දේශගුණික විපර්යාස හමුවේ ලෝකයේ අනාගතය ග්ලාස්ගෝ හා ශ්‍රී ලංකාව

239

ගෝලීය උණුසුම (Global Warming), දේශගුණික විපර්යාස (Climate Change), හරිතාගාර වායුන් (Green House GAS) හරිතාගාර ආචරණය (Green House Effect), ස්වභාවික අපදා (Natural Disaster), දේශගුණික අනාථයින් (Climate Refugees) වැනි වදන් රාශියක් පසුගිය දශක 2-3 තුළ අපේ වදන් කෝෂයට එකතුවී ඇත්තේ ලෝකයම පාරිසරික අනතුරකට ගොදුරු වී ඇති නිසාය. ලෝක කාර්මික විප්ලවයේ ප‍්‍රතිඵලයක් ලෙස වැඩි වැඩියෙන් පොසිල ඉන්ධන දහනය, වනාන්තර හායනය නිසා මෙසේ ගෝලීය උණුසුම ඉහළ ගොස් ඇති අතර, එහි නියත ප‍්‍රතිඵලය දේශගුණික විපර්යාසයන්ට ලෝකය ගොදුරු වීමය. දැනටමත් අප අත්දකින දේශපාලන විපර්යාසයන්ට ගොදුරුවීමය. නිමක් නැති ගංවතුර, අනෝරා වැස්ස, නාය යෑම්, අකුණු අනතුරු, නියඟ, පානීය ජල හිඟකම, ආහාර නිෂ්පාදනය බිඳවැටීම, ජෛවවිවිධත්ව හායනය, ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළයාම, දූපත් යටවීම වැනි දරුණු ව්‍යසනයකට ලෝකය ගොදුරු වී ඇත්තේ මිනිසාගේම අමනෝඥ ක‍්‍රියාකලාපය හේතුවෙනි.

එබැවින් ලෝකය අද මානවයා ඇතුළු සියලූ ජීවීන්ට කුමන මොහොතේ හෝ මරණය කැන්දන විනාශයේ තෝතැන්නක් බවට පත්ව තිබේ. එය කෙතරම් බියකරු තත්ත්වයක්ද යත්, අද දිනයේ සිට ලෝකය සම්පූර්ණයෙන්ම පොසිල ඉන්ධන දහනය නවතා දැමූවත් තවත් අවුරුදු 100 ක් දක්වාවත් අනතුරු කැන්දාගෙන එන්නට තරම් මේ දක්වා මිනිසා විසින් සිදුකර ඇති විනාශය බලවත් බව පිළිගැනීමයි.

එසේනම්, තවදුරටත් මිහිතලය උණුසුම් වීම වළකාගනිමින් හා මේ දක්වා සිදුකර ඇති විනාශයෙන්ද ලෝකය ගලවා ගැනීම ප‍්‍රශ්නයට විසඳුම ලෙස දැන් ලෝකයම පිළිගත් සත්‍යය වේ. මේ සඳහා වසර ගණනාවක සිට (වසර 50 ක් පමණ) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම මත ලෝක නායකයින් එක්රැස් කර ගන්නා ලද තීන්දු, තීරණද ගංවතුරේම ගසා ගෙන ගියේය.

එනමුත්, 2015 වසරේ ප‍්‍රංශයේ පැරිස් නුවරදී පැවති පාර්ශ්වකාර රටවල 21 වැනි සමුළුවේදී දේශගුණික විපර්යාස අවම කරගැනීම සඳහා ඇතිකර ගන්නා ලද එකඟතා යම් ඵලදායි තත්ත්වයකට පැමිණියේය. පැරිස් සම්මුතිය නම් වන මෙහිදී තිරසර සංවර්ධන අරමුණු සහ ඉලක්ක (Sustainable Goals and Targets) සඳහා එකඟතාවක් ඇතිකර ගන්නා ලදී. ඒ අනුව ශ‍්‍රී ලංකාවද පාර්ශ්වකරුවන් 195 ක් අතර තවත් එක් පාර්ශ්වකරුවකු බවට පත්ව සිටී. එපමණක් නොව තිරසර සංවර්ධන ඉලක්ක හා අරමුණු ඉටුකිරීම සඳහා ද බැඳී සිටී.

දේශගුණික විපර්යාස හමුවේ ලෝකයේ අනාගතය ග්ලාස්ගෝ හා ශ්‍රී ලංකාව

මේ වන විට ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැත්වෙන රටවල් 195 ක් වන දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 26 වැනි සමුළුවේදී (United Nations Framework Convention on Climate Change – UNFCCC – 26th Conference of the Parties – COP 26) තවදුරටත් දේශගුණික විපර්යාස අවම කර ගැනීම (Adaptation) හා අනුහුරුවීම (Mitigation) සඳහා වන තමන්ගේ ඉලක්ක යාවත්කාලීන කරගැනීම සඳහා පාර්ශ්වකරුවන්ගේ ක‍්‍රියාකලාපය අවධාරණය කෙරෙන අතර, මෙවර හා 2015 දී ප‍්‍රංශයේ පැවති පාර්ශවකරුවන්ගේ 21 වැනි සමුළුවෙන්ද අවධාරණය කර සිටින්නේ මිනිසුන් ඇතුළු මුළුමහත් ජීවී සමූහයාටම මෙම පෘථිවි ගෝලයේ යහතින් ජීවත්වීමට අවශ්‍ය නම් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමෙන් මිහිතලයේ උෂ්ණත්වය වැඩිවීම පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව අංශක 1.5 ක සීමාවේවත් පවත්වාගෙන යෑමේ ඉලක්ක 2025 හෝ 2030 වන විට සපුරාලීය යුතු බවය. සැබවින්ම මෙය ඉතා අපහසු ඉලක්කයක් වී ඇත්තේ තවදුරටත් බලගතු කාර්මික රටවල් තම කර්මාන්ත ඇතුළු කාර්මික ක්ෂේත‍්‍රය සඳහා භාවිත කෙරෙන පොසිල ඉන්ධන දහනය අවම කිරීම සඳහා දක්වන කුසීත බව හා උදාසීන භාවයයි. එනම්, කාර්මික බලවතුන් තම රටවල කාබන් පියසටහන් (Carbon Footprint – එනම්, නිශ්චිත කාලයකදී එක් පුද්ගලයකු විසින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය) අවම කරගැනීමට අකමැති වීමයි. නමුත් සැබෑව නම් ඒ අකමැති වීම පසෙක ලා ලෝකය රැකගැනීමට වහාම ක‍්‍රියා කළ යුතුව ඇති බවයි.

එසේ හෙයින් උෂ්ණත්වය තවත් සෙන්ට්ග්‍රෙඞ් අංශක 1.5 කින් ඉහළ යෑමට නොදී රැකගන්නට නොහැකි වුවහොත්, ග්ලැසියර (අයිස් කඳු) දියවී ගොඩබිම් යටවනවාට අමතරව, පෙරකී ස්වභාවික ආපදාවන්ට ගොදුරුව, අප බොහෝ දෙනකු දේශගුණික අනාථයින් බවට පත්වීම නොවැළැක්විය හැකි වනවා අතරම, ඒ දක්වාම කොවිඞ් වසංගතය වැනි මාරාන්තික වසංගතද පැතිර යන්නේ නම් මොනතරම් දුක්ඛිත තත්ත්වයක් ඇතිවන්නේද යන්න අමුතුවෙන් කිව යුත්තක් නොවනු ඇත.

මේ වගකීම දරාගෙන 2015 වසරේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කරන ලද පැරිස් සම්මුතියෙන් පසු, අපගේ මීළඟ පාර්ශ්වකාර නායකයා ලෙස ග්ලාස්ගෝ සමුළුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවන අතර, එහි රාජ්‍ය නායක සමුළුවේදී එතුමන් විසින් ශ‍්‍රී ලංකාවට හා ඒ ඔස්සේ ලෝකයට අදාළ ප‍්‍රවාහන, බලශක්ති, කෘෂිකාර්මික, වන සංරක්ෂණ යනාදී තිරසාර සංවර්ධන ක‍්‍රියාමාර්ග රැසක් පිළිබඳ අවධාරණය කරන ලදී. පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ආරම්භ කරන ලද සමුළුව එළැඹෙන (නොවැම්බර්) 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරයා, එම ලේකම්වරයා ඇතුළු විද්වත් කණ්ඩායමක් සහභාගී වී සිටිති. නමුත් ප‍්‍රශ්නයකට ඇත්තේ මෙවන් සමුළු කටින් බතල කොළ සිටුවන කතා මලූ බවට බොහෝ විට පත්වන නමුත්, සැබැවින්ම ගෝලීය උණුසුම්වීම (පාර්ශ්වකරුවන් හා එකඟවී ඇති ඉලක්ක ජයගැනීම) වැළැක්වීමට අදාළ පියවර මේ පාර්ශ්වකාර රාජ්‍යයන් තුළ ක‍්‍රියාවෙන් සිදුවන්නේ දැයි පසක් කිරීමය. ශ‍්‍රී ලංකාව මිම්මක් ලෙස ගෙන (ශ‍්‍රී ලංකාව අභ්‍යන්තරයේ සිදුවීම) ඇත්තටම ලෝකයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මනින්නටද අවශ්‍යනම් මේ අනුව අපට හැකිය. නොහොත් ශ‍්‍රී ලංකාව අවංකවම මේ සඳහා කැපවී ක‍්‍රියාකරන්නේද යන්න අප විසින්ම ස්වයං ඇගයීමකට ලක්කරගත යුතුවේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment