දෙරටක් කළඹමින් නැතිවී යළි හමුවුනු පුංචිත්තා

309

මුළු කාබුල් නුවරම බෙහෙවින් කලබලකාරීය. කාබුල් ගුවන්තොටුපළ හා ඒ අවටද අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී තිබිණ. තල්ලූ වෙමින් තෙරපෙමින් ඉදිරියට ඇදෙන ජන ගඟ මැදට මිර්සා අලි අහමඩි ද එක් වූයේ ඔහුගේ බිරිඳත් දරුවන් සිවු දෙනාත් රැගෙනය. වැඩිමල් දරු තිදෙනාගේ අත් වලින් තදින් අල්ලා ගත් මිර්සා අලී ගේ බිරිඳ ඔහුට ඉදිරියෙන් ගමන් ගත්තාය. මිර්සා තම බාල පුතු සොහයිල් අහමඩිව වඩාගෙන, බිරිඳත් අනෙක් දරු තිදෙනාත් දෙස ඇස ගසාගෙන සෙනඟ අතරේ තල්ලූ වෙමින් ඉදිරියට ඇදෙන්නට වූයේය. ඒ වන විටත් සොහයිල් අහමඩිට වයස මාස දෙකක් පිරුණා පමණකි. මිර්සා අලී අහමඩි ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙකු වශයෙන් සේවය කළේය. ඉතින් දැන් තවදුරටත් ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු තානාපති කාර්යාලයක් නැත. ඔහුට රැකියාවක්ද නැත.

ඔවුන් මේ යන්නේ කොහිද.? තමන්ගේ මවුබිම අත්හැර දමා, වෙනත් දේශයක රැකවරණ පතාගෙනය.

ඔවුන්ගේ මව්බිම වූ ඇෆ්ගනිස්තානය තලේබාන් පාලනයට නතුව ඇත. ඒ පාලනයට නතුව ජීවත්වීම බිහිසුණු සිහිනයක් වැන්න. ඒ බියකරු ඉරණමෙන් ගැලවෙන්නට ඇෆ්ගන් වැසියන්ට එකම එක කුඩා බලාපොරොත්තුවක් ලැබී ඇත. ඒ ඇෆ්ගන් ජාතිකයන්ව සරණාගතයන් ලෙස භාරගෙන ඇමරිකාවට ගෙන යන්නට ඇමරිකානු ගුවන් යානා පැමිණ තිබීමය. මේ ගුවන්යානාවකට ගොඩ වෙන්නට අවස්ථාව ලබා ගනු වස් ඇෆ්ගන් වැසියෝ තෙරපෙමින් රැස්කමින් සිටියහ.

ඒ සෙනඟ කන්දරාව මැදින් ගමන් කිරීම පහසු නොවීය. තෙරපීමත්, කලබැගෑනියත් වැඩිහිටියෙකුට පවා දරා ගන්නට බැරි තරම්ය. දෙමසක් වයසැති කුඩා පුතුට තෙරපීමෙන් කරදරයක් වෙනු ඇතැයි මිර්සා අලී බිය වූයේය. ගුවන්තොටුපළට ඇතුළු වෙන්නට තවත් ඇත්තේ ටික දුරකි. ඔවුන් සිටියේ ගුවන්තොටුපළ වටා බැඳි තාප්පය අසලය. එහි ගේට්ටුව පෙනෙන දුරකිනි. මිර්සා වටපිට බැළුවේය. ගුවන්තොටුපළේ තාප්පය මත එහි රැකවල් ලා උන් ඇමරිකානු සොල්දාදුවන් පිරිසක් වූහ.

මිර්සා තම කුඩා පුතණුවන්ව ඔවුන් දෙසට එසවූයේය.

දෙරටක් කළඹමින් නැතිවී යළි හමුවුනු පුංචිත්තා

”සර්, මේ දරුවව පොඞ්ඩකට ගන්නවද.? මට තව විනාඩි පහකින් එයාපෝට් එක ඇතුළට එන්ඩ පුළුවන්. මට එතකොට ඔතනට එන්ඩ පුළුවන්.?” ඔහු එහි උන් ඇමරිකානු සොල්දාදුවෙකුගෙන් ඉල්ලා සිටියේය. ඒ සොල්දාදුවා ඔහු කී දෙය විශ්වාස කරන්නට ඇත. ඔහු දරුවා තමා අතට ගත්තේය.

එහෙත් මිර්සාට පොරොන්දු වූ අයුරින් විනාඩි පහෙන් එතැනට යන්නට ලැබුණේ නැත. තලේබාන් හමුදාවන් පැමිණ එතැන උන් සෙනඟ පලවා හරින්නට උත්සාහ ගත් හෙයින්, කලබල වූ සෙනඟ අතරින් රිංගාගෙන පෙනෙන දුරින් ඇති ගේට්ටුවෙන් ගුවන්තොටුපළ ඇතුළට රිංගා ගන්නට ඔහුට තවත් පැය බාගයකට වැඩි කාලයක් ගත විය.

වෙලාව කෙසේ වෙතත් ඔහු පොරොන්දු වූ ලෙසටම අර ඇමරිකානු නිලධාරියා උන් තැනට නම් ආවේය. එහෙත් ඒ වන විට ඒ ඇමරිකානු සොල්දාදුවා එතැන උන්නේ නැත. ඔහු පමණක් නොව, මිර්සාගේ බිලිඳු පුතා, සොහයිල් අහමඩිද පෙනෙන්නට නැත.

මිර්සාගේත්, ඔහුගේ බිරිඳගේත් හිස ගිනි ඇවිලූණේ නැති ටික විතරය.. ”කෝ අපේ දරුවා..? අනේ අපේ පුතාව දැක්කද.?” අසන්නට හැකි හැම කෙනෙකුගෙන්ම අසමින්, බලන්නට හැකි හැම තැනකම බලමින්, කාබුල් ගුවන්තොටුපළ පීරමින් ඔවුහු තම දරුවාව සෙවූහ.

එහෙත් දරුවා හමු වූයේ නැත. දරුවාව දුන් සොල්දාදුවාද පෙනෙන්නට නැත. එහි උන් ආරක්ෂක නිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් කීවේ වෙනස් කතාවකි.

”ප්ලේන් එකක් පිටත් වුණා. ඒකට සෙනඟ ගොඩක් නැග්ගා. සමහර විට ඕගොල්ලන්ගෙ දරුවා ඒකෙ ඇති.. කාගෙ හරි අතේ, එයා දැන් මේ වෙනකොටත් ඇමරිකාවට යනවා ඇති.. ඔයගොල්ලන්ට එහේදි එයාව හොයා ගන්ඩ පුළුවන් වෙයි..”

ඉතින් මිර්සා තම පවුලේ අයත් සමග වහ වහා ඊළඟ ගුවන් යානාවට ගොඩ වෙන්නට බලාගෙන සිටින සෙනඟ ගොඩට එකතු වූයේය. දැනටමත් නාඳුනන්නෙකු අතේ ඇමරිකාවට යන තම අතදරුවාව එහිදී හෝ හොයා ගන්නට ඔවුන් සිටියේ නොඉවසිල්ලෙනි.

ඒ අතර ගුවන්තොටුපළේ තවත් තැනක තවත් දෙයක් සිදුවෙමින් පැවතිණ.

විසි නව හැවිරිදි හමීඞ් සාෆි, කාබුල් නගරයේ කුලී රථ රියැදුරෙකි. ඔහු එදා කාබුල් ගුවන්තොටුපළට ආවේ ඇමරිකාවේ රැකවරණ සොයා යන්නට පිටත් වෙන තම සොහොයුරාගේ පවුල ගුවන්තොටුපළට ඇරලන්නටය. සොහොයුරාව ගුවන්තොටුපළ පර්යන්තයට ඇරලා ආපසු එන්නට හැරුණු ඔහුට යම් දෙයක් දකින්නට ලැබිණ. ඒ ගුවන්තොටුපළ තාප්පය අසල, බිම තබා තිබුණු පොදියකි. එය සෙළවෙන බවක් පෙනිණ. ඔහු මඳකට ළං වී එදෙස පරීක්ෂාවෙන් බැලූවේය. ඒ පොදිය කුඩා දරුවෙකි. වයස මාස ගණනක් විය හැකි අත දරුවෙකි. ඒ අත දරුවා දෑතට ගත් සාෆි, දරුවා කාගේදැයි අවට සිටි අයගෙන් විමසුවේය. පුදුමයකි. අයිතිකාරයෙක් නැත. දරුවාව වඩාගෙන සාෆි ගුවන්තොටුපළේ හැම තැනම ඇවිද්දේ දරුවාගේ දෙමාපියන් සොයා ඔහුව බාර දෙන්නටය. එහෙත් ඔහුට කිසිවෙකු හමු වුණේ නැත. අවසානයේ දරුවා ගෙදර ගෙන ගොස් තමාම හදා වඩා ගන්නට ඔහු තීරණය කළේය.

පුංචි සොහයිල් හමීඞ් තවත් අම්මෙකුගේත් තාත්තෙකුගේත් භාරයට පත් වූයේ එලෙසය.

සාෆි දරුවාව තම නිවසට ගෙන ගිය විට ඔහුගේ බිරිඳ නම් බෙහෙවින්ම සතුටු වූවාය.

”මං හැමදාමත් දෙවියන්ගෙන් ඉල්ලූවේ පුතෙක් ලැබෙන්ඩ කියලා. ඒත් අපට ලැබුණෙ කෙල්ලොම තුන් දෙනෙක්. අල්ලා දෙවියෝ මගේ මූණ බලලා මේ සැරේනම්.. මේ දරුවා අපේ ළඟට එව්වා. මේ දරුවව අපි අපේ පුතා විදිහට හදා ගමු..” ඇය කීවාය. එතැන් පටන් ෆරීමා සාෆි ඒ දරුවාට තමන්ගේම පුතෙකුට මෙන් ආදරය කළාය. ඔහුව හොඳින් බලා ගත්තාය.

ඇමරිකාවට ගිය පසුවද මිර්සා අලී තම දරුවාව සෙව්වේය. ඔවුන්ට පුංචි සොහයිල්ව හොයා ගන්නට නොහැකි විය. ඇමරිකා එක්සත් ජනපදයේදී මිර්සා අලීගේ පවුල යොමු කෙරුණේ ටෙක්සාස් හි ඇති සරණාගත කඳවුරක් වෙතය. ඒ සරණාගත කඳවුරේ සිටද මිර්සා අලී තම පුතාව සෙවීම අත්හැර දැමුවේ නැත. මාස ගණනක් තිස්සේ දරුවාව සෙවූ ඔහු සමාජජාල වලින්ද, පුවත් නාලිකා වලින්ද දරුවා සොයා ගන්නට උදව් ඉල්ලූවේය.

එයින් එක් උත්සාහයක් පල දැරුවේය. මේ අතුරුදන් වූ දරුවා ගැන රොයිටර් පුවත් සේවයේ පළ වූ පුවත, කාබුල් නුවර හමීඞ් සාෆිගේ අසල්වැසියන් කිහිප දෙනකුගේ නෙත ගැටී තිබිණ. හමීඞ් සාෆිගේ අලූත් පුතා රැගෙන ආවේ, ඔහුගේ සොහොයුරන්ව ඇරලවන්නට ගුවන්තොටුපළට ගොස් ආපසු එද්දී බව ඒ අසල්වැසියන්ට මතක තිබිණ. ඔවුහු කොමෙන්ටු හා ඡායාරූප මගින් දරුවා සිටින තැන ඒ පුවතට යටින් පළ කළහ. ඒ ඇසුරින් තම දරුවා සිටින තැන සොයා ගන්නට මිර්සා අලීට හැකි විය. වහා ක‍්‍රියාත්මක වූ මිර්සා අලී අහමඞ්, දරුවාව යළි ලබා ගන්නට, ඒ වන විටත් ඇෆ්ගනිස්තානයේ සිටින තම ඥාතීන්ගෙන් උදව් ඉල්ලූවේය. ඔහුගේ මාමණ්ඩිය හෙවත් දරුවාගේ සීයා වන, ඇෆ්ගනිස්තානයේ උතුරු පළාතේ ජීවත්වන හැට හත් හැවිරිදි ක්වාසාම් රසාවි හමීඞ් සාෆි සොයාගෙන කාබුල් නුවර බලා පිටත් වූයේය. හමීඞ් සාෆිගේ මුළු පවුලටම ඇඳුම් පැළඳුම්ද, ඔවුන් වෙනුුවෙන්ම මරා මස් කරන ලද බැටළුවෙකුගේ මස්ද, වොල්නට් රාත්තල් ගණනක්ද, තවත් තෑගි භෝග රැසක්ද රැගෙන කාබුල් නුවර ඇති සාෆිගේ ගෙදරට යන්නට රසාවි හමීඞ්ට දින දෙකක් හා රෑ දෙකක් ගත විය.

එහෙත් සොහෙයිල්ව ඔවුන්ට භාර දීම, සාෆි එක හෙලාම ප‍්‍රතික්ෂේප කළේය. ඔහු කීවේ දරුවාව බාර දෙන්නට නම් තමන්ගේ මුළු පවුලටම ඇමරිකාවට යන්නට අවස්ථාව සලසා දෙන ලෙසය.

මේ කාලය වන විට ඇමරිකාවේ තානාපති කාර්යාලයක් ඇෆ්ගනිස්තානයේ නැති බැවින් හා වෙනත් ජාත්‍යන්තර සංවිධාන ඇෆ්ගනිස්තානය තුළ ක‍්‍රියාත්මක නොවන බැවින්, මේ අර්බුදය විසඳා ගන්නට මිර්සා අලී රතු කුරුස සංවිධානයේ පිහිට පැතුවේය. එහෙත් මෙවැනි හුදෙකලා සිදුවීම් වලට තමන්ගේ සංවිධානය මැදිහත් නොවන බව රතුකුරුස සංවිධානයෙන් මිර්සා අලිට දැනුම් දුන්නේය.

කිහිප වතාවක්ම උත්සාහ කිරීමෙන් අනතුරුව ප‍්‍රාදේශීය තලේබාන් පොලිසියේ පිහිට පතන්නට දරුවාගේ සීයා තීරණය කළේය. ඒ අනුව, හමීඞ් සාෆි විසින් සොහෙයිල් දරුවාව පැහැරගත් බව කියමින් රසාවි හමීඞ් කාබුල් හි තලේබාන් පොලිසියට පැමිණිලි කළේය. හමීඞ් සාෆි දරුවාව පැහැර නොගත් බවත්, ඔහු කළේ දරුවාව පෝෂණය කරමින් රැක බලා ගැනීම බවත් පැවසූ තලේබාන් පොලිසිය, ඒ රැකබලා ගැනීම වෙනුවෙන් සාධාරණ වන්දියක් ලබා දී දරුවාව ආපසු බාර ගන්නා මෙන් රසාවිට නියෝග කළේය. ඒ අනුව ඇෆ්ගානීස් ලක්ෂයක මුදලක්, (ඇමරිකානු ඩොලර් 950ක් පමණ) රාෆිගේ පවුලට ලබා දී දරුවාව රසාවිට බාර දෙන්නට තීන්දු විය. දෙපාර්ශ්වය අතර එකඟතා ගිවිසුමක්ද අත්සන් කොට දරුවාව යළිත් ඥාතීන් අතට පත් කරන්නට කටයුතු සැලසිණ.

කෙසේ වුවත් දරුවාව හදා ගත් මව, හමීඞ් සාෆිගේ බිරිඳ වූ ෆාරිමා සාෆි දරුවාව ආපසු ඔහුගේ ඥාතීන්ට බාර දුන්නේ හැඬූ කඳුළින් යුතුවය. දෙවියන් ඇය වෙතට එවූ පුතා යළිත් ඇගෙන් වෙන්වීම ඇයට දරාගත නොහැකි දුකක් ගෙන ආවේය.

”ඔයගොල්ලෝ මේ කරපු දේ නිසා දෙවියන් පවා ඔයගොල්ලන්ට ආශිර්වාද කරයි. ඔයාලාට ඔයාලාගේම පුතෙක් ලබා දෙයි. එක පුතෙක් නෙවෙයි. පුත්තු ගොඩක්..” හමීඞ් සාෆිටත්, ෆාරිමා සාෆිටත් ස්තුති කරමින්, සතුටු කඳුළු වගුරුවමින් රසාවි හමීඞ් දරුවාව බාර ගත්තේය.

පුංචි සොහෙයිල් දැන් ඇමරිකාවේ මිචිගන්හි මහල් නිවාසයක පදිංචිව සිටින තම අම්මාත් තාත්තාත් වෙත යෑමට බලාපොරොත්තුවෙන් ඇෆ්ගනිස්තානයේ සිටින ආච්චිත් සීයාත් ළඟ කල් ගෙවමින් සිටී.

නිම්මි මුදිතා හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment