දෙව්ලොව යන්න මේ පාරෙන් එන්න…

508

සත් දෙවිඳුන් පෙර භවයෙහි මිනිස් ලොව වසන කාලයේ සත්වත පදවලින් සමන්විත වූ බවත් එම ගුණාංග අන් අය වෙතද සමාදන් කරවූ බවත් එහි ආනිශංස වශයෙන් සක්දෙව් පදවි ලද බවත් සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාම වෙහෙරෙහි වැඩ වසන සමයක දේශනා කරන ලද සූත්‍ර දේශනාවක් ලෙස සංයුක්ත නිකායේ සක්ක සංයුත්තයෙහි එන සත්තවත පද සූත්‍රය පෙන්වා දිය හැක.

එම සත්තවත පද ලෝවාසී හැම දෙනාගේම ජීවිත සාරවත් ජීවිත බවට පත් කරයි. ජාති, කුල, ආගම් භේදයකින් තොරව ලොව තුළ වසන හැම මිනිසෙකුටම මෙම ධර්ම කරුණු ජීවිත සාරවත් කර ගැනීමට උපකාරී වේ. එම සත්තවත පද නම්

  1. දිවි හිමියෙන් මව්පියන් පෝෂණය කිරීම, 2. දිවි හිමියෙන් කුල දෙටුවන් පිදීම, 3. දිවි හිමියෙන් මිහිරි වදන් කථා කිරීම, 4. දිවිහිමියෙන් කේලාම් නොකීම, 5. දුරු කළ මසුරු මළ ඇත්තෙකු වී අනුන් විසින් ඉල්ලන්නට සුදුසු දන්දීමෙහි අලුණු අයෙකු වීම, 6. දිවිහිමියෙන් සත්‍ය වචන කථා කිරීම 7. දිවිහිමියෙන් ක්‍රෝධ නොකිරීම.
  2. මව්පියන් පෝෂණය කිරීම (මාතා පෙත්ති භරං) තමන් හැදූ වැඩූ මවුපියන් පෝෂණය කිරීම නුවණැති සත්පුරුෂයන් විසින් අගයන ලද්දකි.

තමා කොපමණ කළගුණ දන්නෙක්ද, කළගුණ සලකන්නෙක්ද යන්න අන් අය විසින් මැන බලන ප්‍රධාන සාධකයක් වන්නේ මවුපියන්ට සලකන ආකාරයෙනි. එපමණක්ද නොව මෙය උතුම් පින්කමක් වන අතර පරලොව සුගති පරායන වීමට තරම් ආනිසංස ලැබෙන පිංකමක් වශයෙන්ද මවුපියන්ට සැලකීම දක්වා තිබේ.

  1. කුල දෙටුවන් පිදීම (කුලේ ජෙට්ඨාපචායිනං)

සමාජයෙහි මෙන්ම තම පවුල්වල සිටින වැඩිහිටියන් පිදීම සෑම වැදගත් සමාජයකම අගයන ගුණාංගයකි. එමගින් අන් අයට පිනක් මෙන්ම එම වැඩිහිටියන් වෙතින් අවවාද අනුශාසනා ලැබීමට ද හේතු වන්නකි. බුදුරජාණන් වහන්සේ වැඩවසන කාලයේ වජ්ජ රාජ්‍යයේ පැවැති සප්ත අපිරිහානිය ධර්මවලින් එක් කරුණක් ලෙස ද මෙය දක්වා තිබේ. නිතර වැඩිහිටියන් පිදීම ආයුෂ, වර්ණ, සැප, බල ලැබීමට හේතුවක් ලෙස ද සඳහන් වේ.

  1. මිහිරි වඳන් පැවසීම (සණ්හං සඛිලසම්භාසං)

    තමන්ටත් අනුන්ටත් මෙළොව පරළොවටත් යහපත පිණිස හේතුවන වචන කථා කිරීම බුදුදහමේ සඳහන් තවත් වැදගත් ගුණාංගයකි. යම් වචනයක් කීමේදී එය සත්‍යයද, ප්‍රියද, අර්ථ සහිතද යන සාධක බුදුදහමේදී සලකා බැලේ. යමක් සත්‍ය නම් අර්ථ සහිත නම් ප්‍රියනම් එය හැම තැන්හදීම පැවසේ. එය මිහිරි වදනකි. එමෙන්ම යමක් සත්‍ය නම් අර්ථ සහිත නම් ඇතැම් විට එය අප්‍රිය වුවද පැවසීම බුදුදහමේ ලක්ෂණයකි.
  2. කේලාම් නොකීම (ජේසුණෙය්‍යප්පභාහිනං)

අන් අයගේ අසමගියට හේතුවන කේලම් කීමෙන් වැළකී සිටීමට බුදුසමය නිතර අනුශාසනා කරයි. මෙහිදී අප කථා කිරීමේදී නැවත නැවතත් නුවණින් සලකා බලා වචන කතාකිරීම බෙහෙවින් වැදගත් වේ. අප බොහෝවිට සමාජගත ජීවිතයේදී අප්‍රසාදයට පත්වන්නේ අප කථාකරන වචන හේතුවෙනි. වචන යහපත්වීමට නම් සංකල්පනා යහපත් විය යුතු අතර වචන අයහපත්වීමට මනා දැක්මක් තිබීමත් අවශ්‍යම වේ.

  1. මසුරු මළ දුරු කිරීම (මච්ජේරවිනයේ යුත්තං)

    අපේ සිතට අසහනය අසතුට ඇතිවීමට ප්‍රධාන කරුණු වන්නේ දැඩි ලෝභය හෙවත් අභිජ්ජඣාවයි. එය දුරුවීමට ටිකෙන් ටික තමන් දන්දීමට හුරුවිය යුතුය. සමාජගත ජීවිතයේදී අන් අයගේ අප්‍රසාදයට ලක්වීමට ද දැඩි ලෝභය හේතුවේ.
  2. සත්‍ය වචන කථා කිරීම (සච්චං)

ඇත්ත කථා කිරීම සත්‍යවාදී වීම දෙව් ලොව ඉපදීමට තරම් හේතුවන ගුණධර්මයක් ලෙස බුදුදහමේ ඇගයීමට ලක්වේ. බුදු බව සඳහා පාරමිතා පුරන බෝසත්වරු සත්‍ය කථා කිරීම පාරමිතාවක් ලෙස සම්පූර්ණ කරති. ඇතැම් විට අන්වැරදි සිදුවුවද බොරුකීම කිසිවිටකත් සිදු නොකරති. මෙය නිවන් අපේක්ෂාවෙන් කටයුතු කරන ඒ සඳහා පිළිවෙත් පුරන බුදු, පසේ බුදු, රහත් උතුමන් දිවි හිමියෙන් සම්පූර්ණ කරන ගුණාංගයකි.

  1. ක්‍රෝධය දුරු කිරීම (කෝධාභිභුං)

ක්‍රෝධය දුරු කිරීම හත්වැනි ගුණාංගයයි) සිතට ක්‍රෝධයක් පැමිණි විට සිතේ සහනය සතුට නැතිවේ. සිතෙහි ක්‍රෝධයක් ඇතිවිට අපිට කොතරම් සැප සම්පත් තිබුණද ඒ කිසිවකින් නියම සතුටක් නොලැබේ. එම නිසා අප ලද උතුම් මිනිස් භාවයෙන් මෙන්ම අප ලබාගත් අධ්‍යාපනය, ධනය, ඥාති මිත්‍රාදී සියලු දෙයින් අප බලාපොරොත්තු වන සතුට ලැබීමට නම් සිතෙහි අන් අය කෙරෙහි ක්‍රෝධය, තරහව, ද්වේශය, හැකිතාක් දුරට දුරු කළ යුතුව ඇත. සිතෙහි සහනය සතුට අපේක්ෂා කරන්නෙකු විසින් සම්පූර්ණ කළ යුතු මූලික ගුණාංග ලෙස මෙත් වැඩීම සඳහන් කොට තිබේ. අප කෙතෙක් දුරට මානසික සතුට සඳහා යනවාද යන්න තීරණය කරන ප්‍රධාන සාධකයන් වන්නේ අප කෙතෙක් දුරට මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කරනවාද යන්නයි.

මෙම ගුණධර්ම පුහුණු කළ ප්‍රමාණයට අප මොලොව ජීවිතය සතුටින් ගත කරන අතර පරළොව වශයෙන් දෙව්ලොව ඉපදීමට ද එය හේතුවේ. ඒ අතර සමාජගත ජීවිතයේදී මෙන්ම දෙවියන්ගේ පවා ගෞරවය, විශ්වාසය, ප්‍රසාදය දියුණු කරමින් ජීවත්වීමටද මෙම ගුණාංග බෙහෙවින් උපකාරී වේ. විශේෂයෙන් තමන් ඇසුරු කරන තම දූ දරුවන්ට ඥාතීන්ට මෙන්ම හිතමිතුරන්ටද එය මහත් ආදර්ශයක් මෙන්ම ආශිර්වාදයක්ද වනු ඇත. තවද අප දෛනිකව සිදුකරන අධ්‍යාපනික, ආර්ථික කටයුතු සඵල කරගනිමින් වඩාත් සාර්ථක ජීවිතයක් ගත කිරීමටද දෙව්ලොව දෙව් උපතක් ලබන්නටද මෙම යහපත් ගුණධර්ම බෙහෙවින් උපකාරී වේ.

දඩල්ල, වාලුකාරාම වෙහෙරවැසි,
ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment