දෙහි යුෂ අඩංගු බැරල් තුළ කෝටි තුනක විදෙස් දුම්වැටි

43

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට, හයිඩ්‍රේටඩ් දෙහි අඩංගු බැරල් තුළ සඟවා මෙරටට ගෙන්වන ලද රුපියල් තුන් කෝටි පහළොස් ලක්ෂයක් පමණ වටිනා නීති විරෝධී දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්යසාධක බළකායට අයත් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදු කරන ලද විශේෂ පරීක්ෂණයකදී, හයිඩ්‍රේටඩ් දෙහි ලෙස ප්‍රකාශයට පත් කරන ලද බැරල් 20ක් තුළ ප්‍රවේශමෙන් සඟවා නීති විරෝධී ලෙස රටට ආනයනය කරන ලද මෙම දුම්වැටි තොගය රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේය.

විදේශ රටක නිෂ්පාදිත මෙම දුම්වැටි 420,000ක් ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්යසාධක බළකායට අනුයුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අරුක්ගොඩ මහතා කියා සිටියේය.

හයිඩ්‍රේටඩ් දෙහි අඩංගු බව කියන ප්ලාස්ටික් බැරල් 20ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කළුතර ප්‍රදේශයේ සමාගමකට ආනයනය කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ප්‍රභාත් විතාන, ගුවන්තොටුපළ – ටී.කේ.ජී. කපිල


advertistmentadvertistment