දෙස් පාලන සාරධර්ම කහළගොඩට දමල්ලා…පුස්ලෝඩං රඟ බලන්ට මහත්වරුනි වරෙල්ලා!

575

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් ඇමැතිවරයා ලෙස 2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අය-වැය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 45කින් සම්මත වීම ජනමාධ්‍යවලට හෝ ආකර්ෂණීය ප්‍රවෘත්තියක් වූයේ නැත. එහෙත් දෙකෝටියකට අධික ජනතාවගේ ඉරණම මෙන්ම ආණ්ඩුකරණයේ ඉදිරි ගමන් මගද සනිටුහන් කෙරෙන අතිශය වැදගත්ම ලියවිල්ල වන අයවැය සම්බන්ධයෙන් එබඳු උදාසීන ප්‍රතිචාර දැක්වීම මොන අතින් බැලුවත් සතුටුදායක කරුණක් නොවේ. එහෙත් දසක කීපයකට පමණ පෙර රටේ අයවැය දෙස රටම බලා සිටියේ කුතුහලයෙන් හා තිගැස්මකින්ද බව අපට මතකය. එදා අයවැය කටේදී බොහෝ විට සිදුවන සිගරැට් හා මත්පැන් හිඟය ගැන ද සිහිපත් වේ. එපමණක් නොව ජනයා මවිත කරවන සුළු අයවැය යෝජනා ඉදිරිපත් වූ අවස්ථාද විය. සමගි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමැති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ රුපියල් පනහේ හා සියයේ නෝට්ටු අවලංගු කිරීමද එදා රටම කැළඹීමට පත් කළ යෝජනාවක් විය. එහෙත් අද අයවැය පිළිබඳ යථාර්ථය කුමක්ද? අයවැය රහස් යනුවෙන් කිසිවක් තිබේද? රජයේ සේවක වැටුප් වැඩිවීම ගැන රටම දැන සිටියේය. වැට් බද්ද 18%ක් වූයේ අයවැය ඉදිරිපත් වීමටත් පෙරය. භාණ්ඩ මිල හා තවත් බදු සංශෝධන ද සිදු වූයේ වේලාසනින්ය.

මේවා සමාජ දේශපාලන පරිවර්තන නිසා හෝ වෙනත් කුමක් හෝ හේතු නිසාද වෙනස් වූ දේවල්ය. එසේ වුවද 2024 අයවැය විවාදයට වඩා උණුසුම් වූද සංවාදයට ලක්වූද වෙනත් සිදුවීම් කීපයක්ම මෙවර ද දැකගත හැකි විය. එයින් පාර්ලිමේන්තුවද උණුසුම් කළ සිදුවීමක් වූයේ මෙරටේ ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ එදා සිටි උසස්ම රාජ්‍ය නිලධාරීන් වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ගැන විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කිරීමය. ඔහුගේ ප්‍රශ්නය වූයේ එම අදාළ පිරිසට එරෙහිව කටයුතු නොකරන්නේ කුමක් නිසාද? යන්නයි. අනෙක් සිදුවීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම හා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකාරකම් මෙන්ම ඔවුන්ට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විවේචන, චෝදනා හා සම්බන්ධ වූවකි.

පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද මේ සිදුවීම් දෙකම විවිධ ආකාරයෙන් සංවාදයට ද ලක්ව තිබේ. මෙම අයවැය විවාදය ආරම්භයේ සිටම ආණ්ඩුවේත් විපක්‍ෂවලත් බොහෝ දෙනෙක් මේවා සම්බන්ධයෙන් අදහස් පළ කිරීමද කැපී පෙනෙන සිදුවීමක් විය. ඇත්තටම මේවාට මැදිවී සිටින චරිත ප්‍රබලය. මහින්ද රාජපක්‍ෂ පාලන සමයෙහි සිටි ඉහළම නිලධාරීන් ඇතුළු රාජපක්‍ෂවරු තිදෙනෙක්ම මෙම ඓතිහාසික නඩු තීන්දුව විසින් වැරදිකරුවන් බවට පත්කරනු ලැබ ඇත. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසට ඒ නඩු තීන්දුවට අදාළව ප්‍රශ්නයක් මතු කිරීමට කවර හෝ බාධාවක් ද තිබිය නොහැක. කථානායකවරයාගේද අවසරය ඇතිව විපක්‍ෂ නායකවරයා විසින් නගන ලද එම ප්‍රශ්නය නොරිස්සූ කීපදෙනෙකුගේ මුග්ධ ප්‍රතිචාරය නිසැකයෙන්ම මෙරටේ දේශපාලන පරිහානියේ සන්ර්දශන රූපමය වාර්තාවක් ද විය. නාලිකා කීපයකම ඒ රූපරාමු දැක්විණි. සමාජ මාධ්‍යවලද ඒවා දැකගත හැකි විය.

කෙසේ වුවද මෙම අලජ්ජී ක්‍රියාව එක් අතකින් සිය පක්‍ෂයට නායකත්වයට දැක්වූ වන්දිභට්ට ක්‍රියාවකට වඩා බරපතළ දේශපාලන අවිචාරයක ප්‍රකාශනයක් බව කිව යුතුය. පාර්ලිමේන්තුව තුළ අද ඇතැම් අය විසින් සිදු කරනු ලබන්නේ උඩබලාගෙන කෙල ගැසීමක් බව අධිකරණ ඇමැතිවරයා ද කියා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම තබා ශීලාචාර ගුණධර්ම පවා නොදන්නා උන් අතට ජනතා බලය ලබා දීමේ විපාක මේවා තුළින් අපි දකිමු. එහෙත් අපට තිබෙන ලැජ්ජාව මේ මුග්ධයන් ජනතා පාලනයේ යම් යම් වගකීම් ද දැරීමය. මාර්ටින් ලූතර් කිං වරක් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව දෙස බැලූවිට ඒ රට ගැන සිතා ගත හැකි බවය. ඇත්තටම අද සිදුව තිබෙන්නේ උස් මිනිසුන් සිටිය යුතු තැන හිස් පුස්සන් ද සිටීමය.

අද මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව නීතියේ ආධිපත්‍යය, සාරධර්ම හා වටිනාකම් විනාශවීම සම්බන්ධයෙන් නැගෙන විවේචන හා චෝදනා බරපතළය. බි්‍රතාන්‍යය පාලනයෙන් නිදහස් වූ අපි මේ වනවිට වසර හැත්තෑ පහක ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කළ ඒ සඳහා වූ පුහුණු ජනකොටසක් ද වෙමු. එහෙත් ඒ දෙස බලා අප කිසිවකුට සතුටු විය හැකිද? සර්වජන ඡන්දය නමැති අවිය තවමත් තිබෙන්නේ පුරවැසියන් අත වුවද ඔව්හු වගකීම් විරහිතව එය සදාචාරයවත් නොදත් මුග්ධයන් අතට පත්කර විඳවමින් සිටිති.

මේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පමණක් නොව එහි හරය එහෙම පිටින්ම කෙලෙසීමේ ආරම්භය 1978 දී සිදුවූ දේශපාලන සමාජ වෙනස බව බොහෝ අය පිළිගනිති. එයින් අලුත් ආර්ථික සමාජ වටිනාකම් රටට ලැබුණු බව පිළිගන්නා අයද සිටිති. එහෙත් එයින් සිදුවූ සමාජ – සංස්කෘතික හා දේශපාලන අලාභය බොහෝ විය. එයට හේතු වූ විධායක ක්‍රමය අහෝසි කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදයට ද දැන් දසක හතරකට වැඩිය. මේ වනවිටත් විධායකය අහෝසි කිරීම ගැන දෙඩවිලි ඇසෙයි. එසේම මැතිවරණ ක්‍රමය සංශෝධනය ගැනද කෙඳිරිලි නැගෙයි. එහෙත් ඒවා කවදා මේ පොළවේ පැළ කළ හැකි දැයි අපට කිව නොහැක. කුමක් වුවද අද ඒ සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණය නැගෙමින් තිබෙන බවද කිව යුතුය. නිසැකයෙන්ම තමන්ට එළඹෙන පළමු ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව භාවිත කරමින් මෙරටේ ජනතාව තම අභිලාෂයන් විදහා දක්වන බව නම් පැවසිය යුතුමය.

ජයවර්ධන ව්‍යවස්ථාවට යම් යම් අණ්ඩ දමාගෙන, එහෙත් එයම ලෙළවන මේ දේශපාලනයට තිරසර පැවැත්මක් නැති බව අද තහවුරු වී තිබේ. එය වූකලී තවදුරටත් කල් දැමිය නොහැකි තත්ත්වයකි. මේ සතියේ පාර්ලිමේන්තුව තුළදීම ජනාධිපති රනිල් හා විපක්‍ෂ නායක සජිත් අතර මුහුණට මුහුණ සිදුවූ සංවාදය තුළින් අප දුටුවේද ඒ යථාර්ථයයි. ජනාධිපතිවරයා කියා සිටියේ විධායකයට සහාය දීමට පත් කළ ව්‍යවස්ථාදායක සභාව අර්බුදයක හිරව සිටින බවකි. ජනාධිපතිවරයා ඍජුවම පැවසුවේ වරප්‍රසාදවලට මුවාවී අධිකරණ විනිසුරුවරුන් විවේචනය කළ නොහැකි බවය. එසේම දූෂණ පනත ක්‍රියාත්මක කිරීමට වුවමනා කොමිසම අක්‍රියවී තිබෙන්නේ ද ඒ සඳහා නම් නිර්දේශ කර නොතිබීම නිසා බවය.

මෙබඳු සංවාද, විශ්ලේෂණ සිදු වුවත් අද යළිත් සිදුවෙමින් තිබෙන්නේ ජනතාව නුරුස්සන, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද ඒ දේශපාලන වනාන්තරයටම රට ඇදගෙන යාමක් නොවේද? කරු ජයසූරිය කථානායකවරයා මුහුණ දුන් ඕලාරික මුග්ධ හැසිරීම වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ දෑස අබියස ද සිදුවී තිබේ. සත්‍යය එය නොවේද? අනෙක් අතට කථානායකවරයාට පාලනය කර ගත නොහැකි වූ ඒ මූග්ධ ප්‍රතිචාරයෙන් කෙරෙන දේශපාලන ඇඟවීම මහින්ද තවමත් පොදුජන පෙරමුණ පිළිගන්නා නායකයා බවය. කුමක් වුවත් වත්මන් විධායකය හා ව්‍යවස්ථාදායකය මහින්ද ඇතුළු ඒ කණ්ඩායමට ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට උඩින් පනිනු ඇතැයි ද සිතිය නොහැක. එසේම ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම වැනි ක්‍රියාවක්ද ඔවුන්ගේ දායකත්වයෙන් සිදුවනු ඇතැයි ද අපේක්‍ෂා කළ නොහැකිය.

ජනාධිපති රනිල් අය-වැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් කළ ප්‍රකාශය ද ඉතා වැදගත්ය. ඔහු එහිදී සඳහන් කළේ රාජපක්‍ෂවරුන් තමන්ට අගමැතිකම නුදුන් බවය. මන්ත්‍රීවරුන්ගේ ආරාධනයෙන් තමා එය භාරගත් බවය. එසේම හිටපු ජනාධිපති මහින්ද නීතිඥයෙක් බවත් ඔහුගේ වැඩකටයුතු ඔහු බලාගනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය. උසාවියට යන කාට වුවද නිදොස් නම් නිදහස් විය හැකි බවද ඔහු පවසා තිබුණි. එය ඉතා සියුම්ව විපක්‍ෂ නායක සජිත්ගේ යෝජනාවට දුන් පිළිතුරක් විය නොහැකිද?

මේ අතර ඉන්දීය රූපවාහිනි නාලිකාවක නිවේදිකාවක් විසින් ද ජනාධිපතිවරයා හා මහින්ද අතර තිබෙන දේශපාලන බැඳියාවන් පිළිබඳව ද ප්‍රශ්න කර තිබුණි. ජනාධිපතිවරයා පසුගිය දිනවල මහින්දගේ උපන් දිනයට සහභාගිවීම හා ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබා දුන් නඩු තීන්දුව ගැන ද නිවේදිකාව ප්‍රශ්න කළාය. මහින්ද තම උපන් දිනයට සුබ පතන බවත් තමා ද ඔහුට සුබ පැතීම කරන බවත් ජනාධිපති රනිල් සිනාමුසුව පැවසීය. එසේම තමන් රාජපක්‍ෂවරුන් වෙනුවෙන් පෙනී නොසිටින බවද අද ඒ පක්‍ෂය දෙකඩ වී ඇති බවද ඔහු පැවසීය. ඉන් කොටසක් සජබයට ද ඉතිරි අය තමන් සමග ද එක්ව ඇති බව ඔහු සඳහන් කළේය. ආර්ථිකය කඩාවැටීම සම්බන්ධයෙන් මහින්ද වගකිව යුතු ද යන්නට ඇසූ ප්‍රශ්නයේදී ඔහුගේ පිළිතුර වූයේ එය රාජපක්‍ෂ පාලන සමය තුළදී සිදුවූ බවය. මහින්ද ඒ වෙනුවෙන් සමාව ගත යුතුද නැද්ද යන්න තීරණය කළ යුතු ඔහු විසින් බවද ජනාධිපතිවරයා කීවේය. කුමක් වුවත් ඒ විශේෂ හමුවේදී ජනාධිපති රනිල් බෙහෙවින් ආරක්‍ෂාකාරී පිළිතුරු ලබා දුන් ආකාරය ද පෙනී යයි.

කෙසේ හෝ අප යෝජනා කරන්නේ මේ පවතින මුග්ධ පාදඩ දේශපාලන පැවැත්ම (එයට සංස්කෘතියකැයි කිව නොහැක) අවසන් කළ යුතු බවය. පාර්ලිමේන්තුව වැනි ගෞරවනීය ආයතනයක දේශපාලන චණ්ඩින්ට, වාචාල කතා කියන වනචරයන්ට ඉඩ දිය යුතු නැත. මේ අලපශ්‍රැත දේශපාලන විකටයන් සිතන්නේ තමන්ට වරප්‍රසාද තිබෙන බව විය හැකිය. එහෙත් වරප්‍රසාද කෙබඳු වුවත් ජනතා අප්‍රසාදය හමුවේ ඔවුන්ට අත්විය හැකි ඉරණම නුදුරු මහ මැතිවරණයකදී රටටම දැකබලා ගත හැකිය. ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කළ පරිදි ලබන වසරේ එළඹෙන මැතිවරණවලින් යම් ප්‍රමාණයක හෝ දේශපාලන පවිත්‍රීකරණයක් සිදුකර ගැනීමට මේ රටේ විද්වත්, ප්‍රබුද්ධ කොටස් මෙන්ම ජනතාවද වගබලා ගත යුතුය. ජනතා පරමාධිපත්‍ය පැවරිය යුත්තේ ප්‍රබුද්ධ, ශීලාචාර මෙන්ම දේශපාලන සාක්ෂරතාවක් සහිත පුද්ගල කණ්ඩායම්වලට විනා දේශපාලනයම බාල්දු කළ අම්බරුවන්ට නොවන බවද පෙන්වා දිය යුතුය.

අවසන් වසයෙන් තවමත් අයවැය විවාදයට වඩා ප්‍රමුඛතාවක් හිමි වී තිබෙන ක්‍රිකට් අර්බුදය ගැන ද අවධානය යොමු කිරීමට අපට ද සිදුවේ. අයවැය කාරක සභා විවාදයට පැමිණි ජනාධිපති රනිල් කතා කළේ ද ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙනි. ඔහු පෙන්වා දුන්නේ මේ අවුල පාර්ශ්ව දෙකක් අතර ගැටුමක් බවය. එසේම තමන්ට ද ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බවය. පාර්ලිමේන්තුවේ ක්‍රිකට් විවාදය දේශපාලන මැදිහත්වීමක් ලෙස ඔහු පෙන්වා දෙයි. එසේම ක්‍රීඩා ඇමැති රොෂාන්ගේ අන්තර් පාලන කමිටුව පත්කිරීම මේ අවුල උග්‍ර කරන්නක් බව ඔහුගේ විවේචනය විය. එසේම ක්‍රිකට් පාලක සභාපති ශම්මි සිල්වා රැකගැනීමට තමන්ට වුවමනාවක් නැති බවද ජනාධිපතිවරයා කීවේය. දූෂණ චෝදනා විමර්ශනය කිරීමත් අලුත් නීති සම්මත කර ක්‍රිකට් ක්‍රීඩාව රැකගැනීමට ක්‍රියාකළ යුතු බවත් ඔහුගේ විවේචනවල හරය විය. ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීමේදී ක්‍රිකට් යනු දේශපාලනය නිසා අර්බුදයට ලක්වූ ක්‍රීඩාවක් බව ඍජුවම කියා සිටියේය. එසේම ඔහු රොෂාන්ගේ ක්‍රියාකාරකම් අනුමත කළේ ද නැත. කුමක් වුවත් ක්‍රිකට් ක්‍රීඩාව රැකගැනීම සඳහා සියල්ලන්ම එක්ව ක්‍රියාකළ යුතු බවද ජනාධිපතිවරයාගේ අවධාරණය විය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ ක්‍රිකට් අර්බුදය ඒ අයුරින් විශ්ලේෂණය කරද්දී ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා චෝදනා කළේ 1996 ලෝක කුසලානය ලංකාවට ලබා දුන් කණ්ඩායමේ ප්‍රමුඛයා වූ අර්ජුන රණතුංගටය. ඔහු ලෙජන්ඩ් කෙනෙක් ලෙස හැඳින් වූයේ අර්ජුන බව පැහැදිලිය. (Legend යනු සිංහලෙන් පුරාවෘත්තයයි) ෂම්මි සිල්වා එලෙස මෙම අර්බුදයේ වගකීම සම්බන්ධයෙන් කළ චෝදනාව මෙම ක්‍රිකට් අවුල දෙස බලා සිටින ඇතැම් මැදහත් පිරිස් විසින් ද නගා තිබුණකි. අර්ජුන යනු කලක් සක්‍රීයව දේශපාලනයේ නිරතව සිටි අයෙක් මෙන්ම කැබිනට් ඇමැතිවරයකු ලෙස ක්‍රියාකළ කෙනෙක් ද වේ. එහෙත් ඔහුගේ සමත්කම් හා දැනුම ක්‍රිකට් සම්බන්ධයෙන් වුවත් ඔහුට කිසිවිටෙක ක්‍රීඩා ඇමැති ධුරය ලබා නොදුන් බවද අපට මතකය. එසේම අර්ජුන හා ක්‍රිකට් පාලනය අතර ද ගැටුම් තිබුණු බව රහසක් නොවේ. මෙහිදී සාමාන්‍ය පාඨකයකු කළ සඳහනක් ද අපට සිහිවේ. එනම් මෙරටේ දේශපාලනයෙන් මහින්ද ඉවත් විය යුතු අතරම අර්ජුන ද ක්‍රිකට් පාලනයෙන් ඉවත්ව සිටිය යුතු බවය. එසේ කිරීමෙන් ඒ දෙදෙනාටම තම ක්‍ෂේත්‍රවල ගෞරවය හා බුහුමන ලබාගත හැකි බවය. ජනාධිපති රනිල් ද ක්‍රිකට් අර්බුදයේ දෙපිරිසක් ගැන සඳහන් කළේ එක් පාර්ශ්වයකට අර්ජුනව ද ඇතුළත් කරමින්ද යන සැකය ඔහුගේ ප්‍රකාශය තුළ සැඟවී ඇතැයි ද අපට සිතේ. කුමක් වුවත් ක්‍රිකට් පරිහානියට මූලික වූ හේතු අතර දේශපාලනයත්, ඒ සඳහා ජාත්‍යන්තරව ලැබෙන විශාල මුදල් කන්දරාවත් කැපී පෙනෙන බවද සඳහන් කළ යුතුය. ක්‍රිකට් මුදල් වැය වී තිබෙන ආකාරය මෙන්ම ගෙවීම් පිළිබඳව සමාජගතව තිබෙන තොරතුරු නිවැරදි නම් මේ ක්‍රිකට් ධන නිධානයට අරක්ගත් බහිරවයන් ගැන අපට බොහෝ දේ වටහා ගත හැකිය. ජනාධිපතිවරයා සඳහන් කළ පරිදිම මේ අර්බුදය විසඳාලීමට මෙන්ම පිරිසිදු ක්‍රිකට් පාලනයකට වුවමනා නීති රීති ආචාරධර්ම ශක්තිමත් කිරීම ද අනිවාර්යයෙන්ම අප්‍රමාදවම කළ යුතු කාර්යයකි. (මේ ලියන මොහොත වන විටද ක්‍රිකට් සම්බන්ධ නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබුණි.)

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment