියාය.

1947 දී පියසෙන් රණබාහු මහතා ප‍්‍රධානාචාර්ය ධුරයට පත්විය. 1948 වසරේ ගුරු මණ්ඩලය 04ක් වූ අතර ඉන් 02 දෙනකු ගුරුවරියෝ වූහ. සිසුන් ගණන 188 කි. 1949 වසරේ ප‍්‍රධානාචාර්ය ධුරයට ටී.බී. හේරත් මහතා පත්වූ අතර ගුරුවරුන් සංඛ්‍යාව 05 දෙනෙකු දක්වා වැඩිවිය. මේ වනවිට ජ්‍යෙෂ්ඨය දක්වා පන්ති පැවැත්වුණි.

මේ කාලයේ උතුරු පළාතේ පාඨශාලා පරීක්ෂක ධුරය ඉසිලූ ජී.එම්. වෙලගෙදර මහතා විදුහල දියුණු කිරීමට වෙහෙසක් දැරීය. ශිෂ්‍ය සංඛ්‍යාව 293ක් දක්වාත් ගුරුවරු සංඛ්‍යාව 08ක් දක්වාත් වැඩිවිය.

1959 වසර විදුහලට සුවිශේෂී වසරක් විය. ඒ මෙතෙක් යාපනය රජයේ සිංහල මිශ‍්‍ර පාසල ලෙස හැඳින්වූ විදුහල යාපනය සිංහල මහා විද්‍යාලය ලෙස උසස් කිරීම නිසාවෙනි. ගුරු මණ්ඩලය 10 දෙනෙකි. විදුහලට පළමු දෙමහල් ගොඩනැගිල්ල එම වසරේදී ලැබුණි.

හැටේ දශකයේ මැදදී ජේ.පී. මාපා මහතා විදුහල්පති ලෙස පත්විය. 1970 වනවිට සිසුන් ගණන 1200ක් පමණ වූ අතර ඒ වනවිට යාපනය දිස්ත‍්‍රික්කයේ සිංහලයෝ 20402 දෙනෙකු පදිංචි වී සිටියහ. එම සංඛ්‍යාව 1983 වනවිට 5648 දක්වා අඩුවී තිබුණි.

දෙමළ කතා කරන යාපනයේ සිංහල ඉස්කෝලේ

1978 වසරේ මෙම විදුහල යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලය බවට පත්විය. ඒ වනවිට ආචාර්ය මණ්ඩලය 50කට අධික සංඛ්‍යාවක් වූ අතර විද්‍යා, වාණිජ, කලා අංශ තුනෙන් උසස් පෙළ පන්ති පවත්වාගෙන ගොස් ඇත. විවිධ හේතූන් මත ගුරුවරුන් ස්ථාන මාරුවීම් ලබාගෙන යෑම නිසා සමහර විෂයන් සඳහා ගුරු හිඟය බලපා තිබේ.

යාපනය දිස්ත‍්‍රික්කයේ සියලූම විදුහල්වලට විද්‍යා විෂය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගබඩා කර තබා ඇත්තේද මෙම විදුහලේය.

1970 වනවිට ප‍්‍රින්ස් අම්පිටිය මහතා විදුහල්පති ලෙස පත්විය. ඉන්පසු එන්.සී. රංජිත් ගුණවර්ධන මහතා විදුහල්පති ධුරය දැරීය. මරියදාසන් මහතා ඉන්පසු විදුහල්පති ධුරයට පත්වූ අතර ඔහුගෙන් පසු කේ.නඬේසන් මහතා විදුහල්පති ධුරයට පත්විය. ඔහු සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ අවසන් විදුහල්පතිවරයා විය.

1983 ජූලි කලබල සමයේ විද්‍යාලය කඩාබිඳ දැමූ පසු ඉතිරිව සිටි සිසුන් 60 දෙනා හා ගුරුවරුන් 10 දෙනා සමග විදුහල අසල තිබූ ඕ.එල්.ආර්. විදුහල් බිමේ කොටසක සිංහල මධ්‍ය මහා විද්‍යාලය පවත්වාගෙන ගොස් ඇත. 1994 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල පැමිණීමෙන් පසු සිංහල විද්‍යාලය කොටසේ කිසිම සිසුවෙකු නොසිටි නිසා 1995 වසරේ පෙබරවාරි මස විදුහල වසා දමන ලදී. යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ අවසානය එය විය.

ඒ වනවිට විද්‍යාලයේ සිටි විදුහල්පති කේ. නඬේසන් මහතා සහ එකම ගුරුවරයා වූ ඊ.එස්. පියදාස මහතා ඕ.එල්.ආර්. විදුහලට අනුයුක්ත කරන ලදී.

පියදාස මහතා යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි. පසුව එම විද්‍යාලයේම සිංහල හා ක‍්‍රීඩා විෂයයන් උගන්වන ගුරුවරයෙක් ලෙස වසර 25ක් පමණ සේවය කළ ඔහු විශ‍්‍රාම ලබා දැන් යාපනයේ පදිංචිවී සිටී. පියදාස මහතා විවාහ වී සිටිනුයේ යාපනයේ දෙමළ කාන්තාවක සමගිනි.

යාපනය බ‍්‍රවුන්ස් පාරේ පදිංචිව සිටින පියදාස මහතා හමුවීමට මම ගියෙමි. විදුහලේ ආදි සිසුවකු හා හිටපු ගුරුවරයකු නිසා ඔහුගෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි විය.

”එලබද්දගොඩ සිංහගේ පියදාස මගේ සම්පූර්ණ නමයි. මගේ වයස දැන් අවුරුදු 79යි. මම උපන්නෙ යාපනයේ. මගේ තාත්තා මාතර කෙනෙක්. අම්මාත් මාතර. තාත්තා බේකරි හිමියෙක් ලෙස යාපනයේ ස්ථීරව පදිංචි වී සිටි නිසා අයියයි, මල්ලියි, නංගියි, මමයි යාපනයේ ඉපදුනේ. යාපනය නගරයේ නාග විහාරය අසල ඉස්සර තිබූ ඔරියන්ටල් බේකරියේ හිමිකරුවා මගේ තාත්තයි.

1983 ජූලි කලබල සමයේ බේකරිය ගිනිතබා විනාශ කළා. යාපනයේ සිංහලයින් පන්නා දැමූ නිසා අම්මයි තාත්තායි සහෝදර සහෝදරියොයි මාතරට ගියා. මගේ බිරිඳ දෙමළ කාන්තාවක් නිසා මම යාපනයේ දිගටම හිටියා.

මම ජ්‍යෙෂ්ඨ විභාගය සමත්වෙන තුරු යාපනය සිංහල විද්‍යාලයේ ඉගෙන ගත්තා. 1970දි මට ගුරු පත්වීමක් ලැබුණා. මම මීරිගම ගුරු විද්‍යාලයේ ගුරු පුහුණුව ලැබුවා. ඊට පසු යාපනය සිංහල මහා විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කළා. විදුහල වසා දමන තුරු එහි සේවය කළා.

සිංහල දරුවන් පමණක් නොව සියලූම ජාතීන්ට හා සියලූම ආගම්වලට අයත් සිසු දරුවන් එකාමෙන් සහජීවනයෙන් ඉගෙන ගත්තා. යාපනයට විශාල සේවයක් කළ ප‍්‍රකට විදුහලක් වූ මෙය අහිමිවීම විශාල පාඩුවක්. මෙහි උගත් සිංහග සිසුන් පමණක් නොවෙයි දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, තෝරා ආදී සියලූම ජාතීන්ට අයත් සිසු දරුවෝ සමාජයේ ඉහළ තැන්වලට පත්වුණා.

මම විශ‍්‍රාම ගැනීමෙන් පසු යාපනයේ දෙමළ ළමුන්ට හා රාජ්‍ය සේවකයින්ට සිංහල ඉගැන්වීමේ නිරත වුණා. විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් මම සිංහල ඉගැන්වීම කළා. දැන් අතීතය සිහිකරමින් විශ‍්‍රාම සුවය විඳිමින් සතුටින් ඉන්නවා” යැයි පියදාස මහතා පැවැසීය.

අතීතයේදී යාපනයේ සිටි සියලූම ජාතීන්ට අයත් සිසු දරුවන්ට සිප්නැණ බෙදාදුන් විදුබිමක්වූ යාපනය සිංහල මහා විද්‍යාලයේ ඉතිහාසය සොයා යෑමේදී එහි ආදි සිසුවියක මට හමුවිය. සිංහල ජාතික කාන්තාවක වන ඇය යාපනය නාවක්කුලියේ පදිංචිව සිටින්නීය. නාවක්කුලිය විද්‍යාලයේ දෙමළ සිසුන්ට සිංහල භාෂාව ඉගැන්වීමේ නිරත ගුරුවරියක වන ඇය යාපනයේ උපන් කෙනෙකි.

යාපනයේ නල්ලූර්හි පදිංචි වී සිටි බේකරි හිමියකුගේ දියණියක වන ඇය යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදී 1983 ජුලි කලබල සමයේ මහනුවර ප‍්‍රදේශයට ගොස් 2010 වසරේ නැවත යාපනයට පැමිණ තවමත් එහි පදිංචිව සිටිමින් උතුරු නැගෙනහිර අවතැන්වූ සිංහල ජනතා එකමුතුව නමින් සංවිධානයක් පිහිටුවා එහි ලේකම්වරිය ලෙස විශාල වැඩකොටසක් ඉටු කරයි.

ඇය ආශා දමයන්ති මහත්මියයි. නාවක්කුලිය සිංහල ගමේ පදිංචිව සිටිමින් එහි සිංහල දරුවන් සඳහා පෙර පාසලක්ද ඇගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යයි. එම පෙර පාසලේ දෙමළ දරුවෝ ද සිංහල බසින් ඉගෙන ගනිති.

යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලය නැවත ආරම්භ කිරීමට ප‍්‍රබල උත්සාහයක නිරතව සිටින ඇය සිය සංවිධානය හරහා 2015 මැයි 12 වැනිදා සිට අදාළ රජයේ බලධාරීන් දැනුවත් කිරීමේ හා ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ නිරතව සිටින්නීය.

යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුන් එකතුවී 2018 වසරේ ආදි ශිෂ්‍ය සංගමයක් පිහිටුවා ගෙන ඇත. එම සංගමයේ වත්මන් සභාපති ලෙස රොහාන් ඩැනියල් මහතා කටයුතු කරයි.

ආදි ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් පෙර පාසලක් යාපනය සර්වෝදය මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලැබීය. සිංහල මධ්‍ය මහා විද්‍යාලය නැවත ආරම්භ කිරීම සඳහා ආදි ශිෂ්‍ය සංගමය මේ වනවිට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙන යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ අවසන් විදුහල්පතිව සිටි කේ. නඬේසන් මහතා නල්ලූර් කෝවිල ආසන්නයේ නිවසක වාසය කරයි. යාපනයේ වැසියකු වුවද නඬේසන් මහතා දංකොටුව ප‍්‍රදේශයේ සිය පාසල් කාලය ගෙවූ අතර ඔහු සිංහල බස ඉතා හොඳින් දන්නා බව ඔහු සමග කතා කිරීමේදී මට පසක් විය.

දකුණේ පාසල් කීපයක සිංහල භාෂාව ඉගැන්වූ ගුරුවරයෙක් වන ඔහු යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ද සිංහල භාෂාව උගන්වා ඇත. 1970 වසරේ සිට එහි සිංහල භාෂාව ඉගැන්වූ ගුරුවරයෙක්වූ නඬේසන් මහතා පසුව එහි විදුහල්පති ධුරය ඉසිලීය.

යාපනයේ දෙමළ සිසුන්ට සිංහල භාෂාව ඉගැන්වීමේ නිරතව සිටින ගුරුවරයෙක් වන ඇල්බට් ශ‍්‍රීරන්ජන් මහතා ද මට යාපනයේදී හමුවිය. ඔහුත් යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1967 සිට 1981 වසර දක්වා එහි උගත් ඔහු දෙමළ කාන්තාවක් සමග විවාහවී යාපනයේ පදිංචිවී සිටී. යාපනය අධ්‍යාපනය විද්‍යා පීඨයේ බාහිර කථිකාචාර්යවරයකු වන ඔහු දෙමළ සිසුන්ට හා දෙමළ රජයේ සේවකයින්ට සිංහල භාෂාව උගන්වන පෞද්ගලික පන්ති ගුරුවරයෙක් ලෙස ද කටයුතු කරයි.

යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගත් තවත් සිංහල ජාතික ආදි සිසු සිසුවියන් කීපදෙනෙකු තවමත් යාපනයේ පදිංචිවී සිටිති. ඒ ඔවුන් දෙමළ ජාතික පිරිමින් හා කාන්තාවන් සමග විවාහවීම නිසාවෙනි.

1983දී යුද්ධය පටන් ගැනීමට පෙර කිසිදු ජාති භේදයකින් හා ආගම් භේදයකින් තොරව සංහිඳියාව හා සහජීවනය ගොඩනගමින් පවත්වාගෙන ගිය යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලය අහිමිවීම විශාල පාඩුවකි.

සටහන හා ඡායාරූප
සිරිමෙවන් කස්තුරිආරච්චි
යාපනය අර්ධද්වීපයේ සංචාරයකින් පසු

advertistmentadvertistment
advertistmentadvertistment