දේශගුණික අභියෝගයෙන් ආරක්ෂාවීමේ අවසන්  බලාපොරොත්තුවත් වැට උඩ…?

219

දේශීය සහ අන්තර්ජාතික ගැටලූ ගණනාවකින් මේ දිනවල ජනතාව වැඩි අපහසුතාවට පත්ව තිබේ. රටේ අභ්‍යන්තර වශයෙන් ඇතිවී ඇති ඉන්ධන, ගෑස්, පොහොර, කිරිපිටි ආදී එකී මෙකී නොකී පෝලිම්වල ජනතාවට පොරකන්නට සිදුවී තිබේ. ඒ අතර පැය හය-හතක විදුලි කප්පාදුව ජන ජීවිතය කබලෙන් ළිපට තල්ලූ කිරීමට සමත්වී ඇත. තවද යුරෝපයේ ඇවිලෙන රුසියා – යුකේ‍්‍රන යුද්ධයත් ප‍්‍රධාන මාතෘකාවකි. මෙවැනි පසුබිමක දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද අර්බුද රැසක් අප හමුවේ තිබේ. ඒ නිසා අපට මේ මුළු මිහිතලයේම පැවැත්මට අභියෝගයක් වී ඇති ගෝලීය අර්බුදය පිළිබඳව අවධානය යොමුකිරීමට ඉඩක් වෙන්කර ගැනීම අපහසු වී තිබේ. නමුත් ඒ ගෝලීය අර්බුදය, නොඑසේනම් දේශගුණික විපර්යාසය අපි හිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව පසුගියදා සාක්ෂි සාධක සහිතව විද්‍යාත්මකව අනාවරණය විය. ඒ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change – IPCC) මගින් ඉකුත් පෙබරවාරි 28 වැනිදා නිකුත් කෙරුණු දේශගුණික විපර්යාස සඳහා හේතු, බලපෑම් සහ ප‍්‍රයෝගික විසඳුම් ඉස්මතු කෙරුණු නවතම වාර්තාව මගිනි. තැටිය හොඳටම රත්වී තිබේ. නමුත් කිසිවෙකුටත් වගේ වගක් නැත.

විද්‍යාඥයන් සහ පර්යේෂකයන් 270 කගෙන් පමණ සමන්විත එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ ක‍්‍රියාකාරී කණ්ඩායම් අංක දෙක මගින් නිකුත් කෙරුණු මෙම වාර්තාවේ සොයාගැනීම්වලින් පෙන්නුම් කරන්නේ දේශගුණික බිඳවැටීම බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සිදුවන බවත් පියවර ගැනීමට ඇති අවකාශය ඉතා වේගයෙන් පටුවෙමින් පවතින බවත්ය. එම නිසා මෙම වාර්තාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව කඩිනම් හා දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩු වලට සහ පෞද්ගලික අංශයේ ක‍්‍රියාකාරීන්ට දැඩි ලෙස බලකර සිටියි. නමුත් ලියුම්කරු ඉහත සඳහන් කළ හේතු නිසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මෙම වාර්තාව කෙරෙහි ප‍්‍රමාණවත් අවධානයක් යොමු වුණාද යන්න සැක සහිතය.

මිහිතලයේ ජීවත්වෙන මිනිසා ඇතුළු මුළුමහත් ජීවී සමූහයාටම මුහුණදීමට සිදුවී ඇති ගෝලීය අභියෝගය දේශගුණික විපර්යාසයයි. එය පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් එසේය. දේශගුණික විපර්යාසයේ බලපෑම් වලින් මේ පෘථිවි ගෝලයට දැනට සිදුවී ඇති සහ ඉදිරියේදී සිදුවීමට නියමිත ව්‍යසනයන් සමග සලකා බලන විට, රුසියා – යුකේ‍්‍රන යුද්ධයට ඊට අලගු තැබීමටවත් නොහැකිය. එවැනි පසුබිමක අප රට තුළ නිර්මාණය වී ඇති ප‍්‍රශ්න ගැටලූ පිළිබඳව කතාකර පලක් නැත. කුඩා නිවර්තන කලාපීය දූපත් රාජ්‍යක් ලෙස සහ දේශගුණික අවදානම් දර්ශකයේ ඉහළ ස්ථානයක සිටින රටක් ලෙස ශ‍්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් වලට නිරන්තරයෙන් ගොදුරු වෙමින් පවතින බව පරිසර අමාත්‍යාංශයේ දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය මගින් සකස්කර ඇති. ශ‍්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය මගින්ද අවධාරණය කරයි. නමුත් අපට තවමත් රටක්, ජනතාවක් ලෙස ඒ ගැන වගේ වගක් නැත. ඊට හේතුව අපේ දේශගුණික සාක්ෂරතාවයේ දොසක් මිස දේශගුණික විපර්යාසය බොරුවක් වීම නොවේ. මුහුද වේගයෙන් ගොඩබිම් ගිල ගනිද්දී, ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් උත්සන්න වෙද්දී, ගොවිතැන් පාළු වෙද්දී, වනජීවී – මිනිස් ගැටුම් ඔඩු දුවද්දී, රෝග පීඩා උත්සන්න වෙද්දී මිනිස්සුන්ට ඒ බව නොදැනෙනවා නොවේ. නමුත් මේ සියල්ල ලොව පුරා සිදුවන දේශගුණික විපර්යාසයේ බලපෑම් බව හඳුනා ගැනීමේ දේශගුණ සාක්ෂරතාව ඔවුන්ට ඇත්තේ නැත.

පසුගියදා නිකුත් වූ නවතම වාර්තාවේ තක්සේරුවට අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ බොහෝ බලපෑම් දැන් ‘ආපසු හැරවිය නොහැකි’ තත්ත්වයට පත්ව තිබේ. නමුත් එම වාර්තාවේ කතුවරුන් පවසන්නේ සිදුවිය හැකි මහා ව්‍යසනයන් වළක්වා ගැනීමට තවමත් කෙටි කාලයක් ඉතිරිව පවතින බවය. මිනිසුන් සහ ස්වභාවධර්මය දේශගුණික විපර්යාසයේ බලපෑම් වලට අනුහුරුවීමේ හැකියාවෙන් ඔබ්බට තල්ලූ වෙමින් සිටී. ලෝක ජනගහනයෙන් 40% කට වඩා වැඩි ප‍්‍රමාණයක් දේශගුණික විපර්යාසයේ බලපෑම්වලට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බව මෙම අඳුරු අධ්‍යයනයෙන් සාක්ෂි සහිතව පෙන්වාදී තිබේ. නමුත් දැනට පූර්ව කාර්මික යුගයට වඩා සෙල්සියස් අංශක 1.1 කින් ඉහළ ගොස් ඇති මිහිතලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට වඩා වැඩිවීම නවතා ගතහොත් එමගින් පුරෝකථනය කර ඇති අනතුරු අඩු කරගත හැකිවෙතැයි තවමත් බලාපොරොත්තුවක් තිබේ.

මෙම වාර්තාව සැබැවින්ම ලොව ප‍්‍රමුඛතම දේශගුණ පර්යේෂකයන්ගේ සමාලෝචන වාර්තා තුනෙන් දෙවැන්නය. ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී, පළමු වාර්තාවෙන් දේශගුණ පද්ධතියට මිනිසුන් විසින් ඇති කරන බලපෑමේ පරිමාණය ඉස්මතු කරනු ලැබීය. මෙම දෙවැනි වාර්තාවේ අරමුණ දේශගුණික විපර්යාස සඳහා හේතු, බලපෑම් සහ විසඳුම් දෙස ගැඹුරින් විමසා බැලීමය. එමගින් උණුසුම් ලෝකයක් මගින් මෙම පෘථිවියේ සියලූම ජීවීන්ට බලපෑම් එල්ලවන ආකාරය පිළිබඳ පැහැදිලිම අනාවරණය සිදුකර තිබේ. උණුසුම් වායු ධාරා හේතුවෙන් මිය යන මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි වීම වැනි ලෝකය දැනටමත් අත්විඳිමින් සිටින දරුණු ප‍්‍රතිවිපාක පිළිබඳ කරුණු දක්වා තිබේ. ගංවතුර සහ උණුසුම් වායු ධාරා වැනි දේශගුණික විපර්යාස සමඟ සම්බන්ධ වූ ආන්තික කාලගුණික තත්ත්වයන් පෙර තක්සේරු කිරීම්වලට වඩා දරුණු ආකාරයෙන් මිනිසුන්ට සහ අනෙකුත් ජීවී විශේෂවලට පහර දෙන බව පෙන්වාදී තිබේ. මිහිතලයේ වෙසෙන කිසිවෙකුටත් ඉන් මිදීමට හැකියාවක් නැත. නමුත් සමහරුන්ට වඩා දැඩි ලෙස පහර කෑමට සිදුවී තිබේ. මෙම වෙනස කෙරෙහි බොහෝ දුරට බලපා ඇත්තේ එම පුද්ගලයා ජීවත් වන ස්ථානය යි. උදාහරණයක් වශයෙන් 2010 සහ 2020 අතර, ලෝකයේ අනෙකුත් ප‍්‍රදේශවලට වඩා අප‍්‍රිකාව, දකුණු ආසියාව සහ මධ්‍යම සහ දකුණු ඇමරිකාව ඇතුළු ඉතා අවදානමට ලක්විය හැකි ප‍්‍රදේශවල ගංවතුර, නියඟ සහ කුණාටු හේතුවෙන් 15 ගුණයකින් වැඩි පිරිසක් මිය ගොස් තිබේ. වර්තමාන උණුසුම් මට්ටම ස්වභාවධර්මයටත් දැනටමත් බරපතළ ආකාරයෙන් දැනෙමින් පවතී. සාගර උෂ්ණත්වය ඉහළ යෑමෙන් කොරල්පර මිය යමින් පවතින අතර බොහෝ ගස් නියඟයට ගොදුරු වෙමින් තිබේ. වනජීවීන් බොහෝ පිරිසක් සදහටම මිහිතලයෙන් සමුගෙන ගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් වඳවීමේ දොරටුව අභියස සිටී.

නමුත් අවාසනාවට කරුණ නම් තමන්ගේ ජීවිතයට මෙතරම් බලපෑම් කරන දේශගුණ විපර්යාසය පිළිබඳව බොහෝ ජනතාව අඩු අවබෝධයක් ඇත්තන් වීමය. දේශගුණික විපර්යාස අවම කිරීම, අනුහුරුවීම සහ අලාභ හා හානි පූර්ණය පිළිබඳව පොදු ජනතාවට හොඳ දැනුමක් නැත. දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව වැනි වඩාත් තාක්ෂණික කරුණු ගැන කිසිසේත්ම අදහසක් නොමැති බව පැහැදිලි ය. ඊට හේතුව දේශීය භාෂා වලින් සන්නිවේදනය කරන සාතිශය බහුතරයක් ජනතාවගේ දේශගුණ සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක පැවතීමය. උදාහරණයක් වශයෙන් දේශගුණික විපර්යාස පිළිබඳව දැන ගැනීමට සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් සන්නිවේදනය කරන මෙරට පොදු ජනතාවට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවන් ය. දේශගුණික දැනුම බොහෝ දුරට ඉංග‍්‍රීසි භාෂාවෙන් ප‍්‍රකාශයට පත් වන අතර දේශීය භාෂාවන්ගෙන් විශ්වාසදායක හා යාවත්කාලීන දේශගුණික තොරතුරු නොමැති වීම හෝ සීමිත ප‍්‍රවේශයක් තිබීම ගැටලූවකි. එබැවින් දේශගුණික සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා භාෂාව ප‍්‍රභල බාධාවකි. මෙරට ඇතැම් ප‍්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පවා දේශගුණ විපර්යාසය’ යන වදන වෙනුවට කාලගුණ විපර්යාසය’ යන වදන භාවිතා කරනු ලියුම්කරු ඕනෑ තරම් අසා දැක තිබේ. නමුත් එකී ‘කාලගුණ විපර්යාසය’ යන වදනට කිසිදු අරුතක් ඇත්තේ නැත. එය ශ‍්‍රී ලංකාවට පමණක් නොව, එවැනි සදාකාලිකව සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට පොදු ධර්මතාවක් ලෙස ලියුම්කරු සිතමි.

සූර්ය කිරණ අපසරනය කිරීම හෝ වාතයෙන් කාබන් ඩයොක්සයිඞ් ඉවත් කිරීම වැනි තාක්ෂණික මැදිහත්වීම් දෝෂදර්ශනයට ලක්කරන වාර්තාව මගින් අවධාරණය කරන්නේ එමගින් තත්ත්වය වඩාත් නරක අතට හැරිය හැකි බවයි. එබැවින් හරිතාගාර වායු විමෝචනය විශාල ලෙස කපා හැර අනුහුරුවීම් සඳහා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම හැර ලෝකය හමුවේ වෙනත් විකල්පයක් නැත. එමගින් යම් ව්‍යසන ප‍්‍රමාණයකට අගුලූ දැමීමට හැකියි. නමුත් සාමූහික ගෝලීය ක‍්‍රියාකාරීත්වයේ තවදුරටත් සිදුවන සෑම ප‍්‍රමාදයක්ම සුරක්ෂිත ලෙස මේ මිහිතලයේ ජීවත්වීමට හැකි අනාගතයක් පිළිබඳව තබාගත හැකි පුංචිම පුංචි බලාපොරොත්තුවත් වේගයෙන් අපට අහිමි කරනු ඇති බව අවසන් වශයෙන් අවධාරණයෙන් ලියා තැබිය යුතුය.

සුපුන් ළහිරු ප‍්‍රකාශ්

advertistmentadvertistment
advertistmentadvertistment