දේශපාලන අතපෙවීමෙන් රාජ්‍ය සේවය බේරාගැනීමේ අවශ්‍යතාව

240

රටේ සියලුම ක්ෂේත්‍රයන්හි ජනතාව අරගල භූමියට බැස ඇති මෙහොතක 2022 අප්‍රේල් මස 28 වන දින රාජ්‍ය සේවාවේ මාණ්ඩලික නිලධාරීන්ද ඇතුළු බොහෝදෙනෙක් සටන් පුවරු රැගෙන විරෝධතා දක්වන අයුරු පෙනුනි. ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ නිලධාරීන් වර්ජනයකට හෝ විරෝධතාවකට සහභාගි වූ අතීතයක් අප මතකයන් තුළ නැත. එහෙත් මෙදින විශාල රාජ්‍ය සේවකයන් පිරිසක් දශක ගණනක් සිය සිත්තුළ කැවි කැවී තිබූ ඉල්ලීම් පුවරුවලට ලියා ඒවා රැගෙන යන අයුරු දැක අපද ප්‍රීතියට පත්වීමු. විශේෂයෙන්ම මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් අත වූ සටන් වැකි අතර දෙකක් පිළිබඳ මා සිත තදින් ඇදී ගියේය. එකක් වූයේ ”රාජ්‍ය සේවාවට දේශපාලන අතපෙවීම් නතරකරනු” යන්න වන අතර අනෙක වූයේ “නමට පමණක් ස්වාධින වීම පලක් නැත” යන්නය. අද රාජ්‍ය සේවාව තුළ රාජ්‍ය සේවකයන්ගේ පත්වීම් වලදීත්, මාරුවීම් වලදීත්, උසස්වීම් වලදීත්, විනය කටයුතු වලදීත් විනය බලධරයන්ට දේශපාලන නායකත්වයෙන් බලපෑම් ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. තනතුරු පුරප්පාඩුවූ විට තම පාක්ෂිකයන්ගේ ලැයිස්තුවක් ඇමැතිවරයා ලේකම් වරයාට භාරදේ. ඉන් පසු එම ලැයිස්තුවේ සඳහන් අය තෝරාගත හැකි පරිදි බඳවාගැනීමේ ක්‍රමවේද සකස් කර ඔවුන් බඳවා ගනු ලැබේ. විශේෂයෙන්ම තරග විභාගවලින් හා ජ්‍යෙෂඨත්වය පදනම් කරගෙන තෝරාගන්නා අය හැරුන විට අනෙක් සියලු තනතුරු පුරවන්නේ මේ අන්දමටය. එසේම උසස්වීම් ලබාදීමේදීද ඒ අන්දමින්ම බලපෑම් කිරීම සාමාන්‍ය දෙයකි. ස්ථානමාරු වලදී ඉතා තදින්ම මෙම දේශපාලන බලපෑම සිදුවේ. විදුහලකට තම පාක්ෂිකයෙකුගේ දරුවකු ඇතුළත් නොකිරීම නිසා විදුහල්පති හා අමනාපයක් බලයට පත් දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ඇති වුවහොත් එම විදුහල්පතිවරයා මාරුකිරීමට දේශපාලන නායකත්වය කටයුතු කරනු ඇත. මේ අන්දමින් පොලිස් ස්ථානාධිපතිවරු, සහකාර පොලිස් අධිකාරී වරු, පොලිස් අධිකාරීවරු, ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් වරුන්, දිස්ත්‍රික් ලේකම් වරුන් ආදී ඉතා ප්‍රබල නිලධාරීන් පවා මාරුකිරීමට අද දේශපාලන නායකත්වය කටයුතු කරනු ඇත. මේ පිළිබඳ මට අත්දැකීම් රාශියක් ඇත. මා ශ්‍රී ලංකා පරිපාලන සේවාවට ඇතුළත්ව පළමු පත්වීම ලබාගත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරී/උපදිසාපති ලෙසය. එහෙත් ගතවූයේ මාස 4 ක් පමණි. කලවාන ආසනයේ බලධරයා වූ නියොජ්‍ය අමාත්‍යවරයෙකුගේ ඉල්ලීම පරිදි මා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරී/උපදිසාපති ලෙස මාරුකරන ලදී. ඉන්පසු කෙසේ හෝ මා මගේ අලුතින් කුමන හෝ තනතුරකට අයැදුම්පත් දැමූවිට අයැදුම්කරුවන් දේශපාලනඥයින් හමුවී බලපෑමක් කරවාගැනීම අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එසේම දුෂ්කර පළාතක සේවය කරන රාජ්‍ය නිලධාරියකුට පහසු ස්ථානයකට මාරුවීමක් අවශ්‍ය වූ විට දේශපාලනඥයන් සොයා යෑම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එසේම තම ප්‍රදේශයේ යම් නිලධාරියකු තමාට අනවශ්‍යයයි සිතූවිට දේශපාලනඥයා සොයා ගොස් එම නිලධාරීන් මාරු කිරීම අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එහෙත් අප පාසල් යන යුගයේ කිසිදු රැකියාවකට හෝ මාරුවකට කිසිවකු දේශපාලනඥයන් පසුපස ගියේ නැත. එසේම රැකියා ලබාදීමේදී විභාග ක්‍රමයක් හෝ සම්මුඛ පරීක්ෂණයකින් ලකුණු දී තෝරාගැනීමේ ක්‍රමයකුයි පැවතුනේ. 1970 වන තෙක් විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදීත් අනුගමනය කළේ මේ අන්දමින් කිසිදු දේශපාලන ලැයිස්තුවකින් තොරව පත්වීම් දීමේ ක්‍රමයයි. 1970 බලයට පත් රජය ගුරුපත්වීම් සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ගෙන් ලැයිස්තු ලබාගෙන උපාධිධාරීන්ට පත්වීම් දුන් ආකාරය දේශපාලන ලැයිස්තුවලින් පත්වීම් දීම පිළිබඳ මගේ මතකයේ ඇති පළමු අවස්ථාවයි. මෙම දේශපාලනීකරණය වීම අහම්බෙන් ඇතිවූවක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළින් ව්‍යවස්ථාපිතවම ඇති වූවක් නිසා ඒ පිළිබඳ විමසා බැලීම වැදගත් වේ.

අප 1948 නිදහස ලැබුවේ සෝල්බරිසාමි විසින් පිළියෙල කළ ව්‍යවස්ථාව අනුවය. එම ව්‍යවස්ථාව අනුව සමස්ත රාජ්‍ය සේවයේම පත්වීම්, මාරුකිරීම්, උසස්කිරීම් හා විනය පාලනය පිළිබඳ අධිකාරී බලය පැවරුනේ අග්‍රාණ්ඩුකාරවරයාටය. (Governor General ) ඔහුට එම බලය යම් යම් රාජ්‍ය සේවා ගණයන් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් වෙත අභිනියෝජනය කළ හැකිවිය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට තිදෙනෙක් පත්වූ අතර එම පත්වීම් කරන්නේ ද අග්‍රාණ්ඩුකාර වරයාය. අග්‍රාණ්ඩුකාරවරයා රාජ්‍ය සේවය පිළිබඳ තීරණ ගන්නේද රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසීමෙනි. අග්‍රාණ්ඩුකාරවරයා පත් කළේ බි්‍රතාන්‍ය මහරැජිනයි. මෙම ක්‍රමය තුළ අගමැතිට හෝ ඇමති මණ්ඩලයට හෝ මන්ත්‍රීවරුන්ට රාජ්‍ය සේවයේ පත්වීම්, මාරුකිරීම්, උසස්කිරීම් හෝ විනය කටයුතු පිළිබඳ කිසිදු බලයක් නොවීය. එබැවින් මෙම යුගයේ රාජ්‍ය සේවාව නිර්දේශපාලනීකරණය වූවකි. සියලු කටයුතු කරන ලද්දේ ක්‍රමවේද පදනම් කරගෙනය. යම් හෙයකින් අග්‍රාණ්ඩුකාරවරයාගේ හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ තීරණයකින් අතෘප්තිමත් වන පුද්ගලයෙකුට සාමාන්‍ය අධිකරණයේ පිහිට පැතිය හැකිවිය. අප රට බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිතයක් වූ කාලයේ උපත ලැබූ මට රාජ්‍ය සේවය මෙම තත්තත්වයේ පැවති යුගයේ රාජ්‍ය සේවාවට ඇතුළු වන්නට ලැබීමද භාග්‍යයකි. එහෙත් විශ්‍රාම ගැනීමට සිදුවූයේ දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවාව යටතේය. මේ අන්දමින් රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීමේ වැදගත් අවස්ථා පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කිරීමට අදහස් කරමි.

1948 හඳුන්වා දුන් මෙම පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1970 දක්වා නොවෙනස්ව පැවතුනි. 1970 දී සමගි පෙරමුණු රජය අතිවිශාල බහුතර බලයක් ඇතිව බලයට පත්වූ නිසාත් පාර්ලිමේන්තුවේ 2/3 බලය ලැබූ නිසාත් 1972 දී ව්‍යවස්ථා සම්පාදක ඇමැති වශයෙන් කටයුතු කළ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා විසින් නව ස්වාධීන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන ලදී. මෙතෙක් පැවති අධිරාජ්‍යවාදී ලක්ෂණ නව ව්‍යවස්ථාවෙන් ඉවත් කරන ලදී. එබැවින් රැජින විසින් පත්කළ අග්‍රාණ්ඩුකාර ධුරය අහෝසි කරන ලදී. ඒ වෙනුවට විධායන නොවන ජනාධිපති ධුරයක් හඳුන්වාදෙන ලදී. ඒ අනුව සකස් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106-1 ) 2 වගන්ති අනුව අග්‍රාණ්ඩුකාරයා සතුවූ රාජ්‍ය සේවකයන් පත්කිරීමේ උසස්කිරීමේ, මාරුකිරීමේ සේවයෙන් පහකිරීමේ හා විනය කටයුතු පිළිබඳ බලතල මහජන නියෝජිතයන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයට පැවරුණි. එසේම 115 වගන්තිය පරිදි අමාත්‍ය මණ්ඩලයට අවශ්‍යනම් එම බලතල එක් අමාත්‍යවරයෙකුට පැවරිය හැකිවිය. ඒ අනුව අවශ්‍යනම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අදාළ සියලු සේවකයන්ගේ සමස්ත බලතල රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට පැවරීමට අමාත්‍ය මණ්ඩලයට පුළුවන. එවිට එක් අමාත්‍යවරයෙකුට එසේ බලතල පැවරුන ක්ෂේත්‍රයට අදාළ සේවකයන්ගේ සමස්ත පාලනයම එම ඇමැතිවරයාට සිදුකළ හැකිය. එසේම 116 වගන්තිය පරිදි අමාත්‍යවරයාට තමාට පැවරුන බලතල එක් රාජ්‍ය නිලධරයෙකුට පැවරිය හැකිය. පත්කිරීම්වලට අදාළ උපදෙස් ලබාගැනීම සඳහා රාජ්‍ය සේවක උපදේශක මණ්ඩලයක් 111 වගන්තියෙන්ද විනය කටයුතු වලදී අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා රාජ්‍ය සේවා විනය මණ්ඩලයක් 112 වගන්තියෙන්ද පත් කරන ලදී. අමාත්‍ය මණ්ඩලය වගකිව යුත්තේ ජාතික රාජ්‍ය සභාවටය. මෙම කාර්යයට අදාළ කාර්පටිපාටි හා ප්‍රතිපත්තිමය කරුණු තීරණය කිරීමද අමාත්‍ය මණ්ඩලයට පැවරුනි. එසේම මෙතෙක් ක්‍රියාත්මකව පැවති රාජ්‍ය සේවා කොමිෂන් සභාවද අහෝසි කරන ලදී. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ගේ පත්වීම්, මාරුකිරීම්, උසස්කිරීම් හා විනය පාලනය පිළිබඳ අසතුටට පත්වන පුද්ගලයෙකුට අධිකරණයේ පිහිට පැතීමට තිබූ අවස්ථාවද අහිමි කරමින් 106.5 වගන්තියෙන් අමාත්‍ය මණ්ඩලය හෝ අභිනියෝජිත ආයතනයක් රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ගන්නා වූ තීරණයක් පිළිබඳ ප්‍රශ්න කිරීමට හෝ මතයක් ප්‍රකාශ කිරීමට කිසිදු අධිකරණ ආයතනයකට නොහැකි බව සඳහන් කර ඇත. දළ වශයෙන් ගතහොත් රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීමේ ව්‍යවස්ථාපිත වෙනස ඇරඹුනේ මෙසේය. එයයි අද ඔඩු දුවමින් ගොස් සමස්ත සමාජයම එය වෙනස්කරන ලෙස අද අරගල කරන්නේ. මෙම තීරණයෙන් පසුවයි බලයට පත්වන රජයයන් බලයට පත්වීමෙන් පසු තමාට උදවුකළ අයට ලැයිස්තු සකස්කර පත්වීම් දීමත් තමාගේ පාක්ෂිකයන් සතුටු කිරීමට රාජ්‍ය සේවකයන් කිසිදු හේතු දැක්වීමකින් තොරව පලිගැනීමේ චේතනාවෙන් මාරුකිරීමත් සිදුකිරීම ආරම්භ කරන ලද්දේ. එසේම උසස්වීම් වලදීද මන්ත්‍රීවරුන් පවා බලපෑම් කරන්නට පටන් ගත්තේ. රාජ්‍ය සේවකයන්ද තමාගේ මාරුවීම් හා උසස්වීම් සඳහා මැති ඇමැතිවරුන්ගේ සහාය පතන්නට වූයේද මින් පසුවය.

ඉන්පසු යළි 1977 දී බහුතර බලයක් සහිතව බලයට පත් රජයද 1978 දි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එමින් තවත් වෙනස්කම් කරන ලදී. එහෙත් අමාත්‍ය මණ්ඩලයට පවරන ලද රාජ්‍ය සේවයට අදාළ කිසිදු බලතලයක් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් නොකරන ලදී. 55.3 වගන්තිය පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් පත්වන අතර අමාත්‍ය මණ්ඩලයට කැමති නම් දෙපාර්තමේන්තු ප්‍රධානීන් හැර අනිත් සේවකයන් පිළිබඳ අධිකාරී බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරිය හැකිය. එහෙත් මෙම රාජ්‍ය සේවා කොමිසමට සාමාජිකයන් පත් කරන්නේ සිය අභිමතය පරිදි ජනාධිපත් බැවින් එය ස්වාධීන කොමිෂන් සභාවක් නොවීය. එසේම 57 වන වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය උපදෙස් දෙන අවස්ථාවලදී එම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කමිටු පත්කර බලතල අභිනියෝජනය කළ හැකිය. එසේම 58 වන වගන්තිය අනුව රාජ්‍ය නිලධරයෙකුට වුවද එසේ බලතල අභිනියෝජනය කළ හැකිය. එසේම 55.5 වගන්තියෙන් 1972 ව්‍යවස්ථාවේ 106.5 වගන්තියෙන් සඳහන් කළ අමාත්‍ය මණ්ඩලය හෝ අභිනියෝජිත ආයතනයක් රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ගන්නා වූ තීරණයක් පිළිබඳ ප්‍රශ්න කිරීමට හෝ මතයක් ප්‍රකාශ කිරීමට කිසිදු අධිකරණ ආයතනයකට නොහැකි බව සඳහන් කොටසට සංශෝධනයක් එක් කරමින් 126 වගන්තියේ (1) ඡේදය යටතේ සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකදී හැර රාජ්‍ය සේවකයන්ගේ පත්කිරීම්, මාරුකිරීම්, උසස්කිරීම්, විනය කටයුතු හෝ සේවයෙන් පහකිරීමේ ලා අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය සේවා කොමිසම, එම කොමිසමේ කමිටුවක් හෝ රාජ්‍ය නිලධරයෙක් ගන්නා තීරණයක් කිසිදු අධිකරණ ආයතනයකදී ප්‍රශ්න කළ නොහැකිය යනුවෙන් සඳහන් කර ඇත. මේ තුළින් 1972 න් පසු තමාට සිදුවන කිසිදු අසාධාරණයකට එරෙහිව අධිකරණයකට යෑමට නොහැකි වූ රජයේ සේවකයන්ට කිසියම් සහනයක් ලැබුණි. තමාට සිදුවූ අසාධාරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තියේ (1) ඡේදය යටතට මූලික අයිතිවාසිකමක් උල්ලංගනය වී ඇත්නම් එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට රජයේ සේවකයනට අවස්ථාව සලසා දෙන ලදී. මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නම් අඩු තරමින් රුපියල් ලක්ෂ 7 ක් හෝ 8 හෝ ඊට වැඩි ප්‍රමාණයක් වැයවනු ඇත. ඒ නිසා සාමාන්‍ය රජයේ සේවකයෙකුට මෙම සහනයෙන් ප්‍රතිඵලයක් ගැනීමට නොහැකි වුවද මෙම සංශොධනයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පත්වීම් ලබාදීමේදී තමන්ට අසාධාරණ වූ රජයේ සේවකයන් සාධාරණත්වය ලබාගත් අවස්ථා ඇත. එසේම අසාධාරණ ස්ථාන මාරුවලට එරෙහිවද අසාධාරණ උසස්වීම්වලට එරෙහිවද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් සාධාරණත්වය ඉටුකර ගත් රජයේ සේවකයන් ඇත. ඒ නිසා මෙම සංශෝධනය තරමක් හෝ රජයේ සේවකයන්ට දේශපාලන බලපෑම් මත අසාධාරණයක් සිදුවූ අවස්ථාවක වෘත්තීය සංගම් මට්ටමෙන් වියදම් කර හෝ සාධාරණයක් ලබාගැනීමට ලැබුන මහඟු අවස්ථාවකි. 1972 ව්‍යවස්ථාව පරිදිත් 1978 ව්‍යවස්ථාව පරිදිත් රාජ්‍ය සේවකයනට තමන්ට සිදුවන අසාධාරණයකදී අභියාචනා කිරීමේ ස්වාධීන ක්‍රමවේදයක් හඳුන්වා දී නැති වීම අඩුපාඩුවකි. 1978 ව්‍යවස්ථාව තුළින් ජනතා පරමාධිපත්‍ය යන්නට රජයේ බලතල හා මූලික අයිතිවාසිකම් හා සර්වජන ඡන්ද බලයද ඇතුළත් කරන ලදී. ඒ නිසාය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකදී ශ්‍රේෂ්ඨාධිකරනයට පැමිණිලි කිරීමට රජයේ සේවකයන්ටද අවස්ථාව උදා වුණේ.

විජය වික්‍රමරත්න -ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමික

 

advertistmentadvertistment
advertistmentadvertistment