දේශපාලනය ගැන මම දන්නේ නෑ!… ඒත් ලැබෙන අවස්ථාවන් අනුව රටට වැඩ කරන්න පුළුවන්…! හමුදාපති උත්තර දෙයි

726
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව පසුගිය සති අන්තයේදී වාර්තාවිණි. එහෙත් ඔහු තව දුරටත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරේ රාජකාරි කටයුතු කරන බවද වාර්තා විය. මේ ඉවත් වීමත් සමගම සමාජයෙහි ඒ ගැන බොහෝ සෙයින් කතාබහට ලක්විය. එම විශ්‍රාම ගැනීම පිටුපස බරපතළ ‘දේශපාලන’ මැදිහත්වීමක් ඇති බවද ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දේශපාලනයට පිවිසෙන බවත් කියැවිණි. මේ සංවාදය ඒ ගැනත් හමුදාපති ධුරය තෙක් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ආ ගමන් මග පිළිබඳ කෙටි විමසා බැලීමක් ද වෙනුවෙනි.

යුද ජයග්‍රහණයෙන් වසර 13 කට පසුව මොකද හිතෙන්නේ?

විවිධ දේ මතක් වෙනවා යුද්ධෙ දිහා බැලුවාම. යුද්ධය පටන් ගද්දි හිටපු ආරම්භක සාමාජිකයෙක් වශයෙන් යුද්ධය ඉවර කරපු දවසේ සේනාංක දෙකක් තමයි භූමියේ ඉඳලා යුද්දෙ ඉවර කළේ. 53 සහ 58 සේනාංක. 58 සේනාංකයට අණ දුන්නු පුද්ගලයා වශයෙන් සහ හමුදාපතිවරයාට “සර්” භූමියේ යුද්ධය අද ඉවරයි” කියලා මුලින්ම නිල වශයෙන් දැනුම්දුන් පුද්ගලයා වශයෙන් මම අද සතුටු වෙනවා අද රටේ මේ ඉන්න ජනතාවට හුස්ම පොදක් අරගෙන සාමයෙන් සතුටෙන් ජීවත් වෙන්න පරිසරය හදලා දෙන්න මනුස්සයෙක් වශයෙන්ම රටේ පුරවැසියෙක් වශයෙන් ඉපදිලා ඒ දේ රටට කරලා දෙන්න පුළුවන් වීම ගැන අනිවාර්යයෙන් මම සතුටු වෙනවා. ආඩම්බර වෙනවා.

දැන් තත්ත්වය ගැනත් ඒ ස්ථාවරයේ වෙනසක් නැද්ද?

මේ වෙනකොට යුද්ධයක් නැතිව වසර දහතුනක් තව දුරටත් ගතවෙනවා. පාස්කු ඉරිදා අන්තවාදී ප්‍රහාරය ඇරුණාම ඒ කාලය තුළ ත්‍රස්තවාදයක් මේ රට තුළ තිබිලා නෑ. ත්‍රස්තවාදය මේ රටෙන් සහමුලින්ම තුරන් කරන්න පුළුවන් කියලා අපි කියපු දේ අපිට ඒ ආකාරයෙන්ම කරන්න හැකියාව ලැබුණා. මේ කාල සීමාව තුළ අපි කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. අපි ඒ සියල්ලට මුහුණ දුන්නා. ඒ මුහුණ දුන්නු අභියෝග සියල්ලම අපි ජයගෙනත් තියෙනවා. තව යම් ජයග්‍රහණයන් කිහිපයක් ලබා ගන්න තියෙනවා. ඒවාත් අපි ජය ගන්නවා.

මිනිස්සු යුද්ධ හමුදාව ගැන ඇහුවාම 58 සේනාංකය ගැන තමා කතා කරන්නේ. හරියට සන්නාමයක් වගේ. එහෙම සන්නාමයක් හැදුණේ කොහොමද ?

කිසිම දෙයක් නිකම්ම ලැබෙන්නේ නෑ. 58 සේනාංකය ගත්තාම යුද්ධයේ දී වැඩිම භූමි ප්‍රදේශයක් නිදහස් කරගත්තේ 58 සේනාංකය. මුලතිව් හැරුණු කොට පුනරින්, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, පුදුමාතලන් වගේම වැඩිම ප්‍රාණ ඇපකරුවන් මුදාගත් පුදුකුඩිඉරිප්පු වගේම වෙල්ලමුල්ලිවෛයික්කාල් වගේ ප්‍රධාන මර්මස්ථාන සියල්ලම අත්පත්කර ගත්තේ 58වන සේනාංකය. කිලිනොච්චියේදී 57 වන සේනාංකයේ දායකත්වය ලබාගත්තා. 53 සේනාංකයත් සහය දැක්වූවා. පුදුකුඩිඉරිප්පුවෙත් ඒ වගේම තත්ත්වයක් තිබ්බා. කිලෝමීටර් 200 කට වැඩිදුර ප්‍රමාණයක් මන්නාරම සිලාවතුරේ සිට ආවේ 58 සේනාංකය. ඒත් එක්කම ත්‍රස්තවාදීන්ගේ වැඩිම අවි ආයුධ ප්‍රමාණයක් සොයාගත්තේ 58 සේනාංකය. එදා යුද්ධය රූපවාහිනි නාලිකාවල පෙන්නද්දී වැඩිම ජයග්‍රහණ ලබපු සේනාංකය විදිහට 58 සේනාංකය ජනතාවට හුරු වෙලා තියෙනවා. 58 විතරක් නෙවෙයි හමුදාවේ සෑම සේනාංකයක්ම යුද්ධයට සුවිශේෂී දායකත්වයක් දැක්වූවා. ඊළඟ විනාඩිය ගැන හිතලා නෙවෙයි ඔවුන් කටයුතු කළේ. ඔවුන් සියලුම දෙනාට මම ස්තුතිය ප්‍රණාමය ආචාර්ය පුද කරනවා. එදා භූමියේ හිටපු කනිෂ්ඨතම සොල්දාදුවාගේ සිට උසස්ම නිලධාරියා දක්වා සියලුම දෙනාට මගේ ආචාර්ය මම පුදකරනවා. ඒ වාගේම රටට සාමය උදාකරන්න තුවාල ලැබූ සහ ජීවිතක්ෂයට පත්වූ සියලුම දෙනාට මගේ උත්තමාචාරය සහ ගෞරවය පුද කරනවා.

මුහමාලේදී ඔබේ සේනාංකයට දරුණු ප්‍රහාරයක් එල්ලවුණා නේද ?

මුහමාලේ තිබ්බේ අපේ තිබ්බ ඉදිරිම ආරක්ෂක වළල්ලයි. සාම සාකච්ඡා අතරතුර ත්‍රස්තවාදීන් නොදන්වා 2006 අගෝස්තු මාසේ ප්‍රහාරයක් එල්ල කළා. ඒ වෙද්දි මම හිටියේ දියතලාව ආරක්ෂක විද්‍යාපීඨයේ අණදෙන නිලධාරියා වශයෙන්. මේ ඇතිවුණු තත්ත්වයත් එක්ක ඉදිරි ආරක්ෂක වළල්ලේ හතරෙන් තුනක් විතර ත්‍රස්තවාදීන් අල්ලා ගත්තා. ඒ අවස්ථාවේ දී හමුදාපතිවරයා මාව මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති වශයෙන් පත්කරනු ලැබුවා. එසේ පත්කළාට පස්සේ ඔවුන් වසර හයක් විතර අල්ලාගෙන හිටපු ප්‍රදේශයක් එක් විශාල ප්‍රදේශයක් අපි මාසයක් විතර ඇතුළත යළි නිදහස් කර ගත්තා. ඔවුන් කිව්වේ ඔවුන්ගේ ආරක්ෂක වළල්ල කවදවත්ම කඩන්න බෑ කියලයි. නමුත් ගුවන් සංක්‍රමික බලසේනාව පැය එකහමාරක් වගේ කෙටි කාලයකින් ප්‍රහාරයක් එල්ල කරලා කිලෝමීටර් අටක් ලයින් එක කඩලා අල්ලගත්තා.

වසර ගණනාවක යුද්ධය කෙටි කාලයකින් අවසන් කරන්න හේතුවුණු කරුණු මොනවාද ?

දශක තුනක් කියන්නේ කෙටිකාලයක් නෙවේ. අවසන් සටනේදී ඒ කියන්නේ මාවිල්ආරුවලින් පස්සේ එවකට දේශපාලන නායකත්වය මේක එක අරමුණක් වෙනුවෙන් යොමු කළා. අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදය පරාජය කරනවා කියලා දේශපාලන නායකත්වය තීරණය කළා. ඒ දේශපාලන නායකත්වය සහ රජය විසින් මේ සඳහා සම්පත් දියුණු කරලා හමුදාවට ලබා දුන්නා. ඒ වගේම ත්‍රිවිධ හමුදාපතිවරුන් වගේම දෙවැනි පෙළත් හිටියේ වසර විස්සක් විසිපහක් අත්දැකීම් ලැබූ පළපුරුදු පිරිසක්. හමුදාවල ක්‍රමවේදය පවා වෙනස් කළා අවස්ථාවට අනුරූපව. ඒත් එක්කම මොරාල් එක හොඳ තත්ත්වයක තිබුණා. ඒ හැමදේම සූදානම් කරගෙනම තමයි සියලු දෙනාම කටයුතු කළේ. අපි පොත්පත්වල ඉගෙන ගත්තේ ත්‍රස්තවාදීන්ගේ බලය අඩුම තැනට පහර දෙන්නයි. ඒත් මගේ සේනාංකය කළේම ත්‍රස්තවාදීන්ගේ බලය වැඩිම තැනට මුලින්ම පහර දීමයි. එත් එක්කම අපේ කමාන්ඩෝ සහ විශේෂ බළකා දුරදිග විහිදුම් කණ්ඩ හදලා ත්‍රස්තවාදීන්ගේ බලප්‍රදේශ ඇතුළට ගිහින් ප්‍රහාර එල්ල කළා. විවිධ උපක්‍රම භාවිත කළා. අපි ඔවුන්ගේ ශක්තීන් සහ දුර්වලතා හොඳට අඳුරගෙන කටයුතු කළා. ඒ වගේම තමා අපිට ඉල්ලූ තරම් මිනිස් බලය ලැබුණා. මම මේ රටේ ජනතාවට ආචාර කරන්න ඕන රටේ ජනතාව හමුදාවට බැඳීම ගැන. හිටපු වීරෝධාර රණවිරුවන්ට අපි මේක ජයග්‍රහණය කරනවාමයි කියන අධිෂ්ටානය තිබ්බා.

ඒ කියන්නේ ත්‍රස්තවාදීන් නොසිතූ යුද උපක්‍රම භාවිත කළාද ?

අනිවාර්යයෙන්ම. මොකද එල්ටීටීඊ සංවිධානය මුලින්ම භාවිත කළේ ශොට්ගන්. නමුත් ඔවුන් අවසන් කාලයේදී මිලිමීටර් 130 කාලතුවක්කු පවා භාවිත කළා. ඒනිසා අපි අපේ යුද උපක්‍රම වෙනස් කළා. ඒවා අපි මුලින්ම පුනරින් ඇල්ලුවාම එල්ටීටීඊ සංවිධානයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාව අහිමි වුණා. ඊට පස්සේ මම හමුදාපතිතුමාගෙන් ඇහුවා අපි ඊළඟට යන්නේ පරන්තන් ද කිලිනොච්චි ද කියලා. එතුමා ඒ වෙලාවේ කිව්වා පරන්තන් අල්ලන්න කියලා. පරන්තන් ගත්තාට පස්සේ අලිමන්කඩ සහ කිලිනොච්චි එල්ටීටීඊ බලය බිඳවැටුණා. අපිට තියෙන සම්පත් අඩු වුණත් අපිට තියෙන සම්පත් අපි භාවිත කළා. උදාහරණයක් විදිහට අපි පුදුමාතලන් වලදී ලක්ෂයකට වැඩි ප්‍රාණ ඇපකරුවන් තොගයක් මුදාගත්තේ. හමුදාපතිවරයා ඒ ක්‍රියාන්විතය භාර දුන්නේ 58 සේනාංකයට. අපි කලපුව හරහා ගමන් කරද්දි අපි විවිධ උපක්‍රම භාවිත කළා. අපි අපේ සම්පත් භාවිත කරමින් විවිධ උපක්‍රම භාවිත කළා. ඒ තමයි ලෝකයෙ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම. අපි ධනාත්මකව හැම සොල්දාදුවෙක්ම එකා වගේ ධනාත්මකව කටයුතු කරලා තමා මේ ජයග්‍රහණය ලැබුවේ. අපට තිබුණා මෙය ජයග්‍රහණය කරනවා කියන අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානය ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා හමුදාපතිවරුන් ඇතුළු සියලුම දෙනා තුළ තිබුණා. බලන්න මොන පන්සලේද පහනක් පත්තු කරලා බෝධි පූජාවක් නොතිබ්බේ කියලා. අපිට ඒ දේවල් අමතක නෑ. අපිට මුල අමතක නෑ.

ඔබේ පරමාදර්ශී හමුදා චරිතය කවුද ?

මගේ නම් ජෙනරල් විජය විමලරත්න කියන මේ රටේ බිහිවුණ දක්ෂතම හමුදා නිලධාරියා විදිහට අපි සලකන අපේ ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘවරයා. මම දෙවැනි ලුතිතන් වරයෙක් විදිහට ගජබා රෙජිමේන්තුවට බැඳුණු ප්‍රථම නිලධාරියා. ඒ වෙනකොට එතුමා තමා අණදෙන නිලධාරියා විදිහට ඒ වෙද්දි කටයුතු කළේ. එතුමා පළවෙනි දවසේ කියපු හැම වචනයක්ම මට මතකයි. එතුමා කියපු කරුණු අපි ඒ විදිහටම ක්‍රියාවට නැංවුවා. වත්මන් ජනතාධිපතිතුමා මගෙ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළා. ඒත් එක්කම හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයා සේනාංකාධිපතිවරයකු වෙන්න ප්‍රමාණවත් ජ්‍යෙෂ්ඨත්වයක් නොමැති අවස්ථාවකදී මාව සේනාංකාධිපතිවරයෙක් බවට පත් කළා. ඒක ලොකු දෙයක්.

කෙටි කාලයක් තුළ ඉහළට එන්නත් ශවේන්ද්‍ර සිල්වා කියන නම රටේ ජනප්‍රිය වෙන්නත් ඔබ තුළ තියෙන විශේෂ දක්ෂතා මොනවාද ?

මම 1984 මාර්තු 05 පාඨමාලා අංක 19 එක්ක හමුදාවට බැඳෙනවා. 1985 නොවැම්බර් 16 වැනිදා අධිකාරියට පත්වෙනවා. මම දකින්නේ මට ලැබුණු ලොකුම භාග්‍යය ගජබා රෙජිමේන්තුවට සම්බන්ධ වීම. අනිත් රෙජිමේන්තුවල වෙනසක් නෙවේ. ඒ රෙජිමේන්තුවේ ඒ වෙද්දි තිබ්බ පන්නරය තමා වැදගත්. බලන්න යුද්ධය ඉවර කරපු සේනාංකාධිපතිවරු ඔක්කොම ජෙනරල් ජගත් ඩයස්, ජෙනරල් කමල් ගුණරත්න, චාගි ගාල්ලගේ, සුමේධ පෙරේරා වගේ දක්ෂ නිලධරීන් තමයි ගජබා රෙජිමේන්තුවේ හිටියේ. ඒ කට්ටිය එක්ක තමයි අපි හැදුණේ. එතකොට මට මතකයි වැල්වැටිතුරෙයි ඉඳලා තොණ්ඩමනාරු දක්වා ක්‍රියාන්විතයක් ඒ දවසවල තිබුණා. ඒක සැලසුම් කළේ ජෙනරල් විමලරත්න. එතකොට ජෙනරල් විජය විමලරත්න එක්ක ජීවිතක්ෂයට පත් වෙච්චි කර්නල් පලිපාන කියලා මගේ අණදෙන නිලධාරියා, මගේ ප්ලැටුන් කමාන්ඩර් ප්‍රසන්න වික්‍රමසූරිය, ශාන්ත විජේසිංහ අපි කණ්ඩායම තමයි තොණ්ඩමනාරු අල්ලගන්න ගියේ. ඒක ඉතාමත් විශාල ක්‍රියාන්විතයක්. ඒ ක්‍රියාවිතයේදී තමයි මට වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම සහ රණශූර පදක්කම් ලැබුණේ. මේ පදක්කම් තුනම ප්‍රථමවරට ලබාගත් ත්‍රිවිධ හමුදාවේම දෙවැනි ලුතිතන්වරයා වුණේ මම. ඊට පස්සේ පූනරින්වල කොමා කියලා පොයින්ට් එකක ඉන්න වෙලාවේ රිවිරැස ක්‍රියාන්විතය අල්ලනවා කියලා බලඇණිය යාපනයට ගෙනාවා. යාපනය අල්ලන මෙහෙයුමේ මම අණ දෙන නිලධාරියකු ලෙස පත්කළා. හමුදාවේ අඩුම වයසකින් අඩුම කාලෙකින් අණදෙන නිලධාරියකු වුණේ මම. අදටත් ත්‍රිවිධ හමුදාවේම වැඩිම මෙඩ්ල් පළඳින පුද්ගලයා මම.

මේ හැම දෙයක්ම කෙටි කාලයකින් ගන්න ඔබ තුළ තිබූ දක්ෂතා මොනවාද ?

කැපවීම තමයි. ඒ වගේම මුලින්ම ජෙනරල් විජය විමලරත්නලා දාපු අඩිතාලම තමයි. මම කිසිම දෙයක් බැහැයි කියලා අතහරින්නේ නෑ. කොවිඩ් කාලෙදිත් මම ඒ දේ කිව්වා. මම විතරක් නෙවෙයි මේ වගේ අය ගොඩාක් ඉන්නවා. කොවිඩ් කාලෙදිත් පාන්දර දෙකහමාරෙ ඉඳන් උදේ 8.00 වෙද්දි හැම නාලිකාවකටම තොරතුරු ලබා දුන්නා. ජනාධිපතිතුමාගේ උපදෙස් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ අධ්‍යක්ෂතුමාගේ උපදෙස් අනුව නොදන්නා කොවිඩ් එකක් මෙල්ල කළේ එහෙමයි. අපි ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපෙන් විය යුතු රාජකාරියක් තියෙනවා. හැම පුරවැසියෙකුටම වගකීමක් යුතුකමක් තියෙනවා. අපි අපේ වගකීම ඉෂ්ට සිද්ධ කරනවා නම් හරි. අපි මේ දේවල් ඇති කරගත්තේ බොහොම කැපකිරීමක් කරලා. මේවා බන්දේසියක තියලා ලබා ගත්තු දේවල් නෙවෙයි.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට හමුදා ජීවිතයේදී කරන්න බැරි වුණු දෙයක් තියෙනවද ?

අපිට පෞද්ගලිකව කරන්න බැරිවෙච්චි දේවල් තියෙනවා. ළමයි එක්ක ඉන්න අවස්ථාව අපිට ලැබුණේ නෑ. මගේ දුවලා ඉස්කෝලේ යන කාලේ ලොකු දුවගේ පන්තියට තුන්පාරක් විතර ගිහින් ඇති. පොඩි දුවගේ පන්තියට ගිහින්ම නෑ. නමුත් හමුදා ජීවිතයේ මට කිසිම දෙයක් මඟඇරිලා නෑ.

පෞද්ගලික ජීවිතයේ දේවල් මඟඇරීම ගැන කනගාටුවක් තියෙනවාද ?

ළමයි වෙනුවෙන් කරගන්න බැරිවෙච්චි දේවල් මට තිබුණා. මීට වැඩිය දේවල් කරන්න තිබුණනම් කියලා හිතෙන අවස්ථාවන් නැතුවා නොවේ. ඒක තියෙනවා. නමුත් මම අද සන්තෝස වෙනවා ළමයි දෙන්නා හොඳ තත්ත්වයක ඉන්නේ අපි කරපු හොඳ දේවල් නිසා කියලා හිතන්න පුළුවන්.

ඔබ විශාල පිරිසකට නායකත්වය දෙන නායකයෙක්. නායකත්වය ගැන අපේ තරුණ තරුණියන්ට කියන්න කිව්වොත් මොනවද කියන්නේ ?

නායකත්වයේ ගුණාංග ගොඩක් තියෙනවා. නායකයෙක් වුණාම නායකයාට විනයක් තියෙන්න ඕන. ඒත් එක්කම නායකයෙක් හැම වෙලාවෙම තමන් යටතේ ඉන්න පුද්ගලයන්ට දෙන්න පුළුවන් සියල්ලක්ම දෙන්න උත්සාහ කරන්න ඕන. ඒත් එක්කම ඔවුන් රැකබලාගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. හරිදේ කරන්න ඕන. තමුන්ගේ අයට ඇත්ත ඇතිසැටියෙන් කියන්න ඕන. නායකයෙක් වුණාම තමුන්ගේ පොදු අරමුණ තමන් යටතේ ඉන්න අයට පැහැදිළිවම දෙන්න ඕන. ඔවුන් ඒ සඳහා දිරිගන්වන්න ඕන.

ඔබ ඒ දේවල් ඒ විදිහටම ක්‍රියාත්මක කරනවාද ?

ඔව්. දැන් බලන්න යුද්ධය ජයග්‍රහණය කරද්දී ඒ භූමියේ හිටිය අයගෙන් තමන්ගේ පවුලේ අයටත් එක්ක රටක් තහනම් වෙලා තියෙන එකම පුරවැසියා මම. මටත් මගේ ළමයින්ටත් ඇමෙරිකා එක්සත් ජනපදය තහනම් කරලා තියෙන්නේ. එතකොට ඒ මම භූමියේ සටන් කළ නිසා. එතකොට හමුදාපතිවරයාට ඒ තහනම නෑ. පහුගිය දවස්වල අනුරාධපුරේ, ගාල්ලේ, කුරුණෑගල වෙච්චි දේවල්වලට හමුදාපතිවරයා වගකිවයුතුයි කියලා සමහරු කියනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. ඕනම වෙලාවක අපිට වගකීම ගන්න පුළුවන් වෙන්න ඕන. අපි යටතේ ඉන්න පුද්ගලයන් රැක ගන්න ඕන. හැමකෙනෙක් සතුවම නායකත්ව ගුණාංග තිබිය යුතුයි. ඒ නිසා මම කියන්නේ නායකයෙක් වුණාම හොඳ දැනුමක් තියෙන්න ඕන. නොදන්නා දේ ගැන හැකි ඉක්මනින් ඉගෙන ගන්න ඕන. තමුන්ගේ යටතේ ඉන්න අය පොදු අධිෂ්ඨානය ඉටු කරගන්න පොළඹවන්න ඕන.

පහුගිය 09 වැනිදා සහ ඉන් පසුව ඇතිවුණ සිද්දිවලදී යුද්ධ හමුදාව හරියට ක්‍රියාත්මක වෙලා තියෙනවාද?

රටක හමුදාව යොදාගන්නේ එක් අවස්ථාවකදී. රට මහජන සාමය රඳවා ගැනීම පොලිසියේ වගකීමක්. පොලිසියට සහය වීම තමයි හමුදාව මෙවැනි තත්ත්වයකදී කරන්නේ. 09 වැනිදා සිදුවුණු අවාසනාවන්ත සිදුවීමේදී එක් අවස්ථාවකදී හමුදාව කැඳවනවා. ඊට පෙර අපි හදිසි අවස්ථාවලදී සහය දක්වන්න යොදවලා තිබුණා. නමුත් අපි සෘජුව සම්බන්ධ වෙන්නේ 09 වැනිදා. අපි හමුදාව විසින් සිදුකළ යුතු සියලුම දේ සිදුකළා. නමුත් සමහර තැන්වල යම් යම් සිදුවීම් සිදුවුණා. යම්කිසි පුද්ගලයෙක් හිතාමතා හෝ හමුදාවේ ක්‍රමවේදයට අනුව යමක් සිදුකර නැත්නම් අපි අනිවාර්යෙන්ම ඒ අයට විරුද්ධවත් පියවර ගන්නවා. හමුදාව යොදවලා පැය හය හතක් ඇතුළත අපි රටේ තත්ත්වය සමනය කළා.

රට තියෙන්නේ අමාරු තැනක. ඒ අර්බුදයෙන් මිදෙන්න හමුදාව පැත්තෙන් කළ හැකි දේ හඳුනාගෙන තියෙනවාද ?

අනිවාර්යයෙන්ම. ඔබ දන්නවා මීට වසරකට පමණ පෙර ඉඳලා අපි කෘෂිකර්ම රෙජිමේන්තුවක් හැදුවා. ඒක හදලා හමුදාවක් විදිහට අපි ස්වයංපෝෂිත වෙන්නේ කොහොමද කියලා බැලුවා. අපි විශාල භූමි ප්‍රදේශයක අස්වද්දලා තියෙනවා. අස්වනු නෙළා ගන්නවා. ඒත් එක්ක අපි දැන් අපේ ආම්පන්න හදාගන්නවා. ඒ විතරක් නෙවෙයි අපේ අවශ්‍යතා අපි විසින්ම සපයා ගන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම පතොරම් නිෂ්පාදනය සඳහා පවා පර්යේෂණ කරලා තියෙනවා. ඒත් එක්කම අපි තොරතුරු තාක්ෂණය පැත්තෙන් ඉස්සරහට ඇවිත් තියෙනවා. විනයක් ඇති විශාල කැපවීමකින් දැනුම වගේම සම්පත්වලන් පිරිපුන් හමුදාවක් අපේ රටේ තියෙන්නේ. කොවිඩ්වලට, හරිත කෘෂිකර්මයට, ගොඩනැඟිලි ආදී ඉදිකිරීම්වලට, ක්‍රීඩා භූමි පාසල්, ආගමික ස්ථාන සංවර්ධනය සඳහා අපි ඉදිරිපත් වෙලා ඉන්නවා. කළ නොහැකි දෙයක් සඳහා හෝ අපිට අවස්ථාව දුන්නොත් අපි ඒ දේ කරනවා. අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. බැහැයි කියලා දෙයක් නෑ. අපි ඉන්නේ ව්‍යවස්ථාවට අනුව රට ආරක්ෂා කරගන්න. අපි ඒ කටයුතු කරන ගමන් අපිට දෙන්න පුළුවන් දායකත්වය අපිට පුළුවන් සෑම අවස්ථාවකදීම ලබා දීලා තියෙනවා. රටේ සහ ජනතාවගේ ආරක්ෂකයා විදිහට යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව රටේ ජනතාව ආරක්ෂා කරන ගමන් රටේ ජනතාව වෙත ලබා දිය හැකි ඕනෑම දෙයක් කරන්න අපි සැදී පැහැදී කැපවී ඉන්නවා.

අපිට නැඟිටින්න පුළුවන් කියලා ඔබ හිතනවාද?

අනිවාර්යෙන්ම. බැහැයි කියලා දෙයක් නෑ. කොවිඩ් කාලෙදිත් කට්ට්ය ඔහොමනේ කිව්වේ. අපි ඒ වෙලාවේ කිව්වා කොවිඩ් සම්බන්ධයෙන් ලෝක සිතියමේ ශ්‍රී ලංකාව හොඳ ස්ථානයකට ගේනවා කියලා. අපි ඒ දේ කළා. අදටත් කියන්න තියෙන්නේ බැහැයි කියලා දෙයක් නෑ. අපි නැඟිටින්න ඕන. මේ තියන ප්‍රශ්න බැලුවාම හැමෝම එකා වගේ නැඟිටින්න ඕන. මම හිතන්නේ අපේ තියන විවිධ අදහස් පසෙක තියලා අපි එකා මෙන් නැඟිටින්න මේක හොඳම අවස්ථාව. කුලල්කාගන්නේ නැතිව නැඟිට්ටොත් අපිට කෙටි කාලයකදී යළි නැඟිටින්න පුළුවන්.

ඔබ දේශපාලනයට එනවාද?

මම දන්නේ හමුදාව පිළිබඳව. අපිට ඕවා පිළිබඳ කිසිම උනන්දුවක් නෑ.

හැබැයි ඔබ ඔය පුටුවෙන් ගියත් රටට යමක් කරන්න පුළුවන් නේද ?

ඔව් අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. ඒ සඳහා ලැබෙන අවස්ථාවන් අනුව කටයුතු කරන්න ඕන.

සාකච්ඡා කළේ –
දර්ශන ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment