දේවදත්ත අංගුලිමාල පටලැවිල්ල හා රටම පරිහානියට යද්දී වසල කඳුවලට උඩින් පැනීම !

258

ජනාධිපති රනිල් වික්‍රමසිංහත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසත් අය-වැය විවාදයේ කාරක සභා අවස්ථාවේදී ධර්ම සංවාදයක පැටලීම සමාජ දේශපාලන අංශවල ද අවධානයට ලක්ව තිබුණි. සාමාන්‍යයෙන් මේ දෙදෙනාම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් කතාකරන විට බුදුදමින් මෙන්ම බුදු සිරිතෙන්ද උපුටා දැක්වීම් සිදු කරති. ජනාධිපති රනිල් පරාභව සූත්‍රය සිහිපත් කරද්දී විපක්‍ෂ නායක සජිත් පරාභව හා වසල යන සූත්‍ර දෙකින්ම කරුණු දැක්වීමද කැපී පෙනුණි. එසේම මේ දියවන්නා ධර්ම සංවාදයේදී ජනාධිපතිවරයා දෙව්දත් හා අංගුලිමාල චරිත දෙක පටලවා ගත් ආකාරය ද පෙනුණි. ඒ කුමක් වුවත් අද ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා සංස්කෘතික ක්‍ෂෙත්‍රවල පරිහානියත් ඒවායේදී සිදුවන විවිධ ක්‍රියාන්විත වල ස්වභාවයන් දෙස බලන විට පැහැදිලි වන්නේ එදා බුදුන්වහන්සේ වදාල පරාභව හා වසල සූත්‍රවල බොහෝ කරුණු අපේ දෑස් අබියස තහවුරු වෙමින් තිබෙන බවය. මනුෂ්‍යත්වයේ ගෞරවය අභිමානය මෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් සුපෝෂිත ඒ සමාජයද පරාභවයේම ගිලී තිබෙන බව ලැජ්ජාවෙන් වුවද සඳහන් කළ යුතුය.

ජනාධිපති රනිල් විසින් මෙම අය-වැය විවාදයේදී කරන ලද ඇතැම් විවේචන ආන්දෝලනාත්මක විය. ප්‍රජාතන්ත්‍රවාදයත් බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාගේ සමාජ දේශපාලන මැදිහත්වීම් පිළිබඳවත් ජනාධිපතිවරයාට වූයේ තරමක අප්‍රසන්න ආකල්පයකි. විශේෂයෙන් තරුණ භික්‍ෂුන් වහන්සේලාගේ හැසිරීම්, ප්‍රතිචාර ඔහුගේ නොසතුටට හේතු වූ බව පෙනුණි. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ ක්‍රියාකාරීව සිටින බොහෝ තරුණ භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම් ආවේගශීලී ප්‍රතිචාර ආදිය පිළිබඳ විවිධ විවේචන තිබේ. ඒවාට එකඟ නොවන අයත් සිටිති. එහෙත් අද සමාජ දේශපාලන හා සංස්කෘතික ක්‍ෂෙත්‍රවල මේ තරුණ භික්‍ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම් කැපී පෙනේ. එය විශ්වවිද්‍යාල සීමාවෙන් පිටතද දැකගත හැකිය. පරිසරය සුරැකීම, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම්, සෞඛ්‍ය, පුරාවිද්‍යාව, ආදී ක්‍ෂෙත්‍ර ගණනාවකම මේ තරුණ භික්‍ෂුහු සක්‍රීයව සිටිති. වන සංහාරය, රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ හා අයථා ක්‍රියාකාරකම් මෙන්ම ග්‍රාමීය ජනතාවගේ විවිධ දුක් පීඩා සම්බන්ධයෙන්ද මේ බොහෝ මැදිහත්වීම් සිදු වේ.

ජනාධිපති රනිල් පසුගිය දිනක අය-වැය විවාදයට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය හා තරුණ භික්‍ෂුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කළ විවේචනයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් සඳහන් කරන ලද්දේ එහිදී රාජ්‍ය නායකයා ලෙස ඔහුගේ වාග් විලාසයත් භාවිත කළ වචනත් භික්‍ෂුත්වයට අවමානයක් බවය. සිවුරු ඇඳගත් බට්ටන් ලෙස තරුණ භික්ෂුන් වහන්සේලා හැඳින්වීම අනුචිත බව අමුතුවෙන් කිව යුතු නැත. නූතන සමාජය තුළ භික්‍ෂුව සතු වගකීම් ඉටු නොවීම ගැන ද විවේචන තිබේ. එහෙත් ගිහියන්ට භික්‍ෂුන් වහන්සේ විවේචනය කිරීමට හැකිද? නිකාය වශයෙන් තිබෙන බෙදීම්, භික්‍ෂු විනය ආදී කරුණු ඒ ඒ නායක හිමිවරුන් විසින් විනිශ්චය කළ යුතු බව සාමාන්‍ය පිළිගැනීම වේ. විශ්වවිද්‍යාලවල තරුණ භික්ෂුන්ගේ විනය සම්බන්ධ ගැටලු තිබෙන බව නොරහසකි. සංඝ ප්‍රතිරූපය නොබිඳ ඒ භික්‍ෂුන් වහන්සේලා පාලනය කළ යුත්තේ ගුරු හිමිවරුන් හෝ නිකායවල ප්‍රමුඛ හිමිවරු වෙති. දේශපාලනඥයෝ නොවෙති.

මහාචාර්ය ඩබ්ලිව්. ඇස්. කරුණාරත්න විසින් භික්‍ෂුවගේ උරුමය හා කාර්යභාරය පිළිබඳ පළ කරන ලද අදහසකි මේ.

දේවදත්ත අංගුලිමාල පටලැවිල්ල හා රටම පරිහානියට යද්දී වසල කඳුවලට උඩින් පැනීම !

“මගේ නමින් යම්කිසි කෙනෙක් කසාය වස්ත්‍ර පොරවාගෙන සිටී නම්, මගේ ශ්‍රාවකයන් දුස්සීලයන් වේවා, සිල්වතුන් වේවා, ඔවුන්ගේ සිවුරු ගලවන්න සලස්වනවා නම්, ගිහිගෙට යවනවා නම්, උපැවිදි කරනවා නම්, හීරළු බවට පත් කරනවා නම්, දඬු මුගුරු, පොලුවලින් ගහනවා නම්, ගරුතර මහා සංඝරත්නය හිර ගෙවල්වල, මැගසින් බන්ධනාගාරවල, රිමාන්ඩ් සිර කඳවුරුවල, මේ ඔක්කොටම අරන් ගිහිල්ලා, කූඩුවලට තල්ලුකරල දානවා නම් මේක මූලික වරදක්. විනයේ හැටියට ඇවතක් අද එහෙම කරනවා……”

භික්‍ෂුව ප්‍රජාතන්ත්‍රවාදියෙකි. එබැවින් ජනතා විමුක්තිය, ජනතා උරුමය රකින්නෙකි. බෞද්ධ රාජ ධර්මයේ අනුසස් දකින්නෙකි. රාජ්‍ය බලය ජනතා පරමාධිපත්‍යයට ලක් කරන්නෙකි.

භික්‍ෂුවගේ උරුමය හා කාර්යභාරය – 1996

මහාචාර්ය කරුණාරත්න සූරීන් විසින් 1996 දී දක්වන ලද මේ අදහස් භික්‍ෂුන් වහන්සේගේ කාර්යභාරය හා වගකීම සම්බන්ධයෙන් අතිශය ශාස්ත්‍රීය විශ්ලේෂණයක් ලෙස පිළිගනු ලැබේ. එමෙන්ම එහි එකල භික්ෂු සමාජයට කළ විවේචනද දැකගත හැකිය.

“ගිහියන් පිළිබඳ ප්‍රශස්ති ගායනයට හා අතිශයෝක්ති ගත වර්ණනයට භික්‍ෂුව හුරු පුරුදු වී සිටීම බහුල වශයෙන් දක්නට තිබෙනවා. ඕනෑම සූදු අන්තුවෙක්,ඕනෑම කසිප්පු කාරයෙක්, මැරුණාම ඔහු ගැන සත්ගුණවත්, පරිත්‍යාගශීලී, පරහිතකාමී කෙනෙක්, බෝධි සත්වයෙක් කියලා වර්ණනා කිරීම අනන්තයි අප්‍රමාණයි… ගරුතර මහා සංඝයා වහන්සේට උදව් ඇති තත්ත්වය එක එකාට කසිප්පුවන්ට , සල්ලාලයින්ට, තක්කඩින්ට වන්දිභට්ටකම් කිරීමයි ප්‍රශස්ති ගායනා කිරීමයි, ගුවන් තොටුපළවලට ගිහිල්ලා පිටත්වෙන කොටත් එනකොටත් සෙත්පිරිත් දේශනා කිරීම දැන් ආවේණික අංගයක් වෙලා. පාලකයන්ගෙ විවෘතකිරීමේ උත්සව හොය හොයා ගිහිල්ල බලෙන් හෝ සෙත්පිරිත් කීම අද පමණක් නොවෙයි, කොයිපාලන කාලවලදීත් දක්නට ලැබුණා”

(එම ලිපිය- පිටු 37)

මහාචාර්යවරයා අවධාරණය කරන්නේ භික්ෂුන් වහන්සේ නිරන්තර අවදියෙන් සිටිය යුතු විචාරශීලි, අදීන චරිතයක් විය යුතු බවය. පුද්ගලයන් ගැන වස්තුව දේපොළ ගැන මෙන්ම සංකල්ප කෙරෙහිද කිසිදු ඇලීමක් නැති සමාජ සේවයට උපරිම සුදුසුකම් ඇත්තේ භික්‍ෂුවට බවද ඔහු පෙන්වා දෙයි. එසේම භික්‍ෂුව කිසිම විටෙක පක්ෂග්‍රාහී ගිහි දේශපාලන ප්‍රතිපත්තිවලට අනුව ඒ පක්‍ෂ දැල්වලට පැටලීම නුසුදුසු බවද මහාචාර්ය කරුණාරත්න සඳහන් කර ඇත. එසේම සමකාලීන ලෝකයේ නිරතුරුව සිදුවන නවීකරණයට පිටු පා අතීත ගත සම්ප්‍රදාය පමණක් සුරැකීමේ සංරක්ෂණකාරී පිළිවෙතද භික්‍ෂුවට උචිත නොවන බවද ඔහුගේ අදහසය.

මා මේ උපුටා ගැනීම්වලින් අදහස් කළේ එදාත් අද මෙන්ම භික්‍ෂු සමාජය පිළිබඳ වූ විවේචන තිබුණු බවත් එහෙත් ඒවාට ගිහියන් පාලකයන් මැදිහත් විය යුතු ද යන ප්‍රශ්නය එවක සමාජ දේශපාලන ක්‍ෂෙත්‍රවලද වූ බවත් පෙන්වා දීමටය. ඇත්ත වශයෙන්ම අද භික්‍ෂුන් වහන්සේලාගේ විනය, ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහනාහිමිවරුන්ගේ දැඩි අවධානය යොමු විය යුතුමය. ජනාධිපති රනිල් සඳහන් කළ පරිදි පැවිදි බවින් කණිටු හිමිනමක් ආවේගශීලීව මහනාහිමිවරුන්ට පහර ගැසීම කිසිවෙකුට අනුමත කළ හැකිද? බෞද්ධ සංඝ සමාජයෙහි උත්තරීතර ආයතන ලෙස මහනාහිමිවරුන් විසින් නියෝජනය කරනු ලබන මල්වතු හා අස්ගිරි මහා විහාර පිළිගනු ලැබේ. විනයකර්ම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ශාසනික ප්‍රතිපදාවට අයත් වූවකි. සංඝ ආඥා, අණපනත් සියල්ල එහි මහනාහිමිවරුන්ගේ සම්මුතියකි. කිසියම් චෝදනාවක් ඉදිරිපත් කළ යුතු ආකාරයද එහි දක්වා ඇත. බුදුන්වහන්සේ විසින් විනය ශික්ෂාපද පනවන ලද ආකාරය සංඝ සමාජයෙහි ප්‍රජාතන්ත්‍රවාදී පදනම විශද කරන්නක් බව නූතන සමාජ දේශපාලන විද්වත්හුද පිළිගනිති.

ජනාධිපති රනිල් පරාභව සූත්‍රය සඳහන් කළත් එහි අන්තර්ගතය ගැන අවධානයක් යොමු නොකරයි. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පවසන්නේ පරාභව සූත්‍රයෙහි භික්ෂූන් පිළිබඳව සඳහන් නොවන බවය. එය සැබෑවකි. එහෙත් පරාභව සූත්‍රය බුදුන්වහන්සේ විසින් ගිහි සමාජය අරමුණු කර ගත් පරමාදර්ශී සමාජයක ස්වරූපය මෙන්ම පුද්ගලයාගේ චර්යාවද සම්බන්ධ විශ්ලේෂණයකි. ඇත්ත වශයෙන්ම අද මෙරටේ සමාජය මෙන්ම පුද්ගල ජීවිතයද ලක්ව තිබෙන පරිහානිය සුළුපටු නැත. යහපත් සමාජයක පුද්ගලයා සතු වගකීම පෙන්වා දෙන පරාභව සූත්‍රය අපට මෙන්ම පාලකයාටද අගනා මඟ පෙන්වීමකි. රාජ්‍ය පාලනයෙහි අගනා ප්‍රතිපත්ති හා පාලකයා හා පාලිතයා යන දෙපාර්ශ්වයෙහි වගකීම් සම්භාරය පිළිබඳ එහිදී සාකච්ඡා කෙරේ.

මෙයින් පෙන්වා දෙන්නේ දුසිරිතට ලොල්ව සමාජ සාරධර්ම නොතකන පුද්ගල හැසිරීම් නිසා සමාජයක් බිඳ වැටෙන ආකාරයයි. විනාශයට පත්වන අයුරුයි. බුදුන් වදාල සූත්‍ර අතර විශේෂයෙන් මංගල, සිඟාලෝවාද, පරාභව, වසල වැනි සූත්‍ර ගිහි සමාජය ඉලක්ක කරගත් විග්‍රහයන් ලෙස දැක්විය හැකිය. සමාජය කළ සංහිඳියාව, සාමය, අභිමානය සිඳී බිඳී යෑමත්, ධනය, සදාචාරාත්මක වටිනාකම් පිරිහෙන ආකාරයත් සරලව හා ප්‍රබලව විස්තර කෙරෙන මෙම සූත්‍ර කවර සමාජයකට වුවද අදාළ වේ. බෞද්ධ සදාචාරය හා එහි අඩංගු සදාචාරාත්මක ඇගයුම් කෙතරම් අර්ථ සම්පන්න වුවද අපේ දේශපාලනයෙහි හෝ නායකයන්ගේ (පක්‍ෂවල) ප්‍රතිපත්තිවලින් ඒවාට ගෞරවයක් පිරිනමා තිබේද? සමාජයක් පරිහානියට යෑම පාලකයා පාලන ප්‍රතිපත්ති හා සමාජ වටිනාකම් මත සිදුවන්නකි.

බුදුන්වන්සේගේ ධර්ම මාර්ගය නිවන අරමුණු කරගත් එකක් ලෙස ඇතැම් බටහිර සමාජ විද්‍යාඥයන් කීපදෙනෙකු විසින් හඳුන්වන ලද නමුත් එහි ගැබ්වන සමාජ දේශපාලනය මානව සබඳතා ඉතා පරිපූර්ණ හා ගාම්භීර න්‍යාය හා සුත්‍ර සමුදායක් බව අද බටහිර පවා පිළිගන්නා කරුණකි. බුදුන් ජීවමානව සිටි ඉන්දියාව එදා බ්‍රාහ්මණ අධිපතිවාදයට යටත් වූවකි. ලෝක ඉතිහාසයේ මනුෂ්‍යවර්ගයාට ඇති සමානත්වය මුලින්ම දේශනා කළේද බුදුන්වහන්සේය. ජීව විද්‍යාත්මකව තිරිසනුන් හා ගස්වැල් වෙනස්කම් වලින් යුතු වුවද මිනිස් සමාජය එකම වර්ගයක් බව බුදුහු වදාළහ. වසලයා යන්නට නව අර්ථකථනයක් දුන් බුදුන්වහන්සේගේ වසල සුත්‍රයට සමකළ හැකි සාධනීය විග්‍රහයක් කිසිදු ආගමක හෝ දර්ශනයක හමු නොවේ. සමාජ යුතුකම් සදාචාර ප්‍රතිපත්ති කෙබඳු විය යුතුද යන්න වසල සූත්‍රයෙහි පෙන්වා දී ඇත.

විපක්‍ෂ නායක සජිත් මෙන්ම අධ්‍යාපන ඇමැති සුසිල් ද පාර්ලිමේන්තු අය-වැය විවාදයේදී වසල සූත්‍රය උපුටා දැක්වූහ. වසලයකු යනුවෙන් හැඳින්විය යුත්තෙ කෙබඳු ක්‍රියාකාරකම් සහිත ගති සිරිත් සහිත අයෙක්ද යන්න එහිදී පෙන්වා දී ඇත. මෙහි හරය ලෙස දැක්විය හැක්කේ පුද්ගලයා සතු බාහිර ස්වරූපය නොව ඔහුගේ හැසිරීම් සමාජ මැදිහත්වීම් අනුව පුද්ගලයා විනිශ්චය කළ යුතු බවය. මෙහි එන වසල ගති ලක්‍ෂණ සමාජයෙහි කාර්යාලයෙහි මහජන නියෝජිත ආයතනයෙහි ආදී බොහෝ තැන්වලදී පසක් කරගත හැකි දේවල්ය. වැදගත් උගත්, විද්වත් විලාසයක් ආරූඪ කරගත් පාදඩ, දුෂ්ට, වංචනික, දූෂිත චරිත අප අතර අප්‍රමාණව සිටිති. බොරුවෙන් රැවටීමෙන් සමාජය මුළා කරන දේශපාලනඥයෝ මෙන්ම නායකයෝද ඕනෑ තරම් සිටිති. නිලධාරීන් ආගමික නායකයන් නීතිය සුරකින්නන් ආදී විවිධ තරාතිරම්වලට අයිති අය අතර මේ කියන දුර්ගුණ සහිත පුද්ගලයෝ සිටිති. සත්පුරුෂ සමාජයක් විනාශ කරන, සියලු දුශ්චරිතවලට ඉඩදෙන පාලනයක් වේ නම් එහිද මේ වසල දුර්ගුණ දැකගත හැකිය. ඇත්ත වශයෙන්ම අද සමාජයට බණ දෙසන, හොඳ නරක කියාදෙන සමහරුන්ටද මේ වසල සූත්‍රයෙහි එන බොහෝ කරුණු කොපමණ අදාළ වන්නේ දැයි විමසා බලා දැන ගැනීම අසීරු නැත.

මේ වනවිට සමාජ සාරධර්ම, වටිනාකම්, සත්‍යවාදී හා මානවවාදී ඇවතුම් පැවතුම් සියල්ල සෝදා පාලුවට ගොසින් නැතැයි කිව හැකිද ප්‍රචණ්ඩත්වය, සාහසිකත්වය, ඝාතන, භීෂණ ක්‍රියා, ලිංගික හිංසන, පොදු ජාතික ධනය හොරාකෑම ආදිය අප්‍රමාණව සිදුවෙමින් තිබේ. පාතාලයන් කුඩු ජාවාරමුන් කුලී ඝාතකයන් විසින් මුදාහරින ලද භීෂණය කෙබඳුද? ඒවාට රැකවරණය ලබා දෙන අය හැඳින්විය යුත්තේ වසලයන් ලෙස නොවේද බලය, නිලය පෙරට දමා අනෙකා මැඩලීම වසල ක්‍රියාවක් වුවද එය දැන් දසක ගණනක් පුරා මේ සමාජයෙහි උඩු දුවමින් තිබෙන්නකි. සමාජය දුසිරිත් ආකාරයක් වී තිබේ. එහි රජයන්නේ වසල ධර්මයයි. එයට ප්‍රබල හේතුවක් වී ඇත්තේද මේ දූෂිත දේශපාලනයම නොවේද උස් අසුන් අරා සිටින මහත්වරු ස්වල්ප දෙනෙක් සිටිති. එහෙත් බහුලව දැකිය හැක්කේ ඉහත සඳහන් කළ වසල වර්ගයේ කසල කඳු නොවේද? පරාර්ථය වෙනුවට ආත්මාර්ථයද මානව දයාව වෙනුවට වෛරයද නීතිය යුක්තිය වෙනුවට අවනීතිය හා අසාධාරණයද උනුන් පරයා නැගෙන තෘෂ්ණාවෙන් පීඩිතව මී පොරයක වැටී සිටින සමාජ දේශපාලන සංස්කෘතික පරාභවයක් විනා මංගලයක් දැක ගත හැකිද? වසලයන් විනා සත්පුරුෂයන් අපේක්‍ෂා කළ හැකිද ආත්ම දමනය බ්‍රහ්මයකු මෙන් හැසිරීම සත්‍යාවබෝදයට හේතුවන මංගල කරුණු බවද බුදුන්වහන්සේගේ උපදේශයයි. එසේම වසල සූත්‍රයෙහි එන සඳහන අනුව බුදුන්වහන්සේට බුද්ධ ශ්‍රාවකයන්ට භික්‍ෂූන් වහන්සේට හෝ ගැහැවියකුට වුවද පරිභව කිරීම වසල ක්‍රියාවකි. එහි අරුත ගිහියන්ට එබඳු විවේචන දොස් කීම කළ නොහැකි බවය.

බුදුන් වදාල ධර්මයෙහි නිවන් මගට පෙර ගිහි ජීවිතය නැතහොත් සමාජ පැවැත්ම පිළිබඳව දක්වන ලද්දේ අතිශය ප්‍රබුද්ධ මෙන්ම ප්‍රායෝගික සාරධර්ම බව ඉතා පැහැදිලිය. ධම්ම පදයෙහි සමාජය පිවිතුරු කිරීමට අදාළ උපදෙස් රැසක්ම අපට දැක ගත හැකිය. දේශපාලනය, ව්‍යාපාර, වෘත්තීය ජීවිත, ජනතා සේවය ආදි සියල්ලකින්ම සමාජය ඉදිරියට ගමන් කරන සාධනීය උපදෙස් බුදුන්වහන්සේගේ දේශනාවන්හි අඩංගු වේ.

ලැජ්ජා නැති කපුටකු මෙන් ගසා ගැනීමේ ශූර ආක්‍රමණශීලී පුගල්භ කිළිටි ජීවිතයක් ගත කරන්නාට ජීවත්වීම පහසුය. නිතර පිරිසිදු බව සොයන ලැජ්ජා සහිත වූද පිරිසිදු පැවතුම් ඇත්තාට ජීවත්වීම පහසු නොවේ.

ධම්ම පදයේ එන මෙම විවරණය අපේ සමාජ දේශපාලන රාජ්‍ය සේවය, ව්‍යාපාර ආදී සියල්ල කෙරෙහි කෙතරම් අදාළ දැයි අමුතුවෙන් කිව යුතු නැත. එනිසා බෞද්ධ සමාජය දර්ශනය මුළු මහත් ජන සමාජයටම උචිත හා ප්‍රායෝගික එකක් බවද නිසැකය. අපේ දේශපාලනඥයන් ඒ ධර්ම ශාස්ත්‍රීය කරුණු දැන දැනත් සමාජය දේශපාලනය නිවැරදි කර ගැනීමට දක්වන අවධානය උනන්දුව කෙතරම් අල්පදැයි අපි දනිමු. අඳ ඇත්තන්ට සැප සම්පත් විඳිමින් ජීවිත ගෙවීමටත් නැති බැරි අයට වින්දිතයන් බවට පත්වීමටත් සිදුව ඇත්තේද වසල සමාජයක් බිහිවෙමින් එයම නඩත්තු කෙරෙමින් සිටින නිසා නොවේද? පුද්ගලයාගේ භෞතික හා ආධ්‍යාත්මික සමෘද්ධිය සඳහා ඇත්තේ එකම යහපත් මූලධර්ම පදනම් වූ ගමනක් බවද අපට මේ සුත්‍රවලින් යළි යළිත් පෙන්වා දෙයි. එනිසා ධනවාදී හෝ සමාජවාදී හෝ එසේත් නැතිනම් ලිබර්වාදී හෝ කවර ආකෘතික සමාජ දේශපාලනයකදී වුවත් මේ බෞද්ධ සංකල්පය ඉක්මවා ක්‍රියා කළ නොහැක. එනිසා සැබැවින්ම සජිත් පවසන්නාක් මෙන් අනුන්ට බණ දේශනා කිරීමට පෙර ඒ සාධනීය ගුණ ධර්ම මත පිහිටා ක්‍රියා කිරීම අතිශය වැදගත්ය. ආර්ථික හා ආහාර සුරක්ෂිතතාව සහිත සමෘද්ධිමත් සමාජයක් බිහි කිරීම පාලකයාගේ යුතුකම හා වගකීම බවද බුදුන් වහන්සේ වදාලේ නූතන සමාජ විද්‍යාඥයන්ට බොහෝ කලකට පෙරය. බිම්බිසාර, කසේනදි, කෝසල මෙන්ම අජාසත් වැනි පාලකයන් ඇසුරු කළ බුදුන්වහන්සේ රාජ නීතියත් භික්‍ෂු නීතියත් වෙන වෙනම පැහැදිලිව පෙන්වා වදාල බව බුදු සමය අපට තහවුරු කර ඇත. යම් සමාජයක සදාචාර පරිහානියක් සිදුවන්නේ වසල ක්‍රියාකාරකම් නිසා බවත් එබඳු වාතාවරණයක සාමය කඩවීම් නීතිය බිඳවැටීම් මෙන්ම සන්නද්ධ අරගල පවා සිදුවිය හැකි බව කූටදන්ත වැනි සූත්‍රවලින්ද පෙන්වා දී ඇත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment