දේශගුණ විපර්යාසයේ උණුසුමෙන් හිරිවැටීම

76

දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශවකරුවන්ගේ 26 වැනි සැසි වාරය (COP 26)  තවමත් ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නගරයේදී පැවැත්විණි. දේශගුණ විපර්යාසය අවම කිරීම සඳහා වන ලෝක නායකයින්ගේ ප‍්‍රතිඥා සමුළුව පුරා රැුව් පිළිරැව් දුන්නත් ඒවා ප‍්‍රායෝගික තලයේ ක‍්‍රියාවට නැංවීම පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තබා ගැනීම අපහසු බව අතීතය දෙස හැරී බැලීමේදී පැහැදිලිවම පෙනේ. කවුරු කොහොම ප‍්‍රතිඥා දුන්නද පසුගිය අතීතය පුරාවටම සිදු වූයේ එකී පොරොන්දු ගෝලීය දේශපාලන බල අරගලයේ සහ සැඟවුණු න්‍යාය පත‍්‍රවල ගොදුරු බවට පත්වීම පමණි. ඒ කෙසේ වෙතත් මේ ගතවෙන සෑම තත්පරයක් පාසාම අපගේ වායු ගෝලයට එකතුවෙන හරිතාගාර වායුන් මගින් දේශගුණ විපර්යාසය උත්සන්න වීම නම් අඛණ්ඩව සිදුවෙන බව අප මේ මොහොතේද රටක් ලෙස අත්විඳිමින් සිටින අයහපත් කාලගුණ තත්ත්වයන් මගින් පසක් කරදේ.

 මෙවර සමුළුවේදී 2030 වසර වන විට වන විනාශය අවසන් කිරීමට සහ ආපසු හැරවීමට ලෝක නායකයින් 100කට වැඩි පිරිසක් පොරොන්දු වීම පිළිබඳ විශාල කතිකාවක් ඇති විය. ඇමේසන් වැසි වනාන්තරය විශාල වශයෙන් වනසා දමමින් සිටින බ‍්‍රසීලයත් පසුගිය අඟහරුවාදා (02) ඇතිකරගත් එකී එකඟතාවයට අත්සන් කළ රටවල් අතර සිටී. සමුළුවේ සත්කාරකත්වය සපයන එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ ”වෙන කවරදාටත් වඩා නායකයින්” – සමස්තයක් වශයෙන් 128 ක් මෙම ”කඩයිම්” කැපවීම කර ඇති බවයි. ”අපගේ විනාශකාරී වනාන්තර හායනය නැවැත්විය යුතුයි” සහ ”සොබාදහමේ ජයග‍්‍රාහකයා” ලෙස මිනිසාගේ කාර්යභාරය අවසන් කර, ඒ වෙනුවට ”සොබාදහමේ භාරකරු බවට පත් විය යුතුයි” ඔහු වැඩිදුරටත් පවසා තිබුණි. එම වදන් දේශගුණ විපර්යාසයේ වියරුව පිළිබඳ සැබෑ අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට අස්වැසිල්ලකි. නමුත් එම එකඟතා කාලයේ වැලි තලාවේ සැඟවී යෑමට ඉඩ නොදී යථාර්ථයක් කරගැනීමේ වගකීම අප හැම දෙනෙකුටම තිබේ.

 තවද මෙහිදී අප සියලූ දෙනාට ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පිළිබඳව කුකුසක් ඇතිවීම ස්වභාවිකය. සැබැවින්ම එසේ 2030 වසර වන විට වන විනාශය අවසන් කිරීමට සහ ආපසු හැරවීමට පොරොන්දු දී ඇති ලෝක නායකයින් අතර මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද වෙයි. නමුත් ඔහු එසේ ලෝකය හමුවේ වන විනාශය ආපසු හරවන බවට ප‍්‍රතිඥා දෙන්නේ ඉතාම මතභේදාත්මක පරිසරයක බව අමුතුවෙන් කිවයුතු නැත. ‘සෞභාග්‍යයේ දැක්ම’ රාජ්‍ය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් ආකාරයෙන් 2030 වසර වන විට ශ‍්‍රී ලංකාවේ වනගහනය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන්නේ සියයට තිහ දක්වාය. නමුත් එසේ තිබියදී එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාසය පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවකු වශයෙන් ශ‍්‍රී ලංකාව 2030 වසර වන විට මෙරට වනගහනය සියයට තිස් දෙක දක්වා ඉහළ දැමීමට අවස්ථා දෙකකදී ලෝකයා හමුවේ පොරොන්දු දී ඇති බව අප මින් පෙරද පැහැදිලිව සඳහන් කෙළෙමු. එය වන සංරක්ෂණය සහ වන හායනය පිටුදැකීම පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තියේ බරපතල පරස්පරයකි.

 ශ‍්‍රී ලංකාවේ සමස්ත වන ආවරණය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 වසරේ අවසන් ඇස්තමේන්තුව අනුව මෙරට වන ආවරණය දිවයිනේ මුළු බිම් ප‍්‍රමාණයෙන් 29.7% කි. නමුත් එම වනාන්තර ප‍්‍රමාණය 2021 වනවිටත් අපේ රටේ ඉතිරි වී ඇතැයි සිතීම මුලාවක් පමණි. පශ්චාත් යුද සමයේ මෙරට වනාන්තරවලට අත්වූ ඉරණම අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැත. එසේම 1/2020 චක‍්‍රලේඛය සහ ඉන් පසුව 2/2021 චක‍්‍රලේඛ නිකුත් කිරීම මගින් ශ‍්‍රී ලංකා රජය අනෙකුත් රජයේ වනාන්තර ලෙස වර්ගීකරණය කෙරුණු වනාන්තර ඉඩම් හෙක්ටයාර් 500,000 කට ආසන්න ප‍්‍රමාණයක ආරක්ෂාව ඉවත් කර ඒවා සංවර්ධන කටයුතු සඳහා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට භාර දීමට කටයුතු කළේය. ඉඩම් කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද නවතම චක‍්‍රලේඛය මගින් වන හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවල අදහස් ලබා නොගෙන එම දෙපාර්තමේන්තු මගින් පරිපාලනය වන භූමි තුළ පතල් කැණීමට අවසර ලබාදී ඇත. දේශපාලන ආධාරකරුවන් විසින් දිවයින පුරා සිදුකරන නීති විරෝධී කැලෑ ඉඩම් අත්පත්කර ගැනීම ද මෙතෙක් නිමවී නැත. එවැනි පසුබිමක් තුළ වනාන්තර සංරක්ෂණය සම්බන්ධයෙන් මෙරට ජනාධිපතිවරයා ජාත්‍යන්තරය හමුවේ ලබාදී ඇති පොරොන්දු හුදු ප‍්‍රලාප පමණක් බව බොහෝ දෙනෙකුට සිතෙන්නට බැරි නැත.

 තවද ලියුම්කරුට මේ මොහොතේ ”ලොව පුරා විද්‍යාඥයින් විසින් දේශගුණ තදියමක් (Climate Emergency) පිළිබඳව අනතුරු අඟවයි” මැයෙන් 2020 වසරේ සිදුකළ විද්‍යාත්මක විග‍්‍රහය සිහියට නැගෙයි. BioScience විද්‍යා සඟරාවේ ප‍්‍රකාශයට පත්කෙරුණු එම විග‍්‍රහයට රටවල් 153කට අයත් විද්‍යාඥයින් 11,263 දෙනෙක් දායකත්වය ලබාදී තිබුණි. එය එම අවධියේත් දේශගුණ විපර්යාසය පිළිබඳව උන්දුවක් දක්වන ලොව පුරා බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූ මාතෘකාවක් විය. මෙම වසරේදීත් නැවතත් එම දේශගුණ තදියම පිළිබඳව අනතුරු ඇඟවීම තවත් අලූතෙන් එකතුවූ විද්‍යාඥයින් 2,800 කට වැඩි පිරිසකගේ මැදිහත්වීමෙන් නැවතත් ප‍්‍රකාශයට පත් කිරීමට ඊසදීජසැබජැ විද්‍යා සඟරාව පසුගිය සැප්තැම්බර් මාසයේ කටයුතු කළේය. එහිදීත් නැවත නැවතත් ඔවුන් දේශගුණික විපර්යාසය ආමන්ත‍්‍රණය කිරීම සඳහා මානව වර්ගයාගේ සුළු ප‍්‍රගතියක් සමඟ ඉතා භයානක ප‍්‍රවණතා පෙන්නුම් කරන විග‍්‍රහයන් ඉදිරිපත් කර තිබේ. මානව වර්ගයාට දේශගුණ විපර්යාසය හේතුවෙන් ඕනෑම මොහොතක එල්ල විය හැකි ව්‍යසනකාරී තර්ජනයක් පිළිබඳව පැහැදිලිව අනතුරු ඇඟවීමක් අන්තර්ගත එමගින් අදාළ විද්‍යාඥයින් පරිවර්තනීය වෙනසක් ඉල්ලා සිටිති.

 රටවල් 34 ක පරිපාලන ප‍්‍රදේශ 1,990 ක් මේ වන විටත් විධිමත් ලෙස දේශගුණික හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත් කර හෝ පිළිගෙන තිබේ. දේශගුණ විපර්යාස හේතුවෙන් එල්ලවන බලපෑම් නිසා මෙම මිහිතලය මත ජීවත්වීම 1970 දශකයට වඩා පස් ගුණයකින් අවදානම් සහගත වී ඇති බව ලෝක කාලගුණ සංවිධානය ප‍්‍රකාශ කර තිබේ. 1970 දශකයේ ගංවතුර, නියඟ, කුණාටු හා උණුසුම් වායු ධාරා වැනි විපත් 743ක් මගින් පෘථිවියේ ජනතාවට බලපෑම් එල්ලවී ඇති අතර විසිඑක්වැනි සියවසේ මුල් දශකය වනවිට එම විනාශයන් ප‍්‍රමාණය 3496ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම සංවිධානය අනාවරණය කරන අතර ඒ සඳහා දේශගුණ විපර්යාසය සෘජුව වගකිව යුතු බව ඔවුන් තහවුරු කර තිබේ. ඒ අතරම 2019 වසරේ සිට දේශගුණික විපර්යාසය සම්බන්ධ ව්‍යසනවල පෙර නොවූ විරූ වැඩිවීමක් දක්නට ලැබේ. දකුණු ඇමරිකාවේ සහ අග්නිදිග ආසියාවේ විනාශකාරී ගංවතුර, ඔස්ටේ‍්‍රලියාවේ සහ බටහිර එක්සත් ජනපදයේ වාර්තාගත උණුසුම් වායු ධාරා සහ ලැව්ගිනි, අසාමාන්‍ය අත්ලාන්තික් සුළි කුණාටු සහ අප‍්‍රිකාවේ, දකුණු ආසියාවේ සහ බටහිර පැසිෆික් කලාපයේ විනාශකාරී සුළි සුළං සහිත සමයක් අප ගෙවා දමමින් සිටිමු. තවද බටහිර ඇන්ටාක්ටික් සහ ග‍්‍රීන්ලන්ත අයිස් තට්ටු, උණුසුම් ජල කොරල්පර සහ ඇමසන් වැසි වනාන්තර ඇතුළු පෘථිවි පද්ධතියේ තීරණාත්මක කොටස් විනාශයට පත්වීම සම්බන්ධ බරපතල කඩයිම් වෙත අප ළංව සිටින බවට හෝ දැනටමත් ඉක්මවා ඇති බවට ප‍්‍රබල සාක්ෂි තිබේ. මෙම භයානක ප‍්‍රවණතා සැලකිල්ලට ගෙන, අපට දේශගුණික හදිසි අවස්ථා පිළිබඳ කෙටි කාලීන, නිරන්තර සහ පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි යාවත්කාලීන තොරතුරු අවශ්‍ය වී තිබේ.

 මිනිසුන් ඇතුළු මුළුමහත් ජීවී සමූහයාටම මෙම පෘථිවි ගෝලයේ වර්තමාන මට්ටමින් හෝ ජීවත්වීමට අවශ්‍ය නම් මිහිතලයේ උෂ්ණත්වය වැඩිවීම පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව අංශක 1.5 ක සීමාවේ වත් පවත්වාගෙන යා යුතුය. නමුත් COP 26 නව ප‍්‍රතිඥා ද ඇතුළු දැනට කඩදාසිවලට පමණක් සීමාවී ඇති සියලූ කැපකිරීම් සිදුකළත් එම අගය අංශක 1.8 දක්වා ඉහළ යන බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප‍්‍රධානියා පසුගියදා අවධාරණය කර තිබුණි. ඒ කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ අපට නම් තවමත් මේ බිහිසුණු වර්තමානය සහ අනාගතය පිළිබඳ ලොකු අවබෝධයක් සහ අවධානයක් නැති බව කනගාටුවෙන් නමුත් කියන්නට අවශ්‍යය. මුළු මහත් ලෝකයාගේම අවධානය ග්ලාස්ගොව් දේශගුණ සමුළුව කෙරෙහි යොමුවී තිබියදී මේ සටහන ලියන විටත් දිවයින පුරාම ජනතාව පීඩාවට පත්කරමින් ඇදහැලෙන අධික වර්ෂාව දිස්ත‍්‍රික්ක විසි තුනක 62,000 කට බලපෑම් එල්ලකර ඇති අතර ජීවිත විස්සක් රටට අහිමි කර තිබේ. මීට දින කිහිපයකට පෙර බදුල්ල නගරයේ රජයේ ආයතන සහ යටිතල පහසුකම් විනාශ කරමින් හටගත් හදිසි ගංවතුර තත්ත්වය ද මිනිස් ජීවිතයක් බිලිගත්තේය. තවද පසුගිය මාසයේ පමණක් මෙරට ධීවර කාර්මිකයන් පස් දෙනෙකුට බෝට්ටු පෙරළීම්, අකුණු සර වැදීම් සහ මුහුදට ගසාගෙන යෑම් හේතුවෙන් ජීවිත අහිමි විය. ඉහත කී සෑම ආකාරයකම විනාශයන් ගෝලීය දේශගුණික විපර්යාසයේ දේශීය ප‍්‍රතිපල බව අප මොහොතකටවත් සිතුවාද?

 ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් අපගේ නියෝජනය අංශු මාත‍්‍රයක් වුවද ගෝලීය දේශගුණ අභියෝගයේ විශාල ගොදුරක් බවට ශ‍්‍රී ලංකාව මේ වන විටත් පත්ව ඇති බව පසුගිය දශකය තුළ මෙරටින් වාර්තා වූ ආන්තික කාලගුණ විපත් පමණක් වුව සාක්ෂි සපයයි. නමුත් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ පාලකයන්ගේ ශාපයක් ලෙසත්, වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ‘දේවෝ වස්සතු කාලේන…’ ආදී වශයෙන් රජුගේ ධාර්මික බව හේතුවෙන් කලට වසින වර්ෂාවන් ලෙසත් මෙම ව්‍යසනයන් අර්ථදක්වමින් සැනසුණා මිස අපි ඉන් එහා විපරමක් සිදු කළේ නැත. නමුත් එම කඩතුරාවන් ඉවත්කර දමා විවෘත දෑසින් මේ ගෝලීය අභියෝගය විමසා සක‍්‍රීයව ක‍්‍රියා කළ යුතු කාලය අප මේ මොහොතේ ද කා දමමින් සිටින බව ග්ලාස්ගොව් දේශගුණ සමුළුවේ සංවාදවලින් ද යළි යළිත් අවධාරණය කෙරේ.

 * සුපුන් ළහිරු ප‍්‍රකාශ්

advertistmentadvertistment