දෙවැනි වරටත් උසාවි නියෝගය පැහැර හැරිය 4කට නොතිසි

128

තම අධිකරණය විසින් දෙවැනි වරටත් ලබාදුන් නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට කළ අපහාසයට දඬුවම් නොකිරීමට නිදහසට කරුණු ඇත්නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා සුප්‍රකට සමාගම් කළමනාකාර අධ්‍යක්‍ෂවරයකු ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට නොතිසි නිකුත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.

සිය සේවා දායකයා වන සජිත් රාජපක්‍ෂ නමැත්තා ඔහු දැරූ තනතුරුවල නැවත පිහිටුවන ලෙස හා ඔහුගේ රාජකාරි කටයුතුවලට බාධාවන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකරන ලෙසට 2024.4.30 වැනිදා අධිකරණය ලබාදුන් නියෝගය විත්තිකරුවන් විසින් නැවතත් නොසලකා හැරීමෙන් ඔවුන් අධිකරණයට අපහාසයක් මෙන්ම නීතියේ ආධිපත්‍යයට දැඩි බලපෑමක් සිදුකර ඇතැයි පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

ඒ අනුව ලබන සැප්තැම්බර් 19 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස නියෝග කරමින් කසුන් රාජපක්ෂ, චන්දුල ජනිත් රාජපක්ෂ, ලසිත රන්දික රාජපක්ෂ හා වරුණි ද සිල්වා යන විත්තිකරුවන්ට නොතිසි නිකුත් කෙරිණි. නීතිඥ ගයාන් සල්වතුර මහතාගේ උපදෙස් මත නීතිඥ උදිත වික්‍රමසිංහ හා තරිඳු රාජකරුණා යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පැමිණිල්ල නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment