දෙසැම්බර් 31 දාට පෙර සත්ත්ව ආහාර නොගෙන්වන ආයතන ‘බ්ලැක් ලිස්ට්’

61

සත්ත්ව ආහාර සඳහා ධාන්‍ය ගෙන්වීමට අවසර ලබාගත් ආයතන, එසේ භාර ගත් ප්‍රමාණ දෙසැම්බර් 31 වැනිදාට පෙර මෙරටට ගෙන්වීමට අපොහොසත් වුවහොත් එම ආයතන සියල්ල අසාදු ලේඛනගත කිරීමට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

2022 වසරේ පළමු හා දෙවැනි කාර්තුවලට ගෙන්විය යුතු බඩඉරිඟුවලින් මෙතෙක් ගෙන්වා ඇත්තේ 27% පමණක් බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

දිනෙන් දින ඉහළ යන බිත්තර මිලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සත්ත්ව ආහාර මිල ඉහළ යෑම බව ගොවියෝ කියති. ඒ පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීම උදෙසා වූ ප්‍රගති සමාලෝචන රැස්වීමක් රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මේ සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදකයන්, සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනකරුවන් ද කැඳවා තිබිණි.

2022 වසර සඳහා සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමට ධාන්‍ය මෙටි්‍රක් ටොන් දෙලක්‍ෂ විසිපන්දහසක් ආනයන කිරීමට රජය අවසර ලබා දී තිබේ. ඒ පළමු කාර්තුවට එක්ලක්‍ෂ විසිපන්දහසක් සහ දෙවැනි කාර්තුවට ලක්‍ෂයක් ලෙස ය. පළමු කාර්තුවේ දී ප්‍රථමයෙන් අදාළ මෙටි්‍රක් ටොන් එක්ලක්‍ෂ විසිපන්දහසක ප්‍රමාණය සත්ත්ව ආහාර නිෂ්පාදකයන් සඳහා සෘජුවම ගෙන්වීමට අවසර ලබා දීමට අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

අදාළ මෙටි්‍රක් ටොන් ප්‍රමාණය, නිෂ්පාදන ධාරිතාව මත අදාළ ආයතන වෙත කෝටා ක්‍රමයක් ලෙස බෙදා දෙන ලදී. කෙසේ වෙතත් එහිදී ඇතැම් නිෂ්පාදන ආයතන ධාන්‍ය (තිරිඟු හා බඩ ඉරිඟු) ගෙන්වීම ප්‍රමාද කිරීම නිසා මෙම අවස්ථාව සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කරන ආයතන වෙත ලබා දීමට ද පියවර ගැනුණි.

මෙම වසරේ මෙතෙක් ගෙන්විය යුතු මෙ. ටො. දෙලක්‍ෂ විසිපන්දහස තමන් ගෙන්වන බව පවසමින් වෙන්කරගෙන තිබෙන කෝටාව ස්ථිර වශයෙන්ම දෙසැම්බර් 31 වැනිදාට පෙර ගෙන්වන්නේ ද යන්න ඔක්තෝබර් 07 වැනිදාට පෙර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුට අදාළ සියලු ආයතන ලිඛිතව දැනුම් දිය යුතු බව ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය. ඔක්තෝබර් 07 වැනිදාට පෙර එසේ දැනුම් නොදෙන ආයතනවල කෝටාව වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි වනු ඇත. එවිට එසේ නිදහස් වන කෝටාව ස්ථිර වශයෙන්ම ගෙන්වන බවට සහතිකයක් ලබා දෙන සත්ත්ව ආහාර නිෂ්පාදන ආයතනවලට මෙන්ම ආයතනකරුවන්ට ලබාදෙනු ඇත.

සත්ත්ව ආහාර රෙජිස්ට්‍රාර් ආචාර්ය එන්. ප්‍රියංකරගේ මහතාට ඊට අදාළ පූර්ණ වගකීම මෙහිදී පැවරිණි. ඒ අනුව ඊට අදාළ ලිපි ලේඛන හා අවශ්‍ය පරිදි කෝටා සමාලෝචනය කිරීම ඔක්තෝබර් 15 වැනිදාට පෙර සිදු කෙරෙනු ඇත.

අරුණ බොගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment