දේශපාලකයාට වැසුණ, අරගලය විවර වුණ මල්වතු විහාර දොරටුව

71

අපි ඔහේ බලා සිටියෙමු. ප්‍රභූ දේශපාලකයන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හමුවන්නට යන එන දසුන්වලින්, ඒ කතාබහවලින් අපගේ ඇස්කන් පිරීයමින් පැවතුණේ ය. සෑමවිටම ඔවුන් මාලිගයේ පඩිනඟිමින් එනු පෙනුණේ මල්වට්ටි, අටපිරිකර හා පූජාභාණ්ඩ අතැතිව ය. මේ සියල්ල අප අනේකවාරයක් දුටුවේ රූපවාහිනි ප්‍රවෘත්ති වැඩසටහන් හරහා ය. කිසියම් පුද්ගලයෙක්, දේශපාලනඥයෙක් තෙරුවන් නැමදීමේ, තෙරුවන් ඇදහීමේ පවතින්නේ කවර නම් ප්‍රවෘත්තිමය වටිනාකමක් දැයි විමසුවෝ ද ඒ අතර වූහ. එහෙත් ඒ සුළුතරයකි. මේ රටේ අතිමහත් බහුතරය අවුරුදු පහකට වරක් සිය ජනතා පරමාධිපත්‍යය තහවුරු කරමින් පැන්සලකින් කතිර සලකුණක් යොදද්දී බෙහෙවින්ම සැලකිලිමත් වූයේ දේශපාලකයාගේ ආගම් භක්තිය පිළිබඳව ය. මේ විශ්වාසය බරපතළ දෙදරීමකට බඳුන් කරමින් තමන් යෙදූ කතිර ලකුණ වැරදි ලකුණම බව ඔවුනට පසක් වෙමින් ඇත්තේ දැන් දැන් ය. ‘මල්වතු මහානාහිමියෝ දේශපාලනඥයන්ට දොර වසති’ යනුවෙන් පළව තිබූ පුවත්පත් ශීර්ෂපාඨය මේ රටේ බෞද්ධයන්ට ශුභ ලකුණක් ලෙස පෙනී ගියේ ද ඒ අනුව ය. (මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමියන් කීප අවස්ථාවකදීම මෙවැනි සාධනීය විප්ලවීය අදහස් ප්‍රකාශයට පත් කිරීමට එඩිතර වූ බව ද අපට මතක් කර ගත හැකියි.)

මහනාහිමියන් මේ නිගමනයට එළඹ ඇත්තේ පවතින අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා තාවකාලික, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතු`ඵ යෝජනා කිහිපයක් සහිතව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනපති, අගමැති හා පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කරනු ලැබූ ලියැවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ඒ කිසිවකුගේ යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙනියි ද සැලවෙයි. මින් කුමක් නම් ගම්‍යමාන වන්නේ ද? මහනායක හිමිවරුන්ගේ අවවාද, අනුශාසනා පිළිගැනීම වූ කලී අටපිරිකර, පූජාභාණ්ඩ පිළිගැන්වීම තරම් ලේසි පහසු කටයුත්තක් නොවන බවට ඉන් සංඥා සැපයෙන්නේ ද?

මේ අතර තවත් අපූරු දෙයක් සිදුවුණේ ඉතා මෑත දිනයකදී ය. ඒ අනුව පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවූ (‘ගෝඨාගෝගම’ අරගලයේ නියුතු) තවත් පිරිසක් මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් බැහැදැකීම සඳහා ගොස් සිටි අයුරු අප දුටුවේ ද රූපවාහිනි ප්‍රවෘත්ති විකාශනයක් ඔස්සේ ය. මේ පිරිසගේ අපේක්ෂාව තරමක් අමුතු ය; අලුත් ය. ඔවුන් ඉල්ලා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දී ඇති සියලු ගෞරවනාම ආපසු ලබාගන්නා ලෙස ය; මේ ලිපිය ලියවෙන්නේ මේ අදහසට ඌනපූර්ණයක් එක් කිරීමට ය.

මහින්ද රාජපක්‍ෂ මහතාට මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාරස්ථ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව විසින් ගෙන ඇති තීරණය අනුව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී ධර්ම රක්ඛිත විපස්ස්‍යාභිධාන මහා ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සංඝනායක කාරක මහා සංඝ සභාව විසින් ‘ශ්‍රී රෝහණ ජනරංජන’ ගෞරව නාමය ප්‍රදානය කරනු ලැබුණේ 2000 වසරේ මාර්තු 5 වන දා ය. ඒ හා අදාළ උත්සවය පැවැත්වුණේ මල්වතු මහාවිහාරස්ථ මංගල උපෝසථාගාරයෙහිදී ය. මහින්ද රාජපක්‍ෂ මහතා එකල හෙබවූයේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධූරයයි.

මේ ගෞරවනාම ප්‍රදානය වෙනුවෙන් මුද්‍රණය වී තිබූ පොතක් පෙරළමින් ඉකුත් දිනයක මා යළි යළිත් සිහිපත් කළේ බුදුදහමේ කියවෙන අනවරත වෙනස්වීම හා අදාළ ස්වභාවය පිළිබඳව ය. අනවරත වෙනස්වීම කොතරම් ප්‍රබල ලෙස මිනිසුන්ගේ ජීවිත විෂයයෙහි බලපැවැත්වෙන්නේ දැයි මට යළි යළි සිතුණේ එහිදී ය.

ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත මහනාහිමිපාණන්, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී ධර්මදස්සී රතනපාල මාහිමිපාණන්, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මාහිමියන්, ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ඇතුළු සුවිශේෂී ගිහිපැවිදි පිරිසක් මේ පොත සඳහා සුභාශිංසන පණිවුඩ ලබාදී තිබිණ. එහිදී ස්‍යාමෝපාලි මහානිකායේ රෝහණ පාර්ශ්වයේ මහානායක අත්තුඩාවේ සිරි රාහුල මහනායක හිමිපාණන්ගේ සුභාශිංසන පණිවුඩයේ ඇතුළත්ව තිබූ එක් පාඨයක් පමණක් මෙහිලා දක්වන්නේ මේ සියල්ල දෛවයේ සරදමක් ලෙස මේ මොහොතේදී හැඟී යන නිසා ය. යට දැක්වෙන්නේ එයයි.

දුටුගැමුණු, වළගම්බා, මහාවිජයබා, මහපැරකුම්බා ආදී වීරෝධාර නරශ්‍රේෂ්ඨයන්ට ජයග්‍රහණය සඳහා දායකත්වය දුන් අභිමානවත් රෝහණ ඉතිහාසයේ වර්තමාන ජීවමාන සංකේතය මහින්ද රාජපක්‍ෂ ධීවර හා ජලජ සම්පත් ඇමැතිතුමන් බව අවධාරණයෙන් කිව යුතු ය.

මේ අදහස, මේ කියමන අද දවසේදී දකින ඕනෑම කෙනෙක් තුළ ජනිත විය හැක්කේ විමතියකි; තිගැස්මකි; කම්පනයකි. ඒ, දැන් මේ මොහොතේදී ඇසට පෙනෙන, කනට ඇසෙන නිර්දය අපහාස උපහාස හා ආමන්ත්‍රණ ද සමඟින් එය සසඳන්නට ඕනෑම කෙනෙක් නිරායාසයෙන්ම වාගේ යොමුවන බැවිනි. (සෙසු ශුභාශිංසන පණිවුඩ ද මෙවැනි අවධාරණවලින් තොර නොවේ.) එහෙත් ඒ සම්බන්ධයෙන් ඒ කිසිවකුටත් දෝෂාරෝපණයක් කළ නොහැකි ය. ඊට හේතුව මේ සියලු අදහස් පළවී ඇත්තේ එදා ඒ අවස්ථාවට අනුකූලව වීම ය. මෙහිදී අපගේ ස්මරණයට එක්වරම කඩාවදින්නේ ‘ඒකාධිපති හිට්ලර්’ නමින් රිචඩ් විජයසිරි නම් වූ ප්‍රවීණ ලේඛකයා විසින් සම්පාදනය කරනු ලැබූ කරුණු කිහිපයකි. ලේඛකයා මේ කෘතිය ලියා ඇත්තේ ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු හා ජර්මානු ලේඛකයන් විසින් හිට්ලර් පිළිබඳව විශ්ලේෂණාත්මකව ලියනු ලැබූ කෘතීන් ගණනාවක් පරිශීලනය කිරීමෙන් අනතුරුව ය. මෙහිදී ඔහුගේ විශේෂ අවධානය යොමු වී ඇත්තේ හිට්ලර් පිළිබඳව කරන ලද දීර්ඝකාලීන පර්යේෂණයක ප්‍රතිඵල වශයෙන් බිහිවූ ඇලන් බූලොක්ගේ ්‍යසඑකැර – ් ීඑමාහ සබ ඔහර්බබහ නම් වූ කෘතිය කෙරෙහි ය.

ගෞරවනාම ප්‍රදානය, විමර්ශනයට ලක් කෙරෙන මේ ලිපියෙන් හිට්ලර්ට එදා ලෝකය විසින් ප්‍රදානය කරනු ලැබූ ගරුනාම, නම්බුනාම පිළිබඳව ද තරමක් දුරට විමසා බලන්නට අපි අදහස් කරමු. ‘ඒකාධිපති හිට්ලර්’ පොතේ කිසියම් තැනක සඳහන්ව ඇත්තේ මේ ඒකාධිපති ඝාතකයාට අපූරු නම්බුනාමයක් පිරිනැමූ බ්‍රිතාන්‍ය අගමැතිවරයෙක් පිළිබඳව ය. ඔහු, 1914-1918 දක්වා ප්‍රථම ලෝක සංග්‍රාම සමයේ බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ලොයිඩ් ජෝර්ජ් ය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා 1936 වසරේදී හිට්ලර් හමුවීමට ගොස් ආපසු පැමිණ ඇත්තේ ‘ඔහු උදාර මිනිහෙක්’ යැයි කියමිනි.

එපමණක් නොව සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පෘථිවිගත සර්වනිර්දෝශී නියෝජිතයා යැයි කියනු ලබන පාප්වහන්සේ පවා 1932 ජූලි 28 දා හිට්ලර් සමඟ මිත්‍ර ගිවිසුමකට එළඹි සේක.

….

මේ කොයි කවුරුත් හිට්ලර් ජර්මනියේ අසහාය නායකයා වී සිටි සමය තුළ ඔහුට පූජෝපහාර පැවැත්වූ බව අනුල්ලංඝණීය සත්‍යයක් ලෙසින් ඉතිහාසයේ පිටු මත සටහන් වී තිබේ.

(එකාධිපති හිට්ලර් – 34-35 පිටු – රිචර්ඩ් විජයසිරි)

හිට්ලර් ලෝකයේ මහා ඝාතකයා ලෙස අපකීර්තියට පත්වූයේ පරාජයෙන් පසුව බව මෙහිදී විශේෂයෙන් සිහිතබාගත යුතු ය. එය ඉතා ස්වභාවික ය. සෑම විටම නිර්දෝෂීන් බවට පත්වන්නේ ජයග්‍රාහකයෝ ය. පරාජිතයන් හැම විටම නිහීන පරසතුරෝ ය. ධම්මපදයේ සුඛ වර්ගයේ එන 201 වන ගාථාව ඇරඹෙන්නේ ‘ජයන් වෙරං පසවති – දුක්ඛං සෙති පරාජතො…’ යනාදී වශයෙනි. එහි අරුථ වන්නේ ‘දිනන්නා පරදින්නා තුළ වෛරය ඇතිකරයි. පරදින්නා දුකසේ වෙසෙයි. උපශාන්තයා ජයත් පරාජයත් හැර සුවසේ වෙසෙයි’ යන්න ය. යුද්ධයේදී, යුද ජයග්‍රහණයේදී ගෞරවනාම පිරිනැමීම ඉතා පරිස්සම්සහගතව කළ යුතු වන්නේ ද මේ අනුව ය. මේ රටේ මහා සංඝරත්නය මෙන්ම සමාජ ක්‍රියාකාරිකයන් ද මේ කරුණ ගැන අවධානය යොමු කිරීම වැඩදායක ය.

ගෞරවනාම, නම්බුනාම ව්‍යාකූලතා නිර්මාණය කර ඇති අවස්ථා බොහෝ ය. දියුණු කළ මොළයක් නැතැයි කියන, කතා බැරි තිරිසන් සතුන්ට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නේ, (ක්ෂණික වෙනස්කම්වලට බඳුන්වන්නේ) සිනාවෙන් හෝ කතාවෙන් මනින්නට බැරි මිනිසා ය. ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නට බව සිතාගත හැකි වෙතත් මිනිසාගේ හැරවුම්වල, බඩපිනුම්වල අරමුණු හඳුනාගැනීම ලේසිපහසු නැත.

ප්‍රදර්ශනකාමීව බුද්ධාගම ඇදහුව ද මේ රටේ රාජ්‍ය නායකයන් බුදුදහම දැනහඳුනා නොසිටි බව පැහැදිලි ය. ඔවුන් සිතා සිටින්නට ඇත්තේ ‘බුද්ධාගම’ යනු මල්වට්ටි, අටපිරිකර හා පූජාභාණ්ඩ පමණකි යි කියා ය. ධර්ම දේශනා කනින් ඇසුව ද ඒවා ඔවුන්ගේ සිතට කාන්දු වූයේ නැත. ඒ, ඔවුන් ආගම ඇදහුවේත්, චීවර පූජා ඇතුළු විවිධ පූජාවන්හි යෙදුණේත් ජනතාව රැවටීමේ හා ජනතාවට කොකා පෙන්වීමේ අරමුණින්ම වන නිසා ය. බුදුදහමේ එන හේතුඵල වාදය ගැන කනින් – කොනින් අසා තිබුණ ද ඒ ගැන සිතාබලන්නට මඳ අවකාශයක් හෝ වෙන්කර ගනු ලැබුණේ නම් මේ සා නින්දා පරිභව කන්දරාවක් විඳ දරාගැනීම සඳහා මෙවැනි සුවිසල් අවකාශයක් විවර නොවන්නට හොඳටම ඉඩකඩ තිබිණ. යම් ක්‍රියාවක අරමුණ යහපත් නොවන විට එහි ප්‍රතිඵලය ද අයහපත් වන බව ඇතැම් විට ඔවුන් අද්දකිමින් සිටිනු ඇත්තේ දැන් දැන් වීමට ද බැරි නැත.

ශ්‍රී ලාංකේය දේශපාලනය මේ වන විට පා තබා සිටින්නේ තීරණාත්මක කඩඉමකට ය. 74 වසරක් මුළුල්ලේ අඩුවැඩි වශයෙන් ක්‍රියාත්මක වූ ඒකාකාරී දේශපාලන ගමන්මග අතරතුර දේශපාලන රූකඩ, වෙස් නැටුම් නැටුවේ ‘මහජන නියෝජිත’ යන වෙස්මුහුණ ද පැළඳගෙන ය. මේ දේශපාලන සොම්බි අල්ලා, හොල්ලා, කුදලා මුහුදුබත් කිරීම හා අදාළ මහා යාතුකර්මයේ මුල්ම පන්දම දැල්වූයේ මේ රටේ තරුණ තරුණියෝ ය. මල්වතු මහනාහිමියන් වැසූ දොරින් ඇතු`ඵ වන්නට වරම් ලැබුවේ ද අරගලයේ යාතුකර්මයට සහාය දැක්වූවෝ ම වෙති. මේ පූර්වාදර්ශය අපූරු ය; දිරිගන්වනසුළු ය. ඒ ඔස්සේ නව සංස්කෘතියක් සඳහා මෙන්ම යටපත් වී ගිය මුල් බුදුදහම හෙවත් සැබෑ බුදුදහම සඳහා ද නව අවකාශයක් විවර වනු ඇතැයි අපි සිතමු; එසේ ප්‍රාර්ථනා කරමු.

කැත්ලීන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment