දේශපාලනය වැට උඩ ආර්ථිකය ගොඩදැමීම තවත් ඈතට

146

නිදහසින් පසු ඉතිහාසයේ අප මුහුණ දෙන බලවත්ම ආර්ථික අර්බුදයෙන් පොදු ජනයා කාලයක් තිස්සේ තවමත් දැඩි පීඩාවට පත්ව සිටිති. ඔව්හු තවමත් දිනපතාම විඳවමින් සිටිති. මේ හේතුවෙන් පසුගිය කාලය පුරා විරෝධතා රැසක් සිදුව ඇත. මෙහි එක් ප්‍රධාන සන්ධිස්ථානයක් වූයේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවසට යන පැඟිරිවත්ත පාර අසල සිදු වූ විරෝධයයි. මෙහිදී ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන් පිරිසකට අමානුෂික ප්‍රහායක් ද එල්ල කළ බව ද අපට මතකය. ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් හි මෙන්ම රට පුරා ද විරෝධතා රැසක් සිදුව ඇත. මේ විරෝධතා හේතුවෙන් රටේ බලවත් දේශපාලන වෙනස්කම් රැසක් සිදුව තිබේ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් වීම ද මේ අතර තිබේ. මෙලෙස දේශපාලන වෙනස්කම් රැසක් සිදු වූ බව අපට මතකය. එහෙත් මේ විරෝධතා හමුවේ සිදු වූ බලවත්ම දේශපාලන වෙනස නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වීමත්ය. එය සිදු වූයේ ජුලි 09 දින පැවති ජනඅරගලයෙන් පසුවය.

ජුලි 09 දින පැවති ජනඅරගලයෙන් පසු රටින් පැන ගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස් වීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනපති ලෙස පත් විය. ඉන්පසු පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගත යුතු විය. ඒ සඳහා ඉකුත් ජුලි 20 දින පැවති ඡන්දයට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඉදිරිපත් වූ අතර එහිදී විශාල වැඩි ඡන්දයකින් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේය. ඒ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෙන් බව කවුරුත් දන්නා කරුණකි. සමගි ජන බලවේගයේ ඡන්ද ප්‍රමාණයක් මෙන්ම තවත් ජවිපෙ හැර වෙනත් මන්ත්‍රීවරුන්ගේ යම් ඡන්ද ප්‍රමාණයක් ද රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු බව රහසක් නොවේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ලබා ගනිමින් රටේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. ඩලස් අලහප්පෙරුම මහතාට ලැබුණු ඡන්ද ප්‍රමාණය 82 ක් පමණකි. මේ නිසා මහජන වරමක් නැතත් මහජන වරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට හැකිව තිබේ. ඒ තුළ එදා එම මන්ත්‍රීවරුන් පත් කළ මහජන අපේක්ෂාවලට අවසානයේ අත් වූයේ එවන් ඉරණමකි. කෙසේ හෝ දැන් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ ධුර කාලයේ ඉතිරි කාලය සඳහා නව ජනපතිවරයෙක් පත්ව ඇති අතර රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ස්ථාවර රජයක් පැවතීම ද අත්‍යවශ්‍ය කරුණකි. කවර රජයකට වුවත් පවතින උග්‍ර විදේශ විනිමය අර්බුදය ඉතා ඉක්මනින් විසඳීමට අපහසු බව සත්‍යයකි. ඒ සඳහා කාලයක් ගත වේ. දේශපාලන අස්ථාවරභාවය විසින් සිදුවනු ඇත්තේ එම කාලය වැඩි වීමත් මහජනයා වර්තමානයේ මුහුණ දෙමින් සිටින ආර්ථික පීඩාවන් තවත් වර්ධනය වීමත්ය. අරගලකරුවන් මෙන්ම රාජ්‍ය පාලකයන්ද මෙය තේරුම් ගත යුතුය. විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීමට කෙටි, මැදි සහ දිගුකාලීනව පියවර ගන්නා අතරම මහජනයා මේ මොහොතේ විඳින බලවත් ආර්ථික පීඩාවන් කිසියම් දුරකට හෝ සමනය කිරීමට කඩිනම් පියවර ගැනීම ද අවශ්‍ය වේ.

● නව ජනපති පත් වීමෙන් පසු

දේශපාලනය වැට උඩ ආර්ථිකය ගොඩදැමීම තවත් ඈතට

මේ අතර නව ජනපතිවරයා වැඩ භාරගත් ඉකුත් බ්‍රහස්පතින්දා (21) රාත්‍රියේ සහ සිකුරාදා (22) අලුයම පොලිසිය සහ හමුදාව, විශේෂ කාර්ය බළකාය එක්ව ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳි සිටි අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කර ඇත. අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලය සම්පූර්ණයෙන්ම සිය පාලනයට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. ගාලු මුවදොර බාලදක්ෂ මාවත දක්වා ම වූ භූමි ප්‍රදේශයේ සියලු කූඩාරම් ඉවත් කර එම ප්‍රදේශය ද අරගලකරුවන්ගෙන් නිදහස් කරගෙන ගෙන ඇත. මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් දහසකට ආසන්න භට කණ්ඩායමක් එදින (22) අලුයම 1.30 ට පමණ අරගල භූමියට ඇතුළු වී අරගලකරුවන් එම ස්ථානයෙන් පලවා හැර ඇත. මෙහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයන් ද හටගෙන ඇති අතර එහිදී අරගලකරුවන් පිරිසක් තුවාල ලබා ඇත. මෙම ගැටුම් අතරතුර දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් ද ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා ඇත. කිසිදු දැනුම්දීමක් නොමැතිව පැමිණි හමුදා සහ පොලිස් කණ්ඩායම් අරගලකරුවන්ට පන්න පන්නා පහර දුන් බවට අරගලකරුවෝ චෝදනා කරන අතර මේ සිදුවීම අරගලයේ නිරත පිරිස් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත සජීවී ලෙස මුදා හැර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව අත්පත් කරගෙන සිටි පිරිස ජුලි 22 දින අලුයම සිදු කළ මෙහෙයුමකින් අනතුරුව ඉවත් කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ද මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. එහිදී පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් නවදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

● අරගලකරුවන්ගේ ක්‍රියාකලාපයන්

මෙහිදී කිව යුත්තේ අරගලය නාමයෙන් ඇතැම් කණ්ඩායම් සිදුකරන සියලු දේ අනුමත කිරීමට අරගලයට සහාය දෙන පොදුජනයාට පවා හැකියාවක් ඇතැයි සිතිය නොහැකි බවයි. මහජනයා මුහුණ දෙන බලවත් ආර්ථික පීඩාවන් හමුවේ ඉකුත් ජුලි 09 දින විරෝධතාවට පක්ෂ පාට භේදයෙන් තොරව විශාල මහජනතාවක් සහභාගි වූහ. ඒ නිසා එය විශාල ජනපදනමක් සහිත මහජන අරගලයක් ලෙස හැඳින්විය හැකිය. එහෙත් අරගලය තුළ නොයෙක් කණ්ඩායම් රැසක් සිටිති. ඒ අය කරන හැම දෙයක්ම ආර්ථික පීඩනය හමුවේ අරගලයට සහාය දෙන පොදු ජනයා අනුමත නොකරන බව පැහැදිලිය. පොදු හෝ පෞද්ගලික දේපොළ විනාශ කිරීම සහ ගිනි තැබීම වැනි දේ කිසිසේත්ම අපට අනුමත කළ නොහැකිය. එයින් පොදු ජනයාට හෝ මේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීමට හෝ සිදුවන දෙයක් නැත. අවසානයෙන් එම විනාශයේ බර පවා පැටවෙනු ඇත්තේ මහජනතාවට ය. මේ නිසා මහජනයා මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න හමුවේ විරෝධතා පැවැත්විය යුතු වුවත් අරගලය නාමයෙන් රට අරාජික කිරීමට හෝ නීතියට පටහැනි දේවල් කිරීමට ද කිසිවකුට ඉඩ දිය නොහැකිය. ඒ නිසා රජය අරගලකරුවන්ට විරෝධතා දැක්වීමට ඉඩ දෙන අතරම ඔවුන් යම් අනීතික දෙයක් කරන්නේ නම් ඒවා ආරක්ෂක අංශ මගින් නීත්‍යානුකුලව වැළැක්විය යුතුමය. එවැනි අනීතික ක්‍රියා සිදු කිරීමට පොදුජන සහාය පවා ලැබෙනු ඇතැයි අපට සිතිය නොහැකිය.

● ආර්ථික අර්බුදය හමුවේ රජයේ වගකීම

පොදු ජනයා බලවත් ආර්ථික පීඩාවට පත්ව සිටින මොහොතක් නිසා රජය ද තේරුම් ගත යුත්තේ මහජනයාගේ ආර්ථික පීඩාවන් සමනය නොකර, ඒවාට නිසි විසඳුම් පියවර ක්‍රියාත්මක කරන්නේ නැතිව හුදෙක් මර්දනයෙන් පමණක් මේ විරෝධතා මැඬපැවැත්විය නොහැකි බවයි. එසේ වුවහොත් ජුලි 09 දින මෙන් අරගලකරුවන්ගේ ඉදිරි විරෝධතාවලට පොදු මහජන සහාය ලැබීම ද වැළැක්විය නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය, රාජ්‍ය පාලනය සහ ආර්ථික කළමනාකරණය යන දෙකෙන්ම ෆේල් විය. ඊට අමතරව ඔහුගේ පාලනය රටේ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමට මෙන්ම මහජනයා දුන් විශාල ජනවරම ආරක්ෂා කර ගැනීමට ද ඔහු අසමත් විය. මේ නිසා රට නීතියක් නැති තත්ත්වයට පත් වීම මැඬපැවැත්වීමට රජයට පියවර ගැනීමට සිදුවන බව අපට පිළිගැනීමට සිදු වේ. එහෙත් එහිදී ආරක්ෂක අංශයේ ඇතැම් ක්‍රියාකලාපයන් ද අපට අනුමත කළ නොහැකිය. ආරක්ෂක අංශ මෙන්ම මාධ්‍යවේදීන් කරන්නේ ද රාජකාරියකි. මහජනයාට තොරතුරු සැපයීම සඳහා තමන්ගේ රාජකාරිය කරන ඔවුන්ට අමානුෂිකව පහර දීමෙන් ආරක්ෂක අංශ කරන්නේ ද අනීතික ක්‍රියාවක් නොවේ ද? මින් ආරක්ෂක අංශ බලාපොරොත්තු වන්නේ කුමක් ද? මේ සියලු ප්‍රශ්නවලට මුලික හේතුව රටේ පවතින් ආර්ථික හා විනිමය අර්බුදය සමනය කර ගැනීමට රජය අසමත් වීමයි. ඒ නිසා මූලික වශයෙන්ම අවශ්‍ය කරන්නේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට සියලු දෙනා එක්ව පුළුල් දේශපාලන සම්මුතියකින් සාමූහිකව කටයුතු කිරීමයි. දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයා ලෙස ද තවත් පිරිසක් ඇමැතිවරු ලෙසද පත්ව තිබේ. රට නිවැරදි දිශාවකට රැගෙන යමින් ආර්ථික අර්බුදය විසඳන අතරම කඩිනමින් මහජනයාගේ බලවත් ආර්ථික පීඩාවන් සමනය කිරීමට ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට, දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාට මෙන්ම නව අමාත්‍ය මණ්ඩලයට ද හැකි වේවායි අපි සුබ පතමු.

රජය සහ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් මේ වෙලාවේ දේශපාලනය නොකර යම් අන්තර් කාලයකට එක්ව සාමූහික එකඟත්වයෙන් රට නගන යම් වැඩපිළිවෙළක් සඳහා ස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇති කර ගැනීමට කැපවිය යුතු වේ. ඒ ගැන ඇත්ත පවසමින් නිරන්තරයෙන් මහජනයා දැනුම්වත් කරමින් මහජනයාගේ විශ්වාසය හා සහාය ද දිනාගත යුතුය. මේ ආර්ථික පීඩාවන් හමුවේ හෝ මහජනයා කිසියම් ඉවසීමකින් කටයුතු කරනු ඇත්තේ එවිටය. එසේ දේශපාලන ස්ථාවරත්වයක් සහ නිසි ආර්ථික සැලසුම් නොමැති වුවහොත් මහජනයාට ගත කිරීමට සිදුවන අමාරු කාලය සහ ආර්ථික පීඩාවන් තවත් වර්ධනය වනු ඇති අතරම රටේ මහජන විරෝධතා මතුවීම ද වැළැක්විය නොහැකිවනු ඇත.

● උද්ධමනය වැඩි වෙයි

තෙල් නැතිකම, ගෑස් හිඟය සහ බඩු මිල අසීමිතව ඉහළ යෑම මහජනයා මුහුණ දෙන බලවත්ම ප්‍රශ්නයි.

ගෑස් නම් දැන් බෙදාගෙන යයි. නව කිව්ආර් කේත ක්‍රමය සහ කෝටා ක්‍රමය සමග තෙල් බෙදා හැරීමේ සිදු වූ විශාල අවභාවිතයන් සමනය වනු ඇතැයි ද අපි සිතමු. කෙසේ වෙතත් ඉදිරියේ දී තවත් බඩු මිල ඉහළ යනු ඇත. ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මගින් මනිනු ලබන උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 45.3හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් දක්වා ඉහළ ගොස් ඇත. උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 58.0හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 75.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 34.2හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 43.6 දක්වා ඉහළ ගොස් තිබේ.

2022 ජුනි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට 10.91ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 7.25කින් සහ සියයට 3.66කින් ඉහළ යෑම මේ සඳහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ සහල්, එළවළු, නැවුම් මත්ස්‍ය, සීනි, කිරිපිටි සහ කරවල මිල ගණන් ඉහළ ගියේය. තවද ආහාර නොවන කාණ්ඩය තුළ 2022 ජුනි මාසයේ දී ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු), ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව හා ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. තවද වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 16.3හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 20.8 දක්වා ඉහළ ගොස් ඇත.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය ද 2022 මැයි මාසයේ පැවති සියයට 37.7හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 49.3 දක්වා ඉහළ ගොස් ඇත. ඉදිරියේ දී සියයට 70 ක් පමණ දක්වා උද්ධමනය තවදුරටත් වර්ධනය වනු ඇත. මේ නිසා මහජනයාට ද තවදුරටත් ආර්ථික පීඩාවන්ට මුහුණ දීමට සිදු වීම වැළැක්විය නොහැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment