දෙවැනි එළිසබෙත් රැජන ක්‍රිස්තියානි භක්තිකයෙක් වුවත් මෙරට බුදුදහම ආරක්ෂා කිරීමට සහාය දුන්නා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

127

දෙවැනි එළිසබෙත් රැජනගේ අභාවය වෙනුවෙන් පැවැති ශෝක යෝජනා විවාදය

රැජන අනුකම්පාවෙන් සහ කරුණාවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් ස්පර්ශ කළා – අගමැති දිනේෂ් ගුණවර්ධන
ඇය හෘදයාංගමව දැඩි කැපවීමෙන් බ්‍රිතාන්‍ය ජනතාව වෙනුවෙන් තම රාජකාරි ඉටු කළා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ඇය පෞද්ගලික ජීවිතයේ තිබූ ආශාවන් හා හැඟීම් රට වෙනුවෙන් අතහැරියා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

දෙවැනි එළිසබෙත් රැජන ක්‍රිස්තියානි භක්තිකයෙක් වුවත් මෙරට බුදුදහම ආරක්ෂා කිරීමට සහාය ලබාදුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) ප්‍රකාශ කළේය.

එළිසබත් මහරැජන ශ්‍රී ලංකාවට සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවලට කළ සේවය ඉමහත් බවත් ඇගේ අභාවය සම්බන්ධයෙන් ලෝකයේම ශෝකය පළ කෙරෙන බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

දෙවැනි එළිසබෙත් රැජනගේ අභාවය වෙනුවෙන් පැවැති ශෝක යෝජනා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (23 දා) රැස් විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව ශෝක යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

එලිසබෙත් මහරැජන ශ්‍රී ලංකාවට සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවලට කළ සේවය ගැන කතා කරන්න කැමතියි. සිලෝන් සිට ශ්‍රී ලංකාව දක්වා වූ මෙරට පරිවර්තනය රැජනගේ පාලන සමයේදී සිදු වූ දෙයක්. මැතිවරණ ජයග්‍රහණ, ජනවාර්ගික ගැටලුව, නිදහස් අධ්‍යාපනය, ආර්ථිකය රාජ්‍ය පාලනයට නතු කරගැනීම යනාදී මෙරට සිදු වූ දේශපාලනික සිදුවීම් රැජන යටතේ ආරම්භ වූ දේවල්. රැජන ක්‍රිස්තියානි භක්තිකයෙක් වුවත් මෙරට බුදුදහම ආරක්ෂා කිරීමට ඇය කටයුතු කළා. බුද්ධ ජයන්ති සැමරුමටද ඇය සහාය දැක්වූවා. අපේ රට ජනරජයක් බවට පත්වූවාට පසුව රටේ පැවැති ඇතැම් ගැටලු විසඳීමට ද ඇය සහාය දුන්නා. ස්වාධීන රාජ්‍යයක් නම් අපට රැජනක් අවශ්‍ය වන්නේ ඇයි කියන ගැටලුව තිබුණා. සිරිවර්ධන කියන ලේඛකයා විසින් ලියූ කතුවැකියකින් ප්‍රශ්න කර තිබුණේ ස්වාධීන රටක් නම් රැජනක් අවශ්‍ය වන්නේ ඇයි කියාය. එවකට සිටි විරුද්ධ පක්ෂයේ නායකයා වන ජේ. ආර්. ජයවර්ධන මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ආර්. ප්‍රේමදාස මහතා සමඟ එක්ව ඇසූ ප්‍රශ්නය වූයේ එහෙම නම් අපට ජනාධිපතිවරයෙක් අවශ්‍ය වන්නේ ඇයි කියලා. මේක ඇත්ත වශයෙන්ම විසඳා ගත නොහැකි ගැටලුවක්. නමුත් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ පරිවර්තනය පමණක් නොව ලෝකයේම පරිවර්තනයට ලක් කළ තැනැත්තියක් විදියට රැජන සැලකිය හැකියි. විශාල අධිරාජ්‍යයක් ඇය පාලනය කළා. පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත් ඇය කටයුතු කළා. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් රැජනත් සමඟ සහයෝගයෙන් කටයුතු කළා. ජවහල්නේරු මැතිතුමා, නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් ඇයත් සමඟ කටයුතු කළා. ඇය රාජකාරිය සමඟ කටයුතු කළ තැනැත්තියක්. ඇය බලවත් තැනැත්තියක්. රැජනට රැජනගේ නමින් නම් කළ ගුවන් යානාවක් තිබුණා. ඒ ගුවන් යානයටත් වඩා සිය දහස් ගුණයකින් බලවත් තැනැත්තියක් බවට
ඇය පත් වුණා.

ඇගේ අවමංගල්‍යය උත්සවය ගාම්භීර තත්ත්වයක් වුණා. ක්‍රිස්තියානි සහ ක්‍රිස්තියානි නොවන අය ඇයට අවසන් ගෞරව එහිදී දැක්වූවා. එලිසබෙත් මහරැජන දැන් අප අතර නැහැ. නමුත් මම ඉල්ලා සිටිනවා මේ සභාවෙන් ඇය වෙනුවෙන් ශෝක ප්‍රකාශය කරන්න කියලා. අපගේ සාතිශය සංවේගය ඇගේ පවුල වෙත යොමු කරන ලෙස කතානායකවරයාගෙන් මම ඉල්ලා සිටිනවා. අපගේ රාජකීය පෙළපතේ අවසන් රජුගේ සිට මේ දක්වා අයගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන්න කැමතියි. අනිත්‍ය කියන දේ ලෝකය තුළ පවතින දෙයක්. එය අපි තේරුම් ගත යුතුයි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා :

මහරැජනගේ වියෝව ශ්‍රී ලංකාවේ ජනතාව හා මහා බි්‍රතාන්‍යයේ ජනතාව මෙන්ම ලොව පුරා බොහෝ දෙනකු ශෝකයට පත් කර ඇත.

අපගේ අවංක සංවේගය පළ කරන අතරම, සිය රාජකාරිය හා රට දැය සමය වෙනුවෙන් සේවය කරමින් ඇය ගත කළ උත්කෘෂ්ට ජීවිතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව සිය අවංක කෘතඥතාව පළ කර සිටිති.

ආදරණීය මාතාවක්, මිත්තණියක් හා මී මිත්තනියක් වෙනුවෙන් ශෝක පවත්වන බි්‍රතාන්‍ය රාජකීය පවුලට මෙය මහත් සංවේග ජනක අවස්ථාවක් බව අපට නොරහසකි.

රැජන අවස්ථා තුනකදී අප දිවයිනට පැමිණි අතර පළමු අවස්ථාවේ කුමරියක ලෙසින් පිලිප් කුමරා සමඟ මධුසමය ගතකරන අවස්ථාවේ දීත් ඉන් පසුව එතුමියගේ දශක හතක රාජ්‍ය කාලය තුළ රැජිනක වශයෙන් දෙවරකුත් එතුමිය මෙරටට පැමිණියාය. අප ජනතාව යම් කිසි ඛේදජනක සහ ව්‍යසන තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාවල එතුමිය අනුකම්පාවෙන් සහ කරුණාවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් ස්පර්ශ කළාය.

දෙවන එළිසබෙත් මහරැජන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායිකාව ද වන අතර අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමඟ එතුමියගේ වියෝව සම්බන්ධයෙන් කණගාටුව සහ ශෝකය පළ කිරීමට එක්වෙයි.

මහ රැජනගේ අවසන් ගමන යන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පෞද්ගලිකව සහභාගි වී එතුමියට අවසන් ගෞරව දැක්වූ අතර සැප්තැම්බර් 19 දින ශ්‍රී ලංකාව එතුමිය සිහි කිරීම සඳහා නිල ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම අවස්ථාවේ දී සියලු ම ශ්‍රී ලාංකිකයික් වෙනුවෙන් මම රජතුමාටත්, රාජකීය පවුලටත්, බ්‍රිතාන්‍ය වැසියන් සියලු දෙනාටත් මාගේ සාතිශය සංවේගය පළ කර සිටිමි.

රජතුමාට පෙර එතුමාගේ මෑණියන් තුළ තිබූ සෙයින්ම රජතුමා තුළ ද ශ්‍රී ලංකාව සමග දැඩි සහ දිගුකල් පවත්නා සබඳතාවක්, මෙම සුන්දර රට කෙරෙහි ආදරයක් මෙන්ම, අවිවාදයෙන් ම අපගේ ජනතාව කෙරෙහි දැඩි දයාවක් ද තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා :

රැජනගේ තිබෙන ශ්‍රේෂ්ඨත්වය අපි අවධානයට යොමු කළ යුතුයි. ඇය හෘදයාංගමව දැඩි කැපවීමෙන් යුතුවත් බි්‍රතාන්‍ය ජනතාව වෙනුවෙන් තමන්ගේ රාජකාරි ඉටු කළා. එය අපි අගය කළ යුතුයි. ලෝකය තුළ ඉතාම ගෞරවාදරයට පත් වූ තැනැත්තියක්. එළිසබෙත් මහ

රැජන පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාවක් විදියට කටයුතු කළා. අපගේ ඉතිහාසයට ඇය සම්බන්ධ වූ තැනැත්තියක්. යටත් විජිත කාලය තුළ ගැටලු තිබුණත් බි්‍රතාන්‍ය හා අපගේ ජනතාව අතර ඇති හෘදයාංගම බැදීම තේරුම් ගත යුතුයි. දේශපාලන කටයුතු ඇතුළු බොහෝ කටයුතු විකාශනය වී ඇත්තේ බි්‍රතාන්‍යයෙන්. රාජ්‍ය පෙළපතක් අනුව ගොඩනැගුණු රටක් විදියට බ්‍රිතාන්‍ය හඳුන්වන්න පුළුවන්.

දැන් සිටින්නේ තුන්වැනි චාල්ස් රජතුමා. බි්‍රතාන්‍ය ජාතියත් සමඟ ඒ රජ පවුල ඉතාම තදින් බැඳී සිටිනවා. වසර 70 ක කාලය තුළ විවිධාකාර සිදුවීම් සිදුවුණා. තාක්ෂණය ඉදිරියට ආවා. රැජන හැමවෙලාවේම විනයානුකූලව ජනතා සේවකයෙක් ලෙස කටයුතු කළා. මෙරට අග්‍රාමාත්‍යවරයා විසින් සතියකට වරක් රැජනව දැනුවත් කළ යුතුව තිබුණා ලංකාව යටත් විජිතයක්ව පැවැති කාලයේ ජනතා යහපත වෙනුවෙන් ඇයත් ඇගේ පවුලත් කැප වුණා. වින්සන්ට් චර්චිල් අගමැතිවරයා සහ රැජන අතර තරමක දුරස්ථභාවයක් තිබුණා. අත්දැකීම් බහුලම රාජ්‍ය තාන්ත්‍රිකයා බවට රැජන පත් වුණා. සහජයෙන්ම පැවැති කුතුහලකාරී තත්ත්වයන් නිසා ඇය නිතරම ප්‍රශ්න විමසීම් සිදු කළා. බි්‍රතාන්‍ය රැජනගේ අභාවය සම්බන්ධයෙන් අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා :

එළිසබෙත් රැජිනගේ කාලයේ රටවල් බෙදිලා රටවල් නැවත එකතු වුණා. හිරු නොබසින අධිරාජ්‍ය ලෙස එංගලන්තය විරුදාවලිය ලැබී තිබෙනවා. එවැනි රාජ්‍යයක රැජන ලෙස ඇය කැපවීමෙන් කටයුතු කළා. එතුමිය රාජකීයත්වය රැකගෙන ජීවිතය ගෙනයාම ඉතාම දුෂ්කරයි. ඒ කැප කිරීම ඇය කළා. පෞද්ගලික ජීවිතයේ තිබූ ආශාවන්, හැඟිම් රට වෙනුවෙන් ඇය අතහැරියා. රාජකීයන්ගේ පරම වගකීම වනුයේ සම්ප්‍රදාය රැකීමයි. ඇය ඒ සම්ප්‍රදාය රැක ගත්තා. ආදරය, ආදරයට එහා ගිය භක්තියක් බ්‍රිතාන්‍යයන් තුළ තිබෙනවා. තමන්ගේ රටේ සම්ප්‍රදායට ගෞරවයෙන් සැලකීමට බ්‍රිතාන්‍ය ජාතිකයන් කටයුතු කරනවා. ලෝකය තුළ ශක්තිමත්ව නැඟී සිටීමට බි්‍රතාන්‍යයන්ට හැකි වී තිබෙන්නේ මේ නිසයි. තමන්ගේ රටේ සම්ප්‍රදායන් සිරිත් විරිත්වලට ගරු කරනවා සේම සෙසු රටවල සම්ප්‍රදායන් සිරිත් විරිත්වලට ගරු කළ යුතුය යන ආදර්ශය රැජන ලබා දී මෙලොවින් සමු ගත්තා.

අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා :

මහරැජනගේ අභාවය වෙනුවෙන් තුන්වන චාල්ස් රජු වෙත මෙන්ම එක්සත් රාජධානියේ වැසියන් වෙත අපි අපගේ ශෝකය පිරිනමනවා. දෙවන එලිසබෙත් මහ රැජනගේ ඔටුනු පැළදීමෙන් පසුව එතුමිය පළමු සංචාරය ලෙස ශ්‍රී ලංකාවට පැමිණියා. මහරැජන කියන්නේ ඓතිහාසික කාන්තාවක්. එතුමිය අවුරුදු 70 කට අධික කාලයක් එම ධුරයේ කටයුතු කළා. 2015 වසරේදී මට එතුමිය මුණගැහුණා. එම අවස්ථාවේදී එතුමිය ශ්‍රී ලංකාවට පැමිණීම් සම්බන්ධයෙන් සිහිපත් කළා. ඒ වගේම එතුමිය ගැටලු නිරාකරණය කිරීමට, මෙන්ම විවිධ කරුණු වෙනුවෙන් මැදිහත් වූ ආකාරය, තීන්දු තීරණ ගත් ආකාරය සුවිශේෂි වෙනවා. එතුමිය පොදු රාජ්‍ය මණ්ඩලයීය නායිකාව ලෙස මියයන තෙක්ම සිටියා. ඒ තුළ රටවල් 14 ක් තිබෙනවා. එතුමියගේ පාලන කාලය තුළ අගමැතිවරු 15 ක් කටයුතු කර තිබෙනවා. එතුමියගේ පාලන කාලයේදී එක්සත් රාජධානිය සමෘද්ධිමත් වූ බව සඳහන් කළ යුතුයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment