පොහොට්ටුවේ ජාතික ලැයිස්තු වාර්තාව ජාජබ ට බිඳීය හැකිද?

‘හංසයා’ ‘ගෑස් සිලින්ඩරය’ වීම

පාඨලී චම්පික රණවකත් පාර්ලිමේන්තුවට ඒමට සිටියේ ජාතික ලැයිස්තුවෙන්

නාමල් රාජපක්ෂ ආරක්ෂිත පියවරක් ගනී

පොහොට්ටු පක්ෂය මහ මැතිවරණය ජයග්‍රහණය කරන බවට තවමත් මහින්ද රාජපක්ෂට විශ්වාසයි

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට යම් මිලක් තිබේද? සැප්තැම්බර් 21 දින පැවැත්වූ ජනාධිපතිවරණයට පෙර ’SL දේශයේ ‘දර්ශන හඳුන්ගොඩ සමග කළ පැයක පමණ සම්මුඛ සාකච්ඡාවකදී ව්‍යාපාරික සහ ජනාධිපති අපේක්ෂක ඒ. එස්. පී. ලියනගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක වටිනාකම ඇස්තමේන්තු කළේය. පත්වීමට නියමිත පාර්ලිමේන්තුවට යම් ජාතික ලැයිස්තුවකින් තමන්ව පත්කරනවා නම් රුපියල් ලක්ෂ 3,000 (මිලියන 300) එම පක්ෂයට ‘පරිත්‍යාග’ කිරීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කළේය. ඒ ප්‍රකාශය අවධාරණය කරන්නේ අරගලයෙන් පෙර සහ පසු කියා වෙනසක් නැති බවයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගැනීමට එම සාකච්ඡාව ප්‍රමාණවත්ය.

සිරිකොත සේවකයන්ගේ මාසික පඩිය ගෙවීමට එම ව්‍යාපාරිකයාගෙන් රුපියල් මිලියන දෙකක් එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිය බවට කළ එම සාකච්ඡාවේදීම කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් ද පුදුම විය යුතු නැත.

මාධ්‍යවේදී රන්හිරු සුභාවික්‍රම එම වැඩසටහන මෙම ලියුම්කරුගේ අවධානයට යොමුකිරීම පිළිබඳව ඔහුට ස්තුතිය පිරිනැමිය යුතුය. ලියනගේ ප්‍රසිද්ධියේ කළ යෝජනාව ඔහු අල්ලසක් දීමට සූදානම් බවද? අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ සහ මැතිවරණ කොමිසමේ අවධානය මෙවැනි ප්‍රකාශවලට යොමු විය යුතු නොවේද? යම් ලියාපදිංචි පක්ෂයක අයිතිය මුදලට ගත හැකි තත්ත්වයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ‘විකිණෙන’ බව පුදුමයට හේතුවක් නොවේ.

එක්සත් ලංකා පොදුජන පක්ෂය මෑතකදී පැවැත්වූ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් මිලියන 30 (ලක්ෂ 300) අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත එම පක්ෂයේ කිහිප දෙනකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගැනීම අවධාරණය කළේ සමස්ත මැතිවරණ ක්‍රමය පුනරුත්ථාපනය කළ යුතු බව නොවේද?

නොවැම්බර් 14 වන දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට මාලිමාව ලාංඡනය යටතේ තරග කරන ජාතික ජනබලවේගය (ජාජබ) පහසුවෙන් ජයග්‍රහණය කරන බව ස්ථිරය. මෑතකදී පැවැත්වූ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අනුර කුමාර දිසානායකගේ පක්ෂයට කිසිදු අපහසුවකින් තොරව පාර්ලිමේන්තුවේ සුළු බහුතරය ලබා ගැනීමට හැකිය. අසූචි වළක් සමග සංසන්ධනය කළ හැකි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුළු බහුතරය ආසන 113 කි. ඒ පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව 225 ක් බැවිනි.

හිටපු අමාත්‍ය සහ සර්වජන බලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ නායක උදය ගම්මන්පිල ඔක්තෝම්බර් 07 දින පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ රජය බරපතළ වරදක් ඉදිරි සති කීපය තුළ සිදුකළේ නැතිනම් ආසන 120 ක් පමණ ජාජබ ට ලබාගත හැකි බවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාජබ නායක වසන්ත සමරසිංහ ඊට දින කීපයකට පසුව ප්‍රකාශ කළේ තම පක්ෂයට ආසන 125 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගත හැකි බවයි. විපක්ෂය දැනටම මහ මැතිවරණයේ පරාජය පිළිගෙන තිබේ.

මහ මැතිවරණය අභියස වර්තමන රජය බරපතළ වරදක් කිරීමේ අවධානම සම්බන්ධයෙන් නීතිඥ ගම්මන්පිල කළ ප්‍රකාශය ජනතාවගේ අවධානය අතිශය ආන්දෝලණාත්මක සිද්ධීන් දෙකකට යොමු කරයි. මෛත්‍රිපාල සිරිසේන 2015 ජනවාරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කර දින 50 තුළ එජාපය සිදුකළ පළමුවන බැඳුම්කර වංචාව සිරිසේන – වික්‍රමසිංහ රජය විනාශ කර දැමූ බව අමුතුවෙන් කිවයුතු නැත. දෙවන සිද්ධිය ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ විගස බදු ක්‍රමය වෙනස් කිරීම නිසා මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 600 අහිමි කර ගැනීමයි. ඒ ගෝඨාභය රාජපක්ෂ රජයේ විනාශයේ ආරම්භයයි.

මහ මැතිවරණයට තරග කළ පක්ෂ අතර ජාතික මට්ටමින් ඡන්ද බෙදී යන ආකාරය අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර බෙදී යනු ඇත. ඒ අනුව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර 29 බෙදී යන ආකාරය අනුව ජාජබ ට පාර්ලිමේන්තු බලයේ තුනෙන් දෙකේ සීමාවට කෙතරම් දුරකට ආසන්න විය හැකි දැයි තීරණය වනු ඇත. ඍජුව මහජන ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරු සංඛ්‍යාව 196 කි. එම මන්ත්‍රීවරු 196 සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීන් 29 යේ එකතුව 225 ක පාර්ලිමේන්තුවයි.

තනි පක්ෂයක් ලෙස තුනෙන් දෙකක බලයක් නැතහොත් ආසන 150 ලබා ගැනීම ඕනෑම පක්ෂයකට දැඩි අභියෝගයකි. දිසානායක ජනාධිපතිවරයාගේ පක්ෂයට පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි නමුත් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට අපහසුය. කවුරු කෙසේ කීවත් 2010 සහ 2020 මහ මැතිවරණවලදී රාජපක්ෂවරු 2/3 ආසන්න වූ නමුත් ආසන 150 ගැනීමට හැකිවූයේ නැත. භූමියේ තත්ත්වය එයයි.

නමුත් ප්‍රතිශතයක් ලෙස අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයේදී දිසානායක ලබාගත් ඡන්ද 5,740,179 වඩා වැඩි ප්‍රමාණයක් මහා මැතිවරණයේදී ඔහුගේ පක්ෂයට ඡන්දය දීමේ අවස්ථාවක් ඇත. ජනාධිපතිවරණයේදී දෙවන වැඩිම ඡන්ද ප්‍රමාණයක් එනම් ඡන්ද 4,530,902 ලබා ගත් සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාසට එම ඡන්ද ප්‍රමාණය රැක ගැනීම සුළුපටු අභියෝගයක් නොවේ. එම පක්ෂය (හිටපු ප්‍රධාන විපක්ෂය) මහත් අවුලක බව සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකිය.

පාඨලී චම්පික රණවක නායකත්වය දෙන එක්සත් ජනරජ පෙරමුණ සජබ යෙන් මහ මැතිවරණයට ඉදිරිපත් නොවීම පසුගිය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය තව දුරටත් දුර්වල කර ඇත. දෙපාර්ශ්වය අතර අනපේක්ෂිත විරසකය ඇති නොවුනා නම් හිටපු අමාත්‍යවරයකු ද වූ රණවක ද මෙවර පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව සිටියේ සජබ ජාතික ලැයිස්තුවෙනි. දෙපාර්ශ්වය අතර අපූරු ගිවිසුමක් තිබී ඇත. රණවක ගේ පක්ෂයට එක ජාතික ලැයිස්තුවකි. ඒ ධුරය රණවකටය. දිස්ත්‍රික්ක ලැයිස්තුවලින් එක දිස්ත්‍රික්කයකට එක බැගින් රණවක ගේ පක්ෂයට අපේක්ෂකයන්/අපේක්ෂිකාවන් 18 දෙනකු ඉදිරිපත් කිරීමට එකඟතාවයක් ඇතිකර ගත්තේය. ඊට පසුව එය දිස්ත්‍රික්ක 11 කින් තරගකරුවන්/තරගකාරියන් 11 දක්වා අඩුවිය. ඊට අමතරව එක්සත් ජනරජ පෙරමුණෙන් අපේක්ෂකයන් පස් දෙනකු ජයග්‍රහණය කළහොත් අමතර ජාතික ලැයිස්තුවක් එම පක්ෂයට ලබා දීමට එකඟතාවයක් ඇති කර ගත්තේය. නමුත් අවසානයේ සජබ රණවකට දීමට සූදානම් වූයේ නාමයෝජනා තුනක් පමණි.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) ඡන්ද 6,853,690 ලබා ආසන 145 (ඒ අතර ජාතික ලැයිස්තු, මන්ත්‍රී ධුර 17 විය) දිනා ගත් අතර සජබ ඡන්ද 2,771,980 ලබා ආසන 54 (ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 ක් සමග) ලබා ගැනීමට සමත් විය. ද්‍රවිඩ ජාතික සන්ධානයට එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඇතුළුව ආසන 10 ක් හිමිවිය. හතරවන ස්ථානයට පත්වූ පළමුවරට මහ මැතිවරණයකට තරග කළ ජාජබ ඡන්ද 445,958 ක් ලබා එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සමග ආසන තුනක් ලබා ගැනීමට සමත්විය. එදා එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිරවූ ආචාර්ය හරිනි අමරසූරිය අද අග්‍රාමාත්‍ය ධුරය දරයි. කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන ජාජබ කණ්ඩායමේ නායකත්වය ද අග්‍රාමාත්‍යතුමිය අතේය.

මෙවර මහ මැතිවරණයේදී ජාජබ ට පොහොට්ටු පක්ෂය ජාතික ලැයිස්තු ධුර 17 ලබා ගැනීමේ වාර්තාව අභිබවා යා හැකිද? එය සුළුපටු අභියෝගයක් නොවේ. නමුත් සමස්ත විපක්ෂයම දැඩි පසුබෑමකට ලක්වී ඇති තත්ත්වයක් තුළ උපරිම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාවක් ලබා ගැනීමට ආණ්ඩු පක්ෂයට උත්සහ කළ හැකිය.

ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට අයිතිය ඇති මිලියන 17.1 (ලක්ෂ 171) පුද්ගලයන්ගෙන් පහෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් ඡන්දපළට ගියේ නැත. එනම් ඡන්දය වර්ජනය කළ සහ වෙනයම් කාරණාවක් නිසා ඡන්දය දීමෙන් වැළකුණ පිරිස මිලියන 3.5 කට වඩා වැඩිය (ලක්ෂ 35 කි).

ජනාධිපතිවරණයෙන් පසුව දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු ජාජබ මහා ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහගෙන් මෑතකදී කළ විමසීමකදී ඔහු අවධාරණය කළේ පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් අභියස බවයි. ජවිපෙ නායකත්වය දෙන ජාජබ සම්බන්ධ දේශපාලන පක්ෂ/කණ්ඩායම් දෙකකි. ලාල් විජයනායකගේ එක්සත් වාමාංශික බලවේගය සහ කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායමයි. ඊට අමතරව දේශපාලනිකව ක්‍රියාකාරී සංවිධාන රාශියකි. වෛද්‍ය අබේසිංහ තම පක්ෂය සෑම තත්ත්වයක්ම සැලකිල්ලට ගෙන අපේක්ෂක ලැයිස්තු සහ ජාතික ලැයිස්තුව සකස් කළ බව පැවසී ය. ජනාධිපතිවරණයේදී ඡන්දය දීමෙන් වැළකී සිටි ලක්ෂ 35 කට අධික පුද්ගලයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මහ මැතිවරණයේදී ජාජබ ට ඡන්දය දෙනු ඇති බවට මාලිමාව ලාංජනය යටතේ කළුතර දිස්ත්‍රික්කයට තරග කරන වෛද්‍යවරයා විශ්වාසය පල කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (New Democratic Front) නව ලාංඡනයකින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමද දේශපාලනික වශයෙන් අවධානය යොමු විය යුතු කරුණකි. ඒ එම පක්ෂය ‘හංසයා’ ලාංඡනය යටතේ එවකට විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා, මෛත්‍රිපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස පිළිවෙළින් 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් කළ නිසාය. නමුත් මෙවර ‘හංසයා’ වෙනුවට එම පක්ෂය ‘ගෑස් සිලින්ඩරය’ තම ලාංඡනය වශයෙන් මහ මැතිවරණ නීති රීතිවලට අනුකූලව ලබාගෙන ඇත. මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ක්‍රියාත්මක එම පක්ෂය හරහා අවසන් පාර්ලිමේන්තුවේදී (2020-2024) පොහොට්ටු පක්ෂය නියෝජනය කළ කණ්ඩායමක් තරග කරයි.

එම කණ්ඩායම ජනාධිපතිවරණයේදී ද සහයෝගය පල කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාටය. එම පක්ෂය තම ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ 29 දෙනා අතර හිටපු අග්‍රාමාත්‍ය සහ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රථමයා ලෙස නම් කර ඇති අතර දෙවැනි ස්ථානයේ සිටින්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ෂර්මිලා පෙරේරාය. ඇය ලලිත් ඇතුලත්මුදලි ට දීර්ඝ කාලයක් සේවය කළ අයෙකි. කොටි සංවිධානය 1993 දී ඝාතනය කළ හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ගේ ප්‍රතිපත්තීන් ඉදිරියට ගෙන යෑමට 1995 දී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ලෙස පිහිටුවූ පක්ෂය 2009 දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස නැවත ලියාපදිංචි කළේය. නවතම වෙනස ලාංඡනය වෙනස් කිරීමයි. ලියාපදිංචි කළ පක්ෂ නැවතත් නව නම් යටතේ ලියාපදිංචි කිරීම සහ පක්ෂයේ ලාංඡනය මාරු කරන තවත් රටවල් තිබේ දැයි විමසා බැලිය යුතුය.

තට්ටු – මාරු ක්‍රමයේ ප්‍රතිලාභීන් වූ මෙතුවක් කල් ප්‍රධාන දේශපාලන ප්‍රවාහය රජ කළ කණ්ඩායම් /පවුල් ජනාධිපතිවරණයේදී ලද පරාජයත් සමග දේශපාලනිකව දැඩි පසුබෑමකට ලක්වී ඇත. ඔවුන් මුහුණ දෙන අදහාගත නොහැකි අභියෝගය සහ අතිශය අර්බුදකාරී තත්ත්වය අවධාරණය කිරීමට නාමල් රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තුවේ රැකවරණය පැතීම හොඳටම ප්‍රමාණවත්ය. ජනාධිපතිවරණයේදී යන්තම් ඡන්ද 342,781 (2.57%) ලබා ගෙන හතරවැනි ස්ථානයට පත්වූ නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවේ පිහිට පැතීමත් සැලකිය දේශපාලනඥයන් සංඛ්‍යාවක් තරගයෙන් ඉවත් වීම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ජාජබ ප්‍රබලයෙකු වන ලාල් කාන්ත පසුගිය ඔක්තෝම්බර් 13 දින අවඥාවට ලක් කළේය. ඔවුන් දෙදෙනා පැවසුවේ ශ්‍රී ලංකා දේශපාලනයේ විශ්‍රාම යෑමක් නොමැති බවත් එක්කෝ පරාජයට පත්වීම හෝ මරණයට පත්වීම සිදුවන බවයි. නමුත් ජනාධිපතිවරණයේදී ඔවුන් ලැබූ පරාජය තුළ විශ්‍රාම යෑම දේශපාලන ශබ්දකෝෂයට එකතු වී ඇති බවයි. නමුත් තමන් නැවතත් දේශපාලනයට පැමිණෙන බවත් දැනට සිදුව ඇත්තේ තාවකාලික සමුගැනීමක් බවත් දිසානායක ජනාධිපතිවරයාට පිළිතුරක් ලෙස හිටපු නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. වර්තමාන තත්ත්වය එවැනි නැවත පැමිණීමකට ඉඩ සලසා නොමැත. තිත්ත ඇත්ත එයයි.

පොහොට්ටු පක්ෂය එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට සීමා වීමට අවස්ථාවක් ඇත. එසේ වුවහොත් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නාමල් රාජපක්ෂට හිමිවෙනු ඇත. නමුත් පොහොට්ටු පක්ෂයේ සභාපති මහින්ද රාජපක්ෂ පසුගියදා තම පක්ෂයට කිසිදු අපහසුවකින් තොරව ආසන 113 මෙවර මහ මැතිවරණයේදී ලබාගත හැකි බවයි. එම බලාපොරොත්තුව කඩවන බව අමුතුවෙන් කිවයුතු නැත.

2020 මහ මැතිවරණයේදී එජාපයට (ජාතික ලැයිස්තුව) සහ ශ්‍රීලනිපයට (යාපනය දිස්ත්‍රික්කයෙන්) හිමිවූයේද එක ආසනය බැගිනි. ගෑස් සිලින්ඩරයෙන් තරග කරන කණ්ඩායමේ දේශපාලන අනාගතය ද ඉතාමත් අවිනිශ්චිතය.

මහ මැතිවරණයේ ප්‍රතිපලය ඇතිකරන දේශපාලන සුනාමිය 1977 පසුව වැඩිම නවක මන්ත්‍රීවරු ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පත්කරන මහ මැතිවරණය වෙනු ඇත. ඒ කුමන පක්ෂයෙන්ද බව අමුතුවෙන් කිවයුතු නැත.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලැබූ ජයග්‍රහණය අවඥාවට ලක්කිරීමට උත්සහයක් ඇත. ඒ මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයාට නියමිත පරිදි 50%+1 ඡන්ද ලබා ගැනීමට නොහැකි වූ බව අවධාරණය කරමිනි. ජයග්‍රාහකයා ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 42% බවත් ඔහුට එරෙහිව 58% ඡන්දය පාවිච්චි කළ බව කීමෙන් පලක් නැත.

ඇත්ත වශයෙන්ම සමස්ත විපක්ෂය දුර්මුඛ වී ඇත. 2020 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7 ඇතුළුව ආසන 54 ලබා ගත් සජබට අවම වශයෙන් එම මන්ත්‍රී ධුර සංඛාව රැක ගත හැකිද? සුළුපටු අභියෝගයක් නොවේ. පාඨලී චම්පික රණවක සජබයෙන් ඉවත් වීමට අමතරව හිටපු මන්ත්‍රීවරියක සහ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂිකා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පක්ෂයේ කාන්තා සංවිධානයේ නායකත්වයෙන් ඉවත් වීම සහ ගම්පහින් නාම යෝජනා භාර දුන් අජිත් මාන්නප්පෙරුම තමන් මහ මැතිවරණයෙන් ඉවත් වන බවට කළ ප්‍රකාශය මෙන්ම අරගලයේ ප්‍රබල ප්‍රකාශිකාවක වූ දමිතා අබේරත්නට පොරොන්දු වූ පරිදි රත්නපුර ලැයිස්තුවෙන් නාම යෝජනා ලබා නොදීම දැඩි කතාබහකට ලක්වී ඇත. එම තත්ත්වය පක්ෂය තවදුරටත් අපහසුතාවයට පත් කර ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment