දේශගුණික විපර්යාස අපට බලපාන හැටි

295

මහාචාර්ය ඒ. ජී. අමරසිංහ භූගෝල විද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය

දේශගුණික වෙනස්කම්වලින් හිතකර ප්‍රතිඵල මෙන්ම අහිතකර ප්‍රතිඵල ලැබේ. ලංකාවට වර්ෂාපතනය වැඩි වශයෙන් ලැබෙන නිරිත දිග කලාපයේ ගාල්ල, මාතර, කළුතර, කොළඹ, ගම්පහ, කෑගල්ල මෙම ප්‍රදේශවලට වැඩි වශයෙන් වර්ෂාපතනය ලැබේ. නමුත් මේ තත්ත්වය මෑතක සිට මෙම ප්‍රදේශවලින් ඔබ්බට ගිය අනුරාධපුර, අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවලටත් වර්ෂාපතනය ලැබේ. ලංකාවට වර්ෂාපතනය ලැබුණ විට මාස දෙක, තුනක් ගංගාවල, වැව්වල ජලය මහජනතාවට ප්‍රයෝජනයට ගැනීමට හැකිය. නමුත් වැස්ස ලැබී කෙටි කාලයකින් පසු ගස් වියළීමට පත්ව නියං තත්ත්වයක් හටගනී. එනම් මේ වනවිට පෙර නොවූ අයුරින් ජලය වාෂ්පීකරණය වන ප්‍රමාණය වැඩි වී ඇත. ජලය වායුගෝලයට උරා ගැනීම පෙරට වඩා වැඩි වී ඇත.

මෙවැනි දේශගුණික විපර්යාස සිදුවීමට විශේෂයෙන් හේතු වී ඇත්තේ වායුගෝල සංයුතියේ කාබන් ඩයොක්සයිඩ්, මීතෙන්, ජල වාෂ්ප, දූවිලි අංශු වැනි වායු වායුගෝලීය උෂ්ණත්වය වැඩිපුර උරාගන්නා සංඝටක වැඩිවීමයි. මේවා අපි හරිතාගර වායු හෙවත් Greenhouse gases ලෙස හඳුන්වයි. වර්තමානයේදී සංවර්ධනය හා දියුණුව යන ක්‍රියාවලීන් මගින් එවැනි වායු වර්ග වැඩි වශයෙන් වායුගෝලයට මුදාහැරීම වැඩි වී ඇත. වර්ෂ 1700 පසුව ක්‍රමානුකූලව වායුගෝලයේ සංයුතියේ වෙනසක් වී ඇත. කාර්මික විප්ලවය ඇතුළු මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා හරිතාගර වායු වර්ග වායුගෝලයට බරපතළ ලෙස ඇතුළු වී ඇත. කාබන් ඩයොක්සයිඩ්, ක්ලොරොපෝරෝ කාබන්, දූවිලි සහ විෂ සහිත දුම් වායු ගෝල සංයුතියට ඇතුළු වී ඇත. වර්ෂ 1700 පමණ ක්‍රමානුකූලව වැඩි වුවත් 1950 පමණ පසුව එය ඉතා ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. මේ ආකාරයේ අහිතකර වායූන් වායුගෝලයේ එකතු වීම හරහා වායුගෝලය අධික ලෙස රත්වීමකට ලක්වේ. එම නිසා වායුගෝලය වැඩි වශයෙන් ජලවාෂ්ප උරාගනු ලබයි. එලෙස උරාගනු ලබන ජලවාෂ්ප වර්ෂාව ලෙස පෘථිවියට ලැබේ.

වායුගෝලයේ සංයුතිය වෙනස් වීමට ඍජු ලෙස බලපාන්නේ මානව ක්‍රියාකාරකම් ය. එයට වැඩි වශයෙන් දායක වී ඇත්තේ සංවර්ධිත රටවල් වේ. ඔවුන් සංවර්ධනය උදෙසා කළ කී දෑ මෙයට බලපා ඇත. වර්ෂ 1972 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් මේ දේශගුණය අහිතකර ලෙස වෙනස් වී පිළිබඳ වූ සාකච්ඡාව ආරම්භ විය. ඉන් අනතුරුව වර්ෂ 1992 පැවති මිහිකත සමුළුව මඟින්ද දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා කර ඇත. ලංකාවේ ද දේශගුණික විපර්යාස ඇති වීමට හේතුවන වායු වර්ග අඩු වැඩි වශයෙන් මුදා හරිනු ලබයි. මෙය වළක්වා ගැනීම සඳහා ලංකාවේ රථවාහන සඳහා දුම් සහතිකයක් හඳුන්වා දුනි. ලොව පුරා හරිතාගර වායු වර්ග පිටවෙන ඉන්ධන දහනය අධික වන රථවාහන භාවිතය අවම කිරීමට කටයුතු කරන අතර ඉන්ධන දහනය අවම හෝ ඉන්ධන දහනය නොවන හයිබි්‍රඩ් හෝ විද්‍යුත් වාහන භාවිතයට යොමු වී ඇත.

කෘෂිකාර්මික රටක් වන මෙරට කෘෂිකර්මාන්තය සංවේදී වන්නේ වර්ෂාපතනය සහ නියඟයටයි. වර්ෂාපතනය ලැබෙන කාලය, ප්‍රමාණය, සහ තීව්‍රතාව ක්ෂණික වෙනස් වීම වගාවන්වලට අහිතකර ලෙස බලපානු ලබයි. නියඟය පැමිණෙන කාලය, කාලයේ ප්‍රමාණය වෙනස් වූ විට ජනතාව පීඩාවට පත්වේ. වර්ෂාපතන නොනවත්වා ලැබීම නිසා බොහෝ ප්‍රදේශ ගංවතුරට මුහුණ දේ. ගංවතුර නිසාද වගාවන් අහිමි වේ. මීට අමතරව අධික වර්ෂාපතනය නිසා බොහොමයක් ප්‍රදේශ නායයෑම්වලට භාජන වේ. මේ සියල්ල සිදු වන්නේ දේශගුණික විපර්යාස නිසාම නොවේ. එහෙත් නායායෑම් හා ගංවතුර වැනි උපද්‍රව මේ ආකාරයට වැඩිවීම හා තීව්‍ර වීමට දේශගුණ විපර්යාසය ඝෘජුවම හේතුවී ඇත. වර්තමානයේ මාතර නිල්වලා ගඟ නිසා හටගෙන ඇති ගංවතුර තත්ත්වය නිසා ගංවතුරට යටවූ නිවාස ප්‍රමාණය, වගාබිම් විනාශවීම මිල කළ නොහැක. නිවසේ වහලය මට්ටමට ගංවතුරට යටවූ විට නිවසේ සියල්ල විනාශයට පත්වේ. මෙම තත්ත්වයට මැදිහත්වීමට මෙම තත්ත්වය නිසා මහා විනාශයක් සිදු වී තිබේ. මෙය වසර 10 කින් හෝ නැවත යථා තත්ත්වයට පත් කිරීමට ඇති හැකියාව අල්පය.

දැනට භූගෝල විද්‍යා විද්‍යාඥයන් ඇතුළු අදාළ වකවානුවල විද්වතුන් සතුව පවතින දත්ත හා තොරතුරු අනුව ‘දේශගුණික විපර්යාසය’ නතර කළ නොහැකිය. නමුත් මෙයින් සිදුවන හානිය අවම කරගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සහ මෙයට අනුගත වීම සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panal on Climate Change) IPCC මඟින් අවශ්‍ය දැනුම ලොවට ලබාදී ඇත. මෙම සංවිධානය මඟින් ලොවපුරා රටවල රාජ්‍ය නායකයන් සහභාගි කරවා ගනිමින් දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්නේ කෙසේද සහ හානිය අවම කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරයි. මෙම සමුළුවේ 27 වෙනි සමුළුව ‘COP 27′ ලෙස පසුගිය දිනක පැවැත්වුණි. මේ සඳහා අපේ රට නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි විය.

දේශගුණික විපර්යාසවලින් සිදුවන හානිය යම්තාක් දුරකට අවම කරගැනීමට අපිට හැකියාව ඇත. ගංවතුරවලට නිරන්තරයෙන් යොමුවන ප්‍රදේශවල නිවාස ඉදිකිරීමෙන් වැළකිය යුතුයි.

ගංවතුර ඇතිවන උපරිම උස ප්‍රමාණය අඩි දහය නම් අඩි දහයට වඩා ඉහළ ප්‍රදේශවල ඉදිකිරීම් කළ හැකිය. අන්තර්ජාතික ජල පර්යේෂණ ආයතනයේ (International Water Management Institute) ආචාර්ය ලාල් මුතුවත්ත මහතා විසින් ලංකාවට බලපාන දේශගුණික විපර්යාසවල බලපෑම නිසා ලංකාවේ තෙත් දේශගුණික කලාපය 11% කින් වැඩි වන බව ප්‍රකාශ කර ඇත. දැනට වියළි කලාපයේ තිබෙන අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මඩකළපුව යන ප්‍රදේශවලට වෙන වසරවලට සාපේක්ෂව වර්ෂාව ලැබීම අපට දැකගත හැකිය. මෙම වර්ෂාපතනය 2050 පමණ වනවිට වැඩි වන බවට පුරෝකථනය කර ඇත. මොණරාගල වියළි කලාපීය ප්‍රදේශයක් වුවත් මේ වනවිට රබර්, අන්නාසි වැනි බෝග වගාව ආරම්භ කර තිබේ. ඔවුන් ඒ හරහා හොඳ අස්වැන්නක් ලබාගනී. එසේම ගම්මිරිස්, රබර්, අන්නාසි වගේ බෝගයන් හඳුන්වා දෙන්න පුළුවන්. මේ දේශගුණික විපර්යාසය හේතුවෙන් වර්ෂාව වැඩිවන ප්‍රදේශ, වර්ෂාපතන අඩුවෙන් ලැබෙන ප්‍රදේශ තිබිය හැක. ඒ හරහා

ගංවතුර අවදානම මෙන්ම නියඟ වැඩි විය හැකිය. මේ කාරණය තේරුම් ගෙන එයට අනුගත වීමට පොදු ජනතාව සූදානම් කළ යුතුයි. රජය විසින් පොදු ජනතාව සූදානම් කිරීමේ වගකීම බාර ගත යුතුයි.

ජාතියක් විදිහට මෙයට මුහුණ දීමේ අවශ්‍යතාවක් පවතියි. නමුත් මෙය ඉතා සුළුපටු කාර්යක් නොවේ. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල සිටින ගොවීන් දැනුවත් කළ යුතුයි. නමුත් අප විසින් සිදු කරන්නේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වල රැස්වීම්, සාකච්ඡා පැවැත්වීම පමණය.

ගංවතුර, නියං කාලවල විපතට පත් වූවන්ට ආධාර ලබා දෙනවා විනා එහාට සාකච්ඡාවක් සිදු නොකරයි. නැවත ඒ පිළිබඳ සාකච්ඡා කරනුයේ නැවත ගංවතුරක් හෝ නායයෑමක් සිදු වූ විටයි.

සාකච්ඡා සටහන – රුවන් පුෂ්පකුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment