හම්බන්තොට, සාමෝදාගම ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවකු විසින් උපකාරක පන්තියකට යමින් සිටි 15 හැවිරිදි තවත් පාසල් සිසුවකුට පහරදී මරාදැමූ සිද්ධියක් සහ අඟුණකොළපැලැස්ස, වැටිය ප්‍රදේශයේ 13 හැවිරිදි සිසුවකු විසින් අසල්වැසි 8 හැවිරිදි සිසුවකුගේ ගෙදරටම ගොස්, එම දරුවා රෝහල් ගතවනතුරු පිහි ඇනුමක් කිරීමේ සිද්ධියක් ගැන පසුගිය සතියේ මාධ්‍ය මුල්තැනක් දුන්නේ සතිය උණුසුම් කළ ගංවතුර ආපදාව ද පරයා ය. මෙහි තවත් එක් දිගුවක් වන්නේ 8 හැවිරිදි සිසුවාට පිහියෙන් ඇන තුවාල සිදුකරන ලද සිසුවා අනතුරුව ගෙදරින් පැන ගොස් වස බී සිටියදී කිසිවකු විසින් හෝ රෝහල් ගතකර තිබීමය. මෙම සිදුවීම් දෙක මෙරට වත්මන් දරු පරපුර මුහුණ දී සිටින බරපතල කඩාවැටීම ගැන අපට කියයි. අමෙරිකාවේ සහ ඇතැම් යුරෝපා රටවල ළමා අපරාධකරුවන් විසින් පාසල් තුළ සිදුකරනු ලබන වෙඩිතැබීම් සහ ඉන් මිය යන සහෝදර සිසු-සිසුවියන් ගැන ප්‍රවෘත්ති අපට ඉඳ හිට අසන්නට ලැබේ. ඒ එවන් රටවල තුවක්කු සංස්කෘතියක් පවතින නිසා විය හැකිය. නමුත් අපේ රටෙන් ඇසෙන ඉහත ආකාරයේ ප්‍රවෘත්ති පිළිබඳව අපට ඇත්තේ මහත් කුකුසකි, නැතහොත් විශ්මයකි. ඒ අපේ දරු පරපුර මෙවන් අපරාධකාරයන් බවට පත්වීමට තරම් සමාජ පරිවර්තනයක් ඇති වූයේ කෙලෙස ද සහ කවදා ද යන්නයි. ඊට බලපාන ලද හේතු කවරේ ද යන්නයි. ඉහත සිදුවීම් දෙකටම මුල්වී ඇත්තේ එම දරුවන්ට ඉවසීමක් නොමැතිකම බව පැහැදිලිය. එමෙන්ම, මල් වැනි දරුවන්ගේ සිත් තුළට ඇතුළු වී ඇති පළිගැනීමේ චේතනාව දරාගැනීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බවය.
පෙම් හබයන් නිසා හෝ බිග් මැච් මේනියාවන් නිසා ඇන කොටාගන්නා දරුවන් ගැන අප අසා තිබුණද, වෙනත් සුළු කරුණු මත කෝපයට පත්වී අපරාධකරුවන් බවට පත්වන සමාජයක් ගැන අපට මීට ඉහත අසන්නට ලැබුණේ නැත. නමුත් වත්මන් සමාජ ප්‍රවණතාව ඉතා නරක පූර්වාදර්ශ සපයන බව පෙනෙන්නට තිබේ. තවමත් ඇටෙන් පොත්තෙන් එළියටවත් නොපැමිණි 13 හැවිරිදි සිසුවකු එවැනිම 8 හැවිරිදි දරුවකුට පිහියෙන් ඇන ඔහු ගෙදරින් පැන ගොස් වස පානය කිරීම යනු කෙතරම් බරපතල සමාජ තත්ත්වයක් ද යන්න මෙරට අධ්‍යාපන බලධාරීන්, සමාජ විද්‍යාඥයින් ඇතුළු ළමුන්ගේ කායික, මානසික පර්යේෂණ සිදුකරන්නන්ට ඉතා හොඳ වස්තු බීජ සපයයි. නමුත් ඔවුන් එසේ සිදුකරන පර්යේෂණ ප්‍රතිපල ඉතා ඉක්මනින් සමාජගත කළ යුතුව ඇත්තේ වත්මන් දරු පරපුර සහ අනාගත දරු පරපුර මෙවන් ඛේදවාචකවලින් හැකි තරම් ඉක්මනින් ගලවා ගත යුතුව ඇති නිසාය.
යමක් සිදුකරන්නට පෙර තමන් එම දේ කළ පසු සිදුවන එහි ආදීනව කුමක් වේද යන්න කල්පනා කරන සමාජයක් වෙනුවට තමන් සිදුකරන දේ පමණක් වස්තු විෂය කරගෙන සිදුකරන ක්‍රියාවන්හිදී අවසානය හිරගෙදරකින් හෝ ළමා විශෝධන මධ්‍යස්ථානයකින් කෙළවර වෙයි නම්, මෙරට දරු පරපුර යහමගෙහි පවත්වා ගෙන යෑම සඳහා විධිමත් වැඩපිළිවෙළක් වහාම අවශ්‍ය බව ඉහත සිදුවීම් දෙක අපට හඬගා කියයි.
මේ බොහෝ සිදුවීම්වලට හේතුවී ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකථන දරුවන් අතට පත්වීම බවට අදහසක් අපට ගොඩනැගිය හැකිය. වැටිය ප්‍රදේශයේ 13 හැවිරිදි දරුවා 8 හැවිරිදි අසල්වැසි සහෝදරයාට පිහියකින් අනින්නේද ජංගම දුරකථන කෝන්තරයකටය. විටෙක එක දුරකථනයකට දෙදෙනාටම ඇති අවශ්‍යතාව මෙවන් කෝන්තරයකට හේතුවන්නට ඇත. මෙරට දරුවන් සියයට 80 ක් පමණ දෙනා ජංගම දුරකථන භාවිතයට හුරු පුරුදු වී ඇති බව විශ්වාස කළ හැකිය. මන්ද පියා කෙසේ වෙතත් තම මව භාවිත කරන ස්මාර්ට් දුරකථනය දරුවන් භාවිත කරනු ලබන්නේය. ඉන් නොයෙකුත් අර්බුද හටගෙන ඇති බව දැන් රහසක් නොවේ. ඉන් ප්‍රධාන අර්බුදය නම්, ඔවුන්ගේ ඉගෙනුම් ලෝකය අර්බුදයට ලක්වීමයි. කම්පියුටර් ගේම් ඇතුළු ස්මාර්ට් ජංගම දුරකථනයේ බහුභූතවලට ඇබ්බැහි වන දරුවා ඉන් ගලවා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බැවින් අධ්‍යාපන කටයුතු අඩාල වේ. දරුවන් විභාග අසමත් වීම හෝ ලබාගන්නේ අපේක්ෂිත ප්‍රතිපල නොවේ. අද සමාජයේ පාසල් සිසුන් වැඩි දෙනා සතුව තමන්ගේම ස්මාර්ට් දුරකථනයක් ඇති අතර, පාසල් ගෙන නොගියත් එය උපකාරක පන්තියට රැගෙන යයි. එසේම දවසේ වැඩි කාලයක් දුරකථනය භාවිත කරනු දකින්නට ලැබෙන අතර ඒ භාවිත කරන්නේ ද අත්‍යවශ්‍ය කාරණා සඳහා නොවේ. එම නිසා කෘත්‍රිම මිනිසුන් බිහිවීමේ සමාජ පරිවර්තනයක් ඇතිවෙමින් පවතින අතර, එහි ප්‍රතිපල ලෙස, හම්බන්තොට වැටියේ සහ සාමෝදාගම වැනි අපරාධ ඇති විය හැකි බව විශ්වාස කළ හැකිය.
ජංගම දුරකථනයෙන් එහා ගිය අනෙක් ප්‍රශ්නය නම්, දරුවන් කීකරු නොවීම සහ දෙමාපියන් උවමනාවෙන් දරුවන් ගැන නොබැලීමය. සැබැවින්ම දෙමාපියන් සැලකිල්ලෙන් සිටී නම්, සමාජයේ සිදුවන අපරාධවලින් අඩක් පමණම අවම කරගත හැකි බව අපගේ විශ්වාසයයි. උවමනාවට වඩා දරුවන්ට ලැබෙන නිදහස සහ එම නිදහස අයුතු ලෙස භාවිතයට ගැනීම ගැන කෙළින්ම වගකිවයුත්තේ දෙමව්පියන් බව අපගේ අදහසයි. නිදසුනක් ලෙස ගතහොත්, සාමෝදාගම සිද්ධියේ 17 වැනි නව යොවුන් වියේ දරුවා අනෙකාට මග රැක සිට පහර දෙන්නට යෑමට රැගෙන ගොස් තිබුණේ තම පියාගේ ත්‍රීවීල් රථයයි. දෙමව්පියන් තම දරුවන් ගැන අවදියෙන් සිටින්නේ නම් බොහෝ අපරාධ සහ දරුවන් විඳින අනවශ්‍ය නිදහස වළක්වා ඔවුන් පලදායී දෙයකට යොමුකිරීමට දෙමව්පියන්ට හැකිය.
මන්ද, හම්බන්තොට සිද්ධි දෙකේදීම අද වධ විඳින්නේ ඔවුන්ගේ දෙමාපියන් වන නිසාය. එසේ හෙයින් තම තමන්ගේ දරුවන් පිළිබඳව මීට වඩා උනන්දුවෙන් සොයා බලන්නට කටයුතු කරන ලෙස මේ රටේ දෙමාපියන්ගෙන් අප ඉල්ලා සිටින්නට කැමැතිය.