දේශගුණික විපර්යාසය COP 26 සමුළුව

795

2070 වන විට බිලියන තුනකට අධික ජනතාවක් ”ජීවත් විය නොහැකි තරමේ” උෂ්ණත්වයක් සහිත ස්ථානවල වාසය කිරීමට සිදුවන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. හරිතාගාර වායු විමෝචනය අවම නොවන්නේ නම්, ඉදිරියේදී විශාල පිරිසකට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 29කට වඩා වැඩි දේශගුණයක් යටතේ දිවි ගෙවීමට සිදු වනු ඇතැයි මෙහිදී හෙළිව ඇත. 2019 යනු යුරෝපයේ වාර්තා වූ උණුසුම් ම වසරයි. ‘දේශගුණය’ යනුවෙන් හැඳින්වෙන්නේ වසර ගණනාවක් පුරාවට යම් ප‍්‍රදේශයක පෙන්වන සාමාන්‍ය කාලගුණය යි. මේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස්වීම ‘දේශගුණ විපර්යාසය’ යනුවෙන් හැඳින්වේ. ඒ අසාමාන්‍ය තත්ත්වයන් දැන් යථාර්ථයක් බවට පත්ව තිබේ. මේ වන විට ලෝකය අත්විඳින ශීඝ‍්‍ර දේශගුණ විපර්යාසයන් ඇතිවී තිබෙන්නේ මිනිසා විසින් සිය නිවෙස්, කර්මාන්තශාලා සහ ප‍්‍රවාහන කටයුතු සඳහා ඛනිජ තෙල්, වායු, සහ ගල් අඟුරු දහනය කිරීම නිසා ය. වර්තමාන ලෝකය 19 වැනි සියවසේ දී පැවතියාට වඩා සෙල්සියස් අංශක 1.2කින් පමණ උණුසුම් ය. එසේම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය එදාට සාපේක්ෂව 50%කින් ඉහළ ගොස් ඇත. පසුගිය කාලයේ චීනයේ, ජර්මනියේ, බෙල්ජියමේ, සහ නෙදර්ලන්තයේ සිදු වූ පරිදි, අධික වර්ෂාපතනය හේතුවෙන් පෙර නොවූ විරූ ගංවතුරක් ඇතිවීම දැකගත හැකි ය. එහිදී සිදු වූ ජීවිත හා දේපල හානිය ප‍්‍රබලය. මේ නරක විපර්යාසවලට එරෙහිව නිසි පියවර නොගතහොත් මෙම සියවස අවසන් වන විට සත්ත්ව විශේෂ 550ක්වත් වඳවී යා හැකි බව විද්‍යාඥයෝ මත පළ කරති.

 ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර දී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුළුව මේ දිනවල පැවැත්වෙන්නේ ද මේ අර්බුදයෙන් ලෝකය ගලවා ගැනීමට එකඟතාවයක් ඇති කර ගැනීම සඳහාය. ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් නියෝජනය කරන 25,000ක් පමණ දෙනා ග්ලාස්ගෝ සමුළුවට එක්ව සිටීති. ශ‍්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද COP26 සමුළුවට සහභාගී වූ අතර ”නයිට‍්‍රජන් ගැන පසුවිපරම: දේශගුණික විපර්යාස, සෞඛ්‍යය, ජෛව විවිධත්වය සහ චක‍්‍රීය ආර්ථිකය පිළිබඳ විසඳුම් සහ සහසබඳතා” යන මාතෘකාව යටතේ පසුගිය 31 වැනිදා එම සමුළුව ඇමතීය. දේශගුණික විපර්යාස සියලූ ජාතීන්ට බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින දූපත් ජාතීන්ට අසමාන ලෙස බලපාන බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය. ”2030 වන විට අපි අපගේ කාබන් අවශෝෂණ හැකියාව 7%කින් වැඩි කිරීමට මුලපුරා ඇති අතර, ජාතික වන ආවරණය ඉහළ නැංවීමට ද ප‍්‍රමුඛත්වය දී සිටින බවත් 2030 වන විට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ගෙන් සපුරා ගන්නා බව ද, පොසිල ඉන්ධන භාවිතය ක‍්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගනිමින් සිටිනා බවත් ප‍්‍රකාශ කළේ ය. ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය 100%ක් කාබනික කිරීම ගැන විස්තර කළ ජනපතිවරයා එම ප‍්‍රයත්නය බොහෝ ඇගයීමට මෙන්ම යම් විවේචනයන්ට සහ ප‍්‍රතිරෝධයකට ද මුහුණ දී ඇතැයි ප‍්‍රකාශ කර සිටියේය. එතුමාගේ කාබනික වෑයම සැබවින්ම අගය කළ යුතුය. මෙය යහපත් අනාගතයක් වෙනුවෙනි. මේවාට එරෙහිව කුඹුරේ කවි කියන්නේ දේශපාලන අරමුණු ඇති පුද්ගලයින්ම පමණකි. COP26 සමුළුව අමතමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ වසර 2070 වන විට කාබන් ශූන්‍යත්වය ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවයි. ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වසර 2050 වන විට කාබන් ශූන්‍යත්වය ළඟා කර ගන්නා බවට ප‍්‍රතිඥා දුන් අතර චීනය කාබන් ශූන්‍යත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ 2060 වසරේදීය. ඇත්තෙන්ම දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට හැකි වන්නේ එක්ව වැඩ කිරීමෙන් පමණක් බව බොහෝ රටවල් එකඟ වන අතර, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් වැඩිනොවි තබා ගැනීමට උත්සාහ කරන බවට මීට වසර හයකට පෙර එනම් 2015 වසරේ පැරිසියේ දී ලෝක ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඔවුහු ප‍්‍රතිඥා දුන්හ. තවමත් වෙහෙසෙන්නේ ඒ සදහාය.

advertistmentadvertistment
advertistmentadvertistment