දෙ කපු කතාව – (කපු පුළුන් ව්‍යාපාරය ගැන නොවේ)

169

කපුවන් දෙදෙනකු පිළිබඳ කතාන්දර දෙකක් අපට කියවීමට ලැබිණ. මේ දෙකම පෙරේදා (28) දිවයිනේ වාර්තා කර තිබිණ. ඔවුන් ම`ගුල් කපුවන් නොව දෙවියන් විකුණා ජීවත්වන හොර කපුවන් බව අපේ වැටහීම ය. පළමුවැනි කපුවාගේ නම වෙත්තසිංහ ආරච්චිලාගේ සුජිත් දුෂ්මන්ත ප‍්‍රනාන්දු ය. දෙවැනි කපුවාගේ නම එච්. ඒ. ගාමිණි හෙට්ටිආරච්චි ය. පළමුවන කපුවා නිධන් ප‍්‍රශ්නයක් හේතුවෙන් තමා බඳුම වංචනික හොරුන් දෙදෙනකු පැහැරගෙන ගොස් අම්බානක ගුටි දී ඔවුන් කුරුසි වලට තබා ඇන ගසමින් සිටියදී පොලිසිය එතනට පැමිණීම නිසා අතුරුදන් විය. මෙය ලියන අවස්ථාවේදී ඔහුගේ දෑතට මාංචු වැටී තිබුණේ නැත. දෙවැනි කපුවාගේ මළ සිරුර ඊයේ පෙරේදා දවසක කැලණි ගෙඟන් මතුවිය. ඔහු කැලණි ගඟට වීසිකර තිබුණේ දෑත් දම් වැල් වලින් බැඳ ඉබ්බෙක් දමා හිසට ද තුවාල සිදු කිරීමෙනි. විවිධ ගුරුකම් නිසා ඔහුට සතුරන් සිටි බව කියනු ලැබේ. ගෙඟ් පාවෙමින් තිබූ ඔහුගේ මළ සිරුර පවා හඳුනාගත නොහැකි තරමට කුණු වී තිබූ අතර බිරිඳ විසින් එම සිරුර දැක මේ මගේ සැමියා යැයි කියන ලද්දේ අතේ තිබූ පච්ච සලකුණකිනි. අපේ වැටහීමට අනුව දෙවන කපුවා මියගොස් ඇත්තේ තමා ජීවත් වූ විදියේ ප‍්‍රතිඵලයක් ලෙසය. මිනිසුන් දෙදෙනකු කුරුසිවල තබා ඇණ ගැසූ කපුවාද මතුයම් දවසකදී තමන් ජීවත් වූ ලෙසම මිය යනවා ඇත. කුරුසියේ ඇණ ගැසීමට ලක්වූ දෙදෙනාද නීති විරෝධී ඩයල් දෙකකි. මතුයම් දවසක ඔවුන් ජීවත් වූ පරිදිම ඔවුන්ගේ ඉරණම ද තීරණය වනවා ඇත.

ශ‍්‍රී ලංකාව හොර කපුවන්ගෙන් හොර දේවගැතිවරුන්ගෙන් සහ හොර වෙදුන්ගෙන් පිරුණු චෞර රාජ්‍යයකි. හොර දේශපාලනඥයන් ගැන මෙහිදී අමුතුවෙන් ලියනු නොලැබේ. එහෙත් හොර කපුවන්, කපටි මන්තර ගුරුකම්කාරයන්, දේව බලයෙන් ලෙඩ සුව කරන බව කියමින් සල්ලි ගරන බොරුකාරයන්, හොර දේශපාලනඥයන් සමග එක පතේ කා එකටම පහරන බව පමණක් කියමු. අසනීපවලට බෙහෙත් නොගෙන අහස දෙස බලාගෙන යාඥා කරන ආගමික කණ්ඩායම් මේ රටේ සිටිති. එබඳු අය විසින් පවත්වන රෝග සුව කිරීමේ දේව මෙහෙයන්ට සහභාගි වී බෙහෙත් නැතිව නොකල්හි මිය ගිය අසරණයෝ බහුලය. මීට මාස කිහිපයකට පෙර කුඩා දැරියකගේ ඇඟට යකකු වැසුණු බව කියමින් යකා එළවීම පිණිස දැරියට මැරෙන තුරු පහරදුන් ඉස්ලාමීය කපු ස්ත‍්‍රියක් ගැන අපට දැනගන්නට ලැබිණ. යක් දෙස්සියන් ලෙස හැඳින්වෙන මෙවැනි අයට මධ්‍යකාලීන යුගයේදී කදිම දඬුවම් දෙකක් පනවා තිබිණ. ඒ වූකලී එක්කෝ පණ පිටින් පුළුස්සා මැරීමය. දෙවැන්න ඒ වෙලාවේම එල්ලූම් ගසක් හදා එහි එල්ලා මැරීමය. මනුෂ්‍ය ඝාතන වලට මේ පුවත්පත ප‍්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ ය. අප මෙහි සඳහන් කළේ මධ්‍යකාලීන යුගයේදී යක් දෙස්සියන්ට දුන් දඬුවම් ගැන පමණයි. කොතරම් වැරදි කළ අයකු වුවද ඝාතනය කිරීම අප අදහන දහමට එරෙහිය. එහෙත් වරදකරු මරා දැමීම රෝමානු ලන්දේසි නීතියට එකඟය. අපි දහම අදහමු. එසේම රෝමානු ලන්දේසි නීතිය පිළිපදිමු.

ජ්‍යෝතිෂ්‍යය යනු බොරුවක් නොවේ. හොරකමක් ද නොවේ. ගණිත ශාස්ත‍්‍රයට අනුව මෙයට අවුරුදු දහස් ගණනකට පෙර මෙසපොටේමියාවේදී පහල වූ (නූතන ඉරාකය, ඉරානය, තුර්කිය, සිරියාව සහ කුවේටය) ජ්‍යෝතිෂ්‍යය විඥානවාදී මළඉලව්වක් නොව භෞතිකවාදී සෑස්තරයකි. එහෙත් හඳහන හරහා මිනිසුන් රවටා ගාන කපා ගැනීමට හැකි බව දැනගත් කිසියම් දැනුමක් ඇති ඇතැම් පල් හොරු ජ්‍යෝතිෂ්‍යය යැයි කියමින් පල් බොරු විකුණති. දේවාල වැඩිහරියක සිටින කපු රාළලා වැඩිහරියක් පිළිබඳ කතාවද මෙයම ය. තඹ කොල කෑලි මතුරා නූල්වල ගැට ගසා ඒවා රුපියල් තිස් හතළිස් දාහට විකුණන අවස්ථා කපු ව්‍යාපාරයෙහි ඇත. මේවාට රැුවටෙන අසරණ මිනිස්සු ගෙවල් දොරවල් ද උකස් කර කපුවන්ට සල්ලි පුදති. කපුවන් සල්ලි ගන්නේ දෙවියන්ට පුදන බව කියමිනි. එහෙත් එම මුදල් වැටෙන සාක්කුව ඇත්තේ දෙවොලෙහි තිබෙන දේව රූපයෙහි නොව කපුවාගේ යට කලිසමේය. අසනීපයක් වූ විට මුලින්ම කළ යුත්තේ බේත් ය. බුදුන් වහන්සේ අසනීප වූ අවස්ථාවලදී ජීවක නමැති වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගත්හ. මම බුදුන් වෙමි. මට මොන බෙහෙත් දැයි උන්වහන්සේ කෙදිනකවත් නොවදාළහ. මේ කතු වැකිය අවසන් කරමින් තව එක වාක්‍යයක් ලියමු. මේ රටේ ඇතැම් ඇමැතිවරුන් ගේ ගෙවල් තුළ ප‍්‍රයිවට් දේවාල ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment