දේශපාලනය ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ අපට පමණයි

44

ජාජබ නායක අනුර කුමාර දිසානායක විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුවේදී කියයි

දේශපාලනය ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ මාලිමාවට පමණක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

දිසානායක මහතා මේ කරුණු පැවසුවේ පසුගියදා මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව අමතමිනි. එහිදී ඔහු මෙසේද කීය.

වේදිකාවේ ඉන්න සියලු‍ දෙනා පසුගිය කාලයේ දරන ලද උත්සාහයේ ප්‍රතිඵල ලැබී තිබෙනවා. හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මේ අවස්ථාවට සහභාගි වීම අපට විශාල ශක්තියක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර විශාල අපරාධ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම නිසා දඩයමට ලක්වී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් සාධාරණය ඉටුකිරීම වගේම මේ සියලු‍ දෙනාටම සාධාරණය ඉටුකිරීම අපගේ වගකීමක්. සාමාන්‍යයෙන් හමුදා බැටෑලියන් එකක 600ක් 700ක් විතර පිරිසක් ඉන්නවා. එහෙම බැලු‍වොත් මෙතන බැටෑලියන් 30ක 40ක විතර පිරිසක් එකතු වී සිටිනවා. ඕනෑම අභියෝගයකට මුහුණ දී ජයග්‍රහණය ලබා හැකි පිරිසක් මෙතනට එකතු වී සිටිනවා. මේක සමහර මාධ්‍යවල විරුද්ධවාදී හැසිරීම, දේශපාලන අධිකාරීන්ගේ කෝපාවිෂ්ඨ ගර්ජනයන් තවදුරටත් ඉදිරියේදී වැඩිකරන සමුළුවක්. මෑතකදී බුද්ධි අංශ ඉදිරිපත් කළ වාර්තාවක ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කර තිබුණා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මහත් උනන්දුවෙන් ජාතික ජන බලවේගය වටා එක්වීමත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ජන බලවේගයට අනුබද්ධව ප්‍රබල ලෙස සංවිධාන ගතවීමත් නිසා ජාතික ජන බලවේගය ජයග්‍රාහී ලෙස ඉදිරියට යමින් සිටින බව දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දන්වා තිබුණා. මේ නැගීගෙන එන බලවේගය සැප්තැම්බර් 21දා නියත ජයග්‍රහණය කරා ඉදිරියට යාම වැළැක්වීමට කිසිදු ජගතෙකුටවත් බැහැ.

පොදු ජනයාගේ ඛේදවාචකය පිළිබඳ වේදනාව අපට ඉතා හොඳින් දැනෙනවා. හදවතේ තෙතමනයක් තිබෙනවා නම්, අපේ මාතෘභූමියට අත්කර දී තිබෙන ඛේදවාචකය ගැන කම්පනයක් තිබෙනවා. අවුරුදු 75ක ඉතිහාසය පැත්තකින් තබා මේ සති දෙකක කාලය තුළ සිදුවීම් ගත්තත් ඛේදවාචකයේ තරම තේරුම් ගන්න පුළුවන්. මේ තරම් අප්‍රසන්න දේශපාලන සිදුවීම් තවත් දකින්න පුළුවන්ද? ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීම, මහින්දානන්ද මූල්‍ය අපරාධ සිදුකිරීම පිළිබඳ චෝදනා ගොනු කරන විට රනිල් වික්‍රමසිංහ අගමැති. රත්වත්තේලා බන්ධනාගාරවලට පැනලා සිරකරුවන්ට පිස්තෝලය එල්ල කළ බව ඔවුන් දන්නවා. අනික් පැත්තෙන් ස.ජ.බ. ගොඩනඟන විට සභාපති ලෙස තෝරා ගත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැන් එළියේ, පොහොට්ටුවේ සභාපති ජී.ඇල්. පීරිස් ඇතුලේ. මේක මොනතරම් කැත පන්නයේ දේශපාලනයක්ද? එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ගැනීමට බාධා කළ නාලක ගොඩහේවා, සජිත් ප්‍රේමදාසගේ දකුණු අත. මහින්ද රාජපක්ෂට අප්පච්චි කියූ එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන දැන් රනිල්ට අප්පච්චි කියනවා. මේ දේශපාලනය ලැජ්ජා නැද්ද? රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන හිරේ දාන තුරු නින්ද යන්නේ නැහැ කියූ මහින්දානන්ද අලු‍ත්ගමගේ දැන් රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ නිදි. මහ බැංකුවේ මහ දවල් මහ බැංකු බැඳුම්කර කොල්ලය හෙළිදරව් කළා කියන බන්දුල ගුණවර්ධනත් ඒ කියූ හොරාගේ තැන ඉන්නේ. මේක කැත නැද්ද? මේ කැත දේශපාලනය අපි අවසන් කළ යුතුයි. පුරවැසියන් ගැන, මාතෘ භූමිය ගැන වග නොකියන, මේ දේශපාලනය අපි අවසන් කළ යුතුයි. අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.

හමුදාවේ සොල්දාදුවන් හැටියට ඔබ දිවුරුම් දී ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිතය පවා කැප කරනවා. රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඔබ ආසන්නයේම සිටි සගයා මියගොස් සිටියදී, සදාකාලික ආබාධිතයන් බවට පත්ව සිටියෙදී, දිවුරුම අත්හැරියේ නැහැ. ඔබේ ශරීරය තුළ මූනිස්සම් වැදී, ඇස් අන්ධ වී, අතපය අහිමි වී, අනන්ත අප්‍රමාණ කැපකිරීම් කළත් පාලකයා හැකි හැම අවස්ථාවකදීම ව්‍යවස්ථාව කඩනවා. චන්ද්‍රිකා තමන්ගේ හිතවතුන්ට ජනාධිපති සමයේදී ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් වැරදිකාරියක් වූවා. ආර්ථිකය කඩා වැට්ටවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මහින්ද රාජපක්ෂව වැරදිකරුවෙකු කළා. මෛත්‍රීපාල සිරිසේන හඳපානේ දේශපාලන කුමන්ත්‍රයක් දියත් කිරීම, පාර්ලිමේන්තු විසුරුවා හැරීම, පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම, රෝයල් පාර්ක් එකේ තරුණිය ඝාතනය කළ අපරාධකරු ජනාධිපති බලතල යටතේ නිදහස් කිරීම වැනි ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් රැසකට වැරදිකරු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව පැවැති නඩු ගණනාවක් ජනාධිපති වූ වහාම මුක්තියට යටත් කර ඉල්ලා අස්කර ගත්තා. ආර්ථිකය කඩා වැටීම පිළිබඳවත් ඔහු වැරදිකරුවෙකු බවටත් පත් කළා. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වීම නිසා, පොලිස්පති ලෙස පත් කළ දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. අගමැති දිනේෂ් ගුණවර්ධන ඒ නියෝගයට අභියෝග කරන අතර, රනිල් වික්‍රමසිංහ කියා සිටියේ කථානායකත් අගවිනිසුරුවරයාත් සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්න කියලයි. චූදිතයෙකුත්, අධිකරණ විනිසුරුවරයෙකුත් සාකච්ඡා කර, නඩු තීන්දු දෙන්නේ ලෝකයේ කොයි රටේද? තවමත් ශ්‍රේෂ්ඨාධිකරණය කථානායක සමග සාකච්ඡා නොකිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. නඩු තීන්දුව පිළිගන්නේ නැතිනම්, පොලිස්පති හැටියට එක අත්සනක් ගහන ලෙස දේශබන්දු තෙන්නකෝන්ට අපි අභියෝග කරනවා. පොලිසියට පැවරී තිබෙන කාර්යභාරය ඉටුකිරීම සඳහා දේශබන්දුම ඕනෑද? එහෙම නම් ඒ ආයතනවලින් වැඩක් නැහැ. පොලිසියට ඕනෑ වැඩකරන්න නම්, ඊළඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වැඩ බලන පොලිස්පති ලෙස පත්කළ හැකියි.

දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණ හැටියට රටේ තිබුණු ඇත්ත ප්‍රශ්න ගැන, ආර්ථික ප්‍රශ්න ගැන ජනතාවට කරුණු කීවා. නමුත් ඔවුන් නිර්මාණය කළ ජාතිවාදී දේශපාලනය විසින් ඇත්ත ප්‍රශ්නය යට ගහමින් රටේම අවධානය යුද්ධය කෙරෙහි යොමු කර තිබුණා. 1982 පැවැත්වීමට නියමිතව තිබුණු මහ මැතිවරණය නියමිත පරිදි පැවැත්වූවා නම්, උතුරේ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනවා. නමුත් ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ 5/6ක බලය ඒ ලෙසම පවත්වාගෙන යාමට ක්‍රියාකිරීම නිසා උතුරේ සන්නද්ධ ව්‍යාපාරයට ඉඩකඩ නිර්මාණය කර 1983 කළු ජූලියෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කරගැනීමේ අවස්ථාව සලසා දුන්නා. 1999 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා දිනන්නේ ටවුන්හෝල් බෝම්බය නිසා. 2005 ජනාධිපතිවරණයේ මූලික වුණේ යුද්ධය. 2010 ජනාධිපතිවරණයේ මූලික වුණේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්දට අත්කර ගැනීමයි. ෆොන්සේකා මහතා අපේක්ෂකයෙක් වෙන්නේත් යුද්ධයට නායකත්වය දුන් නිසයි. 2019 ගෝඨාභය අපේක්ෂකයෙක් බවට පත්කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇති කළ යුද්ධ භීතිය නිසයි. ඒ ගොල්ලෝ යුද්ධ නිර්මාණය කර, දීර්ඝ කාලයක් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගත්තත් දැන් රනිල්ලාට, මහින්දලාට යුද්ධ නැතිව පාළුයි. නැවත නැවත ආගමික ගැටුම් ඇතිකර ගැනීම සඳහා උතුරේත් දකුණේත් උත්සාහ කරන බව අපි දන්නනවා. ඒ අයට දේශබන්ධු ඕනෑ කරන්නේ ඒ නිසයි. ඔවුන් කවදාවත් යුද්ධයේ වින්දිතයන් නොවී තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් එය යොදා ගත්තා.

advertistmentadvertistment
advertistmentadvertistment