දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි – (පහන ළඟයි ආලෝකේ දුරයි)

1904

ගම්පහ ගනේමුල්ලේ පදිංචිව සිට පාකිස්තානයේ සියල්කොට් පළාතේ රාජ්කොට් ඇඟලූම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරි ලෙස සේවය කරමින් සිටියදී පහරදී පුළුස්සා ඝාතනය කෙරුණු ප‍්‍රියන්ත කුමාර දියවඩන පිළිබඳ සිද්ධිය අනවශ්‍ය මොහොතකදී හටගත් අනවශ්‍ය ඛේදවාචකයකි. මෙය පාකිස්තානයේ වැඩකරන ඉන්දියානුවකුට සිදුවුණේ නම් මේවනවිට ඉන්දියාව විසින් පාකිස්තානයට බෝම්බ දමනු ලැබීමට ඉඩ ඇත. ප‍්‍රියන්ත ඝාතනය කළෝ ඔහුගේම ෆැක්ටරියේ සේවය කළ කම්කරුවෝය. පහර දී වධ දී පිළිස්සුම් තුවාල සහිතව බිම වැටී තිබූ ප‍්‍රියන්ත දියවඩන ගේ සිරුර පොලිස් මෝචරියට ගෙනයන විටත්, ඔහු ඝාතනය කළ මිනීමරුවෝ ප‍්‍රීතිඝෝෂා පවත්වමින් දෙවියන්ට ප‍්‍රශංසා කරමින් සිටියහ. මෙය වසර 12 ක කාලය තුළදී පාකිස්තාන භූමියේදී ශ‍්‍රී ලාංකිකයනට එල්ල වූ දෙවන මාරාත්මක ප‍්‍රහාරයයි. 2009 දී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ගමන් කළ බස් රියට පාකිස්තාන ත‍්‍රස්තවාදීහු එරට ලාහෝර් නුවරදී ප‍්‍රහාරයක් එල්ල කළහ. මේ ප‍්‍රහාරයෙන් පසු, ගිය අවුරුද්ද වන තෙක් කිසිදු විදේශික ක‍්‍රිකට් ක‍්‍රීඩක කණ්ඩායමක් පාකිස්තානයට පැමිණියේ නැත. ප‍්‍රියන්ත දියවඩන ඝාතනය කරන ලද්දේ දේව අපහාස (Blasphemy) සිද්ධියක් සම්බන්ධයෙනි. පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය යන රටවල දෙවියන් ගැන කියන විට රවා බැලූවත් මැරුම් කෑමට සිදුවේ. මේ රටවල ජනයා ඉස්ලාම් ධර්මය සමග අත්‍යන්ත බන්ධනයක් සහිතව ජීවත්වන අය වෙති. අල්ලා දෙවියන්ගේ හෝ මහම්මත්තුමා සම්බන්ධයෙන් ප‍්‍රශංසාත්මක වාක්‍යක් සහිත පෝස්ටර් එකක් හෝ කිහිපයක් ඉරා දැමීම ප‍්‍රියන්ත දියවඩනට විරුද්ධව ඇති චෝදනාවය. එම පෝස්ටර ඉරා දැමීමක් සිදුවී නැති බවත් ෆැක්ටරිය අලූත්වැඩියා කිරීමේදී කඩා ඉවත් කෙරුණු තාප්පයක එම පෝස්ටර් අලවා තිබූ බවත් දැනගන්නට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාකිස්තානුවන් දහසක් පමණ මේවන විට අත්අඩංගුවට ගෙන තිබේ. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්  ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් මිතුරෙකි. ප‍්‍රියන්ත දියවඩන ඝාතනය සම්බන්ධයෙන් ඔහු උපරිම පියවර ගන්නවා ඇත. තිස් අවුරුදු යුද සමයේදී පකිස්තානය අපට බොහෝ උදව් කළේය. අපට මිසයිල සහ බර අවි හිඟ වූ විට පාකිස්තානය ඒවා සිංගප්පූරුව හරහා වෙනස් මාර්ග වලින් ලංකාවට එවීය.

 පාකිස්තානය යනු අන්තවාදී ඉස්ලාමීයයන් බහුලව සිටින රටකි. ඔසාමා බින් ලාදින් සැඟව සිටියේද පාකිස්තානයේය. පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයටත් ඇෆ්ගනිස්තානයෙන් පාකිස්තානයටත් ඉස්ලාමීය අන්තවාදය හුවමාරු වෙයි. ඇමරිකාවට පහරදීමෙන් පසු ඔසාමා බින් ලාදින් ඇෆ්ගනිස්තානයට පැනගොස් එරට තලෙයිබාන් ත‍්‍රස්ත නායක මොහොමඞ් ඔමාර්ගේ ගෙට රිංගා ගත්තේය. එක ඇසක් පමණක් ඇති මොහොමඞ් ඔමාර් ඕනෑම ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ගෝලයන් පමණක් නොයවා ටී 56 තුවක්කුවද ගෙන තමන්ද යන කෙනෙකි. ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ විට මෝටර් බයිසිකලයක පසුපස අසුනේ ඔසාමා බින් ලාදින් තබාගත් මොහොමඞ් ඔමාර් දේශසීමාව හරහා පාකිස්තානයට පැන ගත්තේය. මොන දේශපාලනඥයා බලයට ආවත් පාකිස්තානයේ රාජ්‍ය බලය හසුරුවන්නා එරට යුද හමුදාවය. මේ යුද හමුදාව තුළ අන්තවාදී ඉස්ලාම් ත‍්‍රස්තයන්ට උදව් කරන සහ ඔවුන් නඩත්තු කරන කුඩා සෙබළ සහ නිලධාරී කල්ලි සිටිති. මේවාට  Clandestine Pockets යැයි කියනු ලැබේ. මෙවැනි Pocket දහස් ගණනක් පාකිස්තාන් හමුදාව තුළ ඇත. එම කල්ලිවලට උදව් කරන දේශපාලන කල්ලි තවත් දහස් ගණනක් තිබේ. ඒ අයට උදව් කරන සිවිල් කල්ලි රට පුරා ඇත. ඉස්ලාමීයයන් දෙවියන් අදහන්නේ ඇත්තටමය. අප කරන්නාක් මෙන් කරදරයක් වූ විට පමණක් දෙවියන් සොයා යෑමක් ඔවුන් තුළ නැත. මේ නිසා ඔවුහු දවසේ අවදිව සිටින සියලූම පැය ගණන තුළ දෙවියන් මෙනෙහි කරති. ඇතැම් අවස්ථාවල මේ අසීමිත දේව භක්තිය අන්තවාදී වෙයි. ප‍්‍රියන්ත දියවඩන ඝාතනය කරන ලද්දේ එවැනි අන්තවාදී මී හරකුන් රැුලක් විසිනි. අයි එස් අයි එස් සංවිධානය සහ අල්කයිඩා සංවිධානයේ සිටින්නෝ කුළු හරක්ය. ප‍්‍රියන්තට වධ දී මරණ අයුරු පෙන්වන වීඩියෝ රැුසක් මේ වනවිට අන්තර්ජාලයේ තිබේ.

 දේව අපහාසය යනු වර්තමාන ශිෂ්ට සිවිල් සමාජයට දරුණු බලපෑමක් කරන නීතියකි. ඉස්ලාමය තුළ මෙය ක‍්‍රියාශීලීව පවතින අතර අනෙක් ඕනෑම රටක ඕනෑම ආගමකට ද ගලපාගත හැකිය. ඇෆ්ගනිස්තානය, බෲනායි, ඉරානය, මුරිටානියා, නයිජීරියා, පකිස්තානය, සෞදි අරාබිය, සෝමාලියාව වැනි රටවල මේ නීතිය තදටම ඇත. මධ්‍යකාලීන යුගයේදී කතෝලික ආගමේ බලය ක‍්‍රමයෙන් දැඩි වන්නට පටන්ගත් විට දෙවියන්ට අපහාස කළ අය අත්අඩංගුවට ගෙන පණ පිටින් පුළුස්සා දැමීම සිදුවිය. පාකිස්තානය ස්වකීය දණ්ඩ නීතියේ 295 සහ 298 වගන්ති වලින් දේව අපහාසය සාපරාධී ක‍්‍රියාවක් බවට පත්කර ඇත. එහිම 295 සී වගන්තිය යටතේ දේව අපහාසයට වරදකරු වන අය එල්ලා මරනු ලැබේ. එසේම ඉස්ලාම් ආගම මාරුකර වෙනත් ආගමකට යෑමද අන්තවාදී ඉස්ලාමීයයන් සිටින රටවලදී මරණයෙන් දඬුවම් දෙන වරදකි. මිනිහකු ආගමක් ඇදහිය යුත්තේ තමන්ට අවශ්‍ය පරිදි මිස ආණ්ඩුවට අවශ්‍ය පරිදි නොවේ. දේව අපහාසය පහත් ක‍්‍රියාවක් වන නමුදු එයට දෙන දඬුවම් මනුෂ්‍යයා ශිෂ්ටාචාරයට ඒමට පෙර තිබු දඬුවම් වලටත් වඩා දරුණුය. 1948 දී ප‍්‍රකාශයට පත්කරන ලද විශ්වීය මානව අයිතිවාසිකම් ප‍්‍රඥප්තියේ අංක 18 දරන වගන්තිය යටතේ ඕනෑම කෙනකුට ස්වකීය ආගම මාරු කිරීමට නිදහස ඇත.

 ප‍්‍රියන්ත දියවඩන ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධකරුවන්ට උපරිම දඬුවම් දියයුතු බව අපගේ මතය වේ. එම දඬුවම ප‍්‍රියන්ත දියවඩන ඝාතනය කළ ආකාරයේම කෲර දඬුවමක් නම් පෘතග්ජන අපට එමගින් මහත් සැනසිල්ලක් ලැබේ. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මේ අපරාධය සම්බන්ධයෙන් දැඩි පියවරක් ගනු ඇතැයි සිතීම දැනට අපට ඇති සැනසිල්ලකි. එසේම ප‍්‍රියන්තගේ අභාවයෙන් අනාථ වූ දරු පවුල ගොඩදැමීමේ වගකීමද පාකිස්තානයට පැවරේ.

advertistmentadvertistment