වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස වෙරළ තීරයේ කිඹුලන් ගැවසෙන බැවින් දිය නෑමේදී විමසිලිමත් වන ලෙස පසුගිය කාලය පුරා ජනතාව දැනුවත් කර තිබිණි.
එවන් පසුබිමක අනතුරුදායක ලෙස ගැවසුණු අඩි 16 ක් පමණ දිග දැවැන්ත කිඹුලකු දෙහිවල ධීවරයින් මහත් පරිශ්‍රමයක් දරා අල්ලා අත්තිඩිය වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර ඇතැයි ධීවරයෝ කියා සිටිති.
විසිතුරු මසුන් ඇල්ලීම සඳහා ගිය කිමිදුම්කරුවකු කිඹුලකු විසින් කා ඩැහැගෙන ගොස් මරණයට පත්වී ඇති බවක් ද පසුගිය දිනවල වාර්තා විය.
එවන් පසුබිමක දෙහිවල මුහුදේ පැරණි ගිලා බැස ඇති නැවක සුන්බුන් අසල, සැරිසරමින් සිටි මෙම කිඹුලා ධීවර බෝට්ටු යොදාගන ආරක්ෂක කේබල් මගින් අල්ලා ගොඩට ගෙනවිත් වනජීවී නිලධාරීන් කැඳවා භාරදීමට කටයුතු කර ඇත.
පසුගිය දිනවල තවත් කිඹුලන් දෙදෙනකු එම අසල සිටිනු දැක ඇති බවත් ධීවරයෝ කියති.
පින්සිරි ආරියරත්න – රත්මලාන