දේශපාලන කැළඹිල්ල සහ ජනතාව රැවටිල්ල!

268

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නිශ්චිතව ප්‍රකාශ කර නොතිබුණත්, නිසැකයෙන්ම ලබන සැප්තැම්බර් 17වැනිදා සහ ඔක්තෝබර් 16වැනිදා අතර දිනක එය පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ නිවේදනය අනුව නිගමනය කළ හැකිය. දේශපාලන පක්ෂ ඒ සඳහා සූදානම් වන ආකාරයද අපි දකිමු. ඒ දේශපාලන කැළඹිල්ල පමණක් නොව ඒ සමඟ කෙරෙන රැවටිල්ල ද දවසින් දවස උත්සන්න වෙමින් තිබේ. එහෙත් ඒ රැවටිල්ල මනාව වටහා ගත හැකි දේශපාලන සාක්ෂරතාවක් සහිත ජනතාවක් ද අද සිටිති. එසේ වුවද ඇත්ත නැත්ත කිරීමේ හා කෙන්ද කන්ද කිරීමේ බාල දේශපාලන ක්‍රියාකාරකම්වල ද අඩුවක් නැත. මුළුමහත් සමාජයම වෙළා ගත් දූෂණ, වංචා හා අක්‍රමිකතා ද ඉහවහා යමින් තිබෙන අතර භීෂණයක අඳුරද පැතිර යන බව දිනපතාම පාහේ ජනමාධ්‍යවලින්ද අනාවරණය වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ දින කීපයකට පෙර ප්‍රකාශ කළේත් අලුත් නීති පද්ධතියකින් නව දේශපාලන සංස්කෘතියක් ගොඩනඟන බවය. ආණ්ඩුව පසුගිය දෙවසර ඇතුළත පමණක් නීති 75ක් සම්මත කර ඇති බව ද ජනාධිපතිගේ අවධාරණය විය. තෙල්දෙණියේ නව අධිකරණ සංකීර්ණය විවෘත කරමින් (15දා) ජනාධිපතිවරයා එලෙස සඳහන් කර තිබුණි. මෙහිදී ඔහු විසින් අවධාරණය කරන ලද විශේෂ කරුණක් ද විය. මේ ආණ්ඩුව හොරුන් රකින බවට චෝදනා කළත් හොරු අල්ලන නීති ගෙන ඒමට ක්‍රියා කළ බවය.

ඇත්ත වශයෙන්ම මේ වනවිට ශ්‍රී ලංකාවේ තිබෙන දූෂණ, වංචා, හොරකම් ආදිය ගැන ජාත්‍යන්තරය ද දනී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මේ රටට ණය ලබාදුන් රටවල් පවා මේ මහා පරිමාණ දූෂණය පිළිබඳ කරුණ පෙන්වා දී තිබේ. දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය ආයතනවල ද මේ දූෂණ වංචා පිළිබඳ කප්පිත්තෝ සිටිතියි රටම දනී. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු මෙන්ම එම ක්‍ෂේත්‍රයෙහි ඉහළම නිලධරීන් කීපදෙනෙක් ද ඖෂධ මගඩියක් සම්බන්ධයෙන් චූදිතයන් ලෙස අත්අඩංගුවේද පසු වෙති. තවමත් ඒ ඖෂධ ජාවාරමේ අක්‍රමිකතා, වංචනික මෙහෙයුම් ගැන අලුත් තොරතුරු ද ලැබෙමින් තිබේ. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එල්ල වූ විශ්වාස භංගයේදී ඔහු රැක ගැනීමට අත් එසවූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් ද වෙති. ඒ අපේ හොරා අපට හොඳා යන තුච්ඡ දේශපාලන න්‍යාය නිසාය. ඒවා දීර්ඝ වශයෙන් විමසා බැලිය යුතු බරපතළ දේවල්ය.

දේශපාලන කැළඹිල්ල සහ ජනතාව රැවටිල්ල!

කෙසේ වුවද මේ වනවිට සමාජ දේශපාලන හා මාධ්‍යවල මෙන්ම ජනතාවගේද අවධානය යොමුව ඇත්තේ දවසින් දවස උණුසුම් වන දේශපාලන බල අරගලය කෙරෙහිය. පසුගිය දිනක මේ ආණ්ඩුවේම අගමැති ලෙස සිට එම ධුරය හැරයෑමට සිදුවූ මහින්ද රාජපක්‍ෂ එළඹෙන ජනාධිපතිවරණ දේශපාලන සමය තුළ ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ආණ්ඩුවට කිසියම් සිහි කැඳවීමක්ද කර තිබුණි. මේ ආණ්ඩුවේ බල උල්පත ලෙස හැඳින්විය හැකි පොදුජන පෙරමුණේ හෙවත් පොහොට්ටුවේ නායකයා වන මහින්දගේ එම නිවේදනය ආණ්ඩුවේ අවධානයට යොමුවී තිබේද? මහින්ද ආණ්ඩුවට මතක් කරන්නේ රාජ්‍ය සම්පත් විකිණීම ආදී ප්‍රබල දේශපාලන හා ආර්ථික ක්‍රියාකාරකම් නවත්වා, අලුතින් ජනවරමක් ලබාගන්නා අයට ඒ සඳහා තීරණ ගැනීමට ඉඩදීම යෝග්‍ය බවය. රජයට අයත් වත්කම් හා ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර නිසා වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු ජනතාව අතර නොසන්සුන්තාවක් හට ගෙන ඇති බව මහින්දගේ එම නිවේදනයේදීත් අවධාරණය කර ඇත.

මෙහිදී තමත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී රජය සතු කිසිදු දේපොළක් හෝ ව්‍යාපාරයක් විකුණුවේ නැති බව ද මහින්දගේ නිවේදනයේ සඳහන් කරමින්ම, මේ තිබෙන්නේ ගෝඨාභයගේ ධුර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බව ද ඔහු පවසයි. මෙහි කිසියම් උත්ප්‍රාසයක්ද ඇත. ඍජුව කියන්නේ නම් ගෝඨාභයගේ ජනවරමින් ලබාගත් ජනතා අනුමැතියට යටත්ව විනා වෙනත් දේවල් කිරීම නොමනා බවය. එය ඒ ජනවරමට එරෙහිවීමක් මෙන්ම චර්යා ධාර්මිකවද නොකළ යුත්තකි.

නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම පැවැසුවේ ආණ්ඩුව මහින්දගේ නිවේදනය තඹයකට මායිම් නොකරන බවකි.

ඉහත සඳහන් කළ පරිදිම මේ ආණ්ඩුව ඒ නිවේදනයට සංවේදී නැති බව අපට ද හැඟෙයි. මේ වනවිට ජනතාව පීඩාවට පත් කෙරෙන වර්ජන තුනකි. සෞඛ්‍ය සේවකයන්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් හා ග්‍රාම නිලධාරීන් ආදීහු මේ වර්ජනවලට එක්ව සිටිති. සෞඛ්‍ය සේවයේ වර්ජනයකින් ජනතාව පත්වන පීඩාව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ග්‍රාම නිලධාරීන් සේවයට වාර්තා නොකිරීම නිසා ගම්වල අවමඟුල් කටයුතු පවා ඇනහිට තිබේ යැයි වාර්තා වේ. විශ්වවිද්‍යාල පද්ධතියම අක්‍රිය වූ අනධ්‍යයන සේවක වර්ජනයද තවමත් සිදුවෙයි. මේ වර්ජකයන්ගේ ඉල්ලීම් හා වෘත්තීය හිමිකම් ගැන අපට යමක් කිව නොහැක. එහෙත් මේ හැම එකකම පීඩනය දුක ජනතාවට දරා ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් නම් අපට විවේචනයක් තිබේ. මේ අතරම රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව වෘත්තිය සංවිධාන, සිවිල් පුරවැසි විරෝධතා ද නැඟෙයි. වෘත්තීයවේදීන්ගේ බහුවිධ සන්ධාන මාධ්‍ය හමු මඟින්ද මහ පාරේ සිදුකරන විරෝධතාවලින් ද රටටත් ජනතාවටත් අනතුරු අඟවන්නේ ආණ්ඩුවේ අධිපතිවාදී මෙහෙයුම් නිසා ජාතික සම්පත් අනතුරක හිරවී තිබෙන බවය. විශේෂයෙන් ලාභ ලබන ටෙලිකොම්, රක්ෂණ, විදුලිය හා මිල්කෝ වැනි ආයතන සම්බන්ධයෙන් අද මතුවී තිබෙන වාද විවාද ආණ්ඩුවේ ක්‍රියා මාර්ග ප්‍රශ්න කරන ආකාරය අපට පෙනේ. ඒ නැතත් මහින්දගේ නිවේදනය අනුව වුවද මේ ආන්දෝලනාත්මක ආර්ථික සැලසුම් සඳහා තිබෙන හදිසිය කුමක් දැයි අපට ද ප්‍රශ්නයකි. පොලිස් මර්දනය, කඳුළු ගෑස් විනා ආණ්ඩුවට ඒවා සම්බන්ධ සාධනීය ප්‍රතිචාරයක් ද නැත. ඇත්තටම විදුලිබල මණ්ඩලය යනු මේ වනවිටත් අධික ලාභ උපයන, ජන පීඩක ආයතනය කැයි චෝදනාවක් ද තිබෙන රාජ්‍ය ආයතනයකි. තව දෙතුන් මසක් ඇතුළත ඒ ආයතනය කඩා වැටේ යැයි සිතිය නොහැක. ඒ කිසිවක් නොතකන අධිපතිවාදී මානසිකත්වයකින් කටයුතු කරන ආණ්ඩුවක තත්ත්වයට මේ පාලකයෝ පත් විය යුතු නොවෙති.

පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් “ඔන්ලයින් වීසා” ප්‍රශ්නය සම්බන්ධයෙන් වුවද තවමත් අදාළ ඇමැතිවරයා හෝ ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් කර නැත. එබඳු පසුබිමක මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඒ ගැන විමර්ශනයකට සූදානම් විය. එහෙත් අදාළ අමාත්‍යාංශයේ හා ආගමන විගමන නිලධාරීන්ද එම කමිටුවට නොපැමිණි බව වාර්තා විය. ඒ කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාට කළ හැකිව ඇත්තේ එම නොසලකිල්ල සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම පමණක්ද? මේ සාමූහික නොපැමිණීම එම කමිටුව තඹයකට ගණන් නොගත් නිලධාරි ප්‍රතිචාරයක්ද? එබඳු හයියක් ඒ නිලධාරීන්ට ලැබුණේ කෙසේද යන්නත් ප්‍රශ්නයකි. සැබැවින්ම මේ වීසා ප්‍රශ්නය පිළිබඳව තිබෙන විවේචන මෙන්ම චෝදනා ඉතා බැරෑරුම්ය. විපක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ලට, අනුව මේ ගනුදෙනුවේ ලාභයක් කිසියම් සමාගමකට ලැබේද?

පෙරටුගාමී පක්ෂය චෝදනා කරන්නේ මේ සමාගමට යන මුදල් ඡන්ද වැඩට යෙදවිය හැකි බවටය. ඒවා රහස් වශයෙන් තබා ගත හැක්කේ ටික කලකටය. එහෙත් මුදල් කාරක සභාවට නොපැමිණීම, සම්බන්ධයෙන් දක්වා තිබෙන හේතුව අපට සිහිපත් කරන්නේ “තණකොළ කැපීමට කිතුලට ගිය මිනිහාගේ කතාවය. 2016 දී නැතිවූ ලිපි ගොනු 2024 වනවිටත් සොයා ගත නොහැකි වීමෙන් මේ නිලධාරීන්ගේ වගකීම් විරහිත ස්වභාවය හෙළි නොවේද? ඒ කුමක් වුවත් කටුනායක ගුවන්තොටුපළේදී වීසා ප්‍රශ්නයට කලබල කිරීම ගැන නම් ඇමැතිවරයා තදින් සිටින බවක් ද පෙනේ. ගුවන්තොටුපළක කලබල කිරීම වරදක් බව ද ඔහු පවසයි. එය පිළිගත හැකිය. එසේම ඉකුත් 14වැනිදා එම ගුවන්තොටුපළේ යකා නැටූ ආණ්ඩුවේ බලධාරියෙක් ගැන පුවත්පතක් සිය මුල් පුවත ලෙස වාර්තා කර තිබුණු අතර රූපවාහිනි නාලිකා එය සජීවී රූපරාමු සහිතව ද දැක්විය. ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයද වැදගත්ය. ගුවන්තොටුපළට ගොස් දේශපාලන චණ්ඩි පාට් දැමීම ඒ පුද්ගලයාගේ අමනකම ප්‍රදර්ශනය කිරීමක් විය හැකිය. එහෙත් ඇමතිවරයා කියන පරිදි ගුවන්තොටුපළේ කලබල කිරීමට කිසිවකුට බැරිය. එසේ නම් මේ පිළිබඳව ද ඇමතිවරයා පියවරක් ගත යුතුය.

දේශපාලන කැළඹිල්ල සහ ජනතාව රැවටිල්ල!

මෙබඳු සමාජ – දේශපාලන කැළඹිලි අස්සේ වුවද ආණ්ඩුව සිය ජනාධිපතිවරණ මෙහෙයුම් සඳහා විවිධ ප්‍රයත්නයන් දරන බව ද ඉතා පැහැදිලිය. ජනාධිපති රනිල් මෙතෙක් ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බවක් නිශ්චිතව ප්‍රකාශ කර නැති වුවද ඔහු ඒ සඳහා මංපෙත සකස්කරමින් සිටියි. ඔහු මේ රට ගොඩගැනීමට කැප වූ ආකාරයත් අනෙක් අය මඟහැර ගිය හැටිත් නිතරම ජනතාවට මතක් කරයි. ඔහුගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍ය නොවුවද ඔහු මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් සඳහා ක්‍රියා කළ බව කිව යුතුය. දැන් ඔහු ප්‍රශ්න කරන්නේ ඒ ආර්ථික අගාධයට යළි වැටීමට අවශ්‍ය ද යන්නයි. එහි අර්ථය වන්නේ ද මේ යන ගමන වෙනස් කළොත් යළි රට අගාධයකට වැටෙන බවය. ඇත්තටම අද රට තිබෙන්නේ දේශපාලන හා ආර්ථික වශයෙන් ස්ථාවර තැනකද? මේ ආර්ථික මාවත හැර වෙනත් මඟක් මේ රටට නැද්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අභිමතය – ප්‍රතිසංස්කරණ රාමුවෙන් මිදී මේ ආර්ථික අනතුරෙන් එගොඩට යාමට අපට බැරිද? රාජ්‍ය සතු සම්පත්, ආයතන විකුණගෙන යන ගමනේ අවසානය කුමක් විය හැකිද? ඔහු නිතරම පවසන වැල්පාලමෙන්ම එගොඩ වීම විනා වෙන විසඳුමක් ගැන සිතීමටවත් නොහැකිද? යනාදී ප්‍රශ්න ගණනාවක් අද සමාජ-දේශපාලන සංවාද මණ්ඩපවල මතු කෙරේ.

ආණ්ඩුව මේ වනවිට අරඹා තිබෙන නොමිලේ හාල් ලබාදීම, අත්‍යාවශ්‍ය සේවා කීපයක මිල අඩු කිරීම,ගොවීන්ට හා රණවිරුවන්ට ඔප්පු ලබාදීම, වතු ජනජීවිත නඟා සිටුවීම මෙන්ම ලබන වසරේ වැටුප් වැඩි කිරීම ද දේශපාලන ගුණ්ඩු ලෙස විවේචනය කරන අයද සිටිති. එහෙත් ඒවා මෙරටේ ජනතාවට ලැබිය යුතු, හිමිවිය යුතු දේවල්ය. එසේම අද මෙරටේ ජනජීවිතවල සැබෑ තත්ත්වය කුමක්ද? දරිද්‍රතාව, මන්දපෝෂණය, විරැකියාව, සමාජ සාධාරණය, නීතියේ ආධිපත්‍ය ආදී බොහෝ කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක්ම තිබේ. ඒ ජන දුක, ජන පීඩනය නොතකා දේශපාලන බලය සඳහා ආණ්ඩුව ජනතා සම්පත් භාවිත කරන්නේ නම් එයද වැරදිය.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණුද කීපයකි. මැතිවරණ කොමිසම පවා විරෝධය පළ කර තිබියදී රජයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කිරීම පමණක් වුවද ආණ්ඩුවේ දේශපාලන මෙහෙයුම් පිළිබඳව දිය හැකි නිදසුනකි. ප්‍රජා උපදේශක කමිටුවලට පත්වනු ඇත්තේ ආණ්ඩුවේ හිතවතුන් බව රහසක් නොවේ. පළාත් පාලන මැතිවරණය සඳහා ලබාදී තිබෙන නාමයෝජනා අවලංගු කිරීමට රජය සූදානම් වන්නේද ඉහත කී සංවර්ධන කටයුතු අධීක්ෂණයට මුවා වී තම දේශපාලන සගයන් බලගැන්වීමට බව ඉතා පැහැදිලිය. ස.ජ.බ. මැතිවරණ කොමසාරිස් හමුවී මෙයට විරෝධය දැක්වීමද කැපී පෙනුණි. එසේම හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මේ පිළිබඳව පවසන්නේ එමඟින් ආණ්ඩුව තම දේශපාලන අරමුණට තිබෙන බාධාවක් ඉවත් කර අයුතු වාසියක් ලබන බවය. පළාත් පාලන ඡන්දය සඳහා නාමයෝජනා ලබාදී තිබෙන කිසිවකුට එබඳු උපදේශන කමිටුවකට සම්බන්ධ විය නොහැක. එහෙත් ඒ නාමයෝජනා අවලංගු කළහොත් ප්‍රාදේශීයව සිටින ප්‍රබල මෙන්ම දූෂිත දේශපාලන චරිත වුවද ආණ්ඩුවේ එබඳු කටයුතු සඳහා යොදා ගැනීමට හැකි වනු ඇත. මෙරටේ මැතිවරණ ඉතිහාසය දෙස බලනවිට පැහැදිලි වන එක් දෙයක් ඇත. ඒ රාජ්‍ය මැදිහත්වීම් හා රාජ්‍ය ත්‍රස්තවාදයයි. අද තිබෙන සමාජ දේශපාලන වාතාවරණය තුළ එබඳු සැහැසිකම්වලට තිබෙන ඉඩකඩ ඉතා අඩු විය හැකිය. ඡන්ද පොළවලට කඩා පැනීම්, හොර ඡන්ද දැමීම් සම්බන්ධ කුප්‍රකට වාර්තා මේ බොහෝ පක්ෂවලට ද නායකයන්ට ද තිබෙන බව පමණක් අපි සඳහන් කරමු.

කෙසේ හෝ ජනාධිපතිවරණය පස්සට දමා ඊට කලින් මහ මැතිවරණය පැවැත්විය යුතුය යන අදහස පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ බොහෝ දෙනෙකු තුළ ද තිබෙන්නකි. මේ පිළිබඳව ජනාධිපති රනිල් කළ පැහැදිලි කිරීමක්ද ඇත. ඔහු පෙන්වා දෙන්නේ මෙම පාර්ලිමේන්තුව විසුරුවන බවට පැතිර යන ආරංචිය නිසා කොටස් වෙළෙඳපොළ පහත වැටෙන බවය. එසේ ප්‍රචාරය කරන අය අඩු මිලට ලබා ගන්නා කොටස් පසුදින වැඩි මුදලකට විකුණන බවය. එසේ නම් එයද ජාවාරමකි. මැතිවරණයක් පැවැත්වීමට හැක්කේ ජනාධිපතිවරයා විසින් මෙම පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලැබුවහොත් පමණි. එසේ නම් එබඳු දෙයක් සිදුවිය හැක්කේද ජනාධිපති රනිල්ගේ අභිමතය අනුවය. කුමක් වුවත් මේ ජනාධිපතිවරණ හා මැතිවරණ භූමි දෙකම ආණ්ඩුවටත් පොහොට්ටුවටත් අභියෝගයකි. රනිල්ගේ සැබෑ නියෝජනය සහිත එ.ජා.ප.ය මෙන්ම මහින්ද නායකත්වය දෙන පොදුජන පෙරමුණ එක් කඳවුරක් බවට පත්විය හැකිය. චන්ද්‍රිකා හා මෛත්‍රී පාර්ශ්ව ලෙස කුළල් කාගන්නා ශ්‍රී.ල.නි.පයේ භූමිකාව ගැන අපට කිසිවක් කිව නොහැක. ඒ හැරුණු විට පොහොට්ටුවෙන් කැඩී ගොස් හැදෙන සන්ධානද තිබේ. ඒ සියල්ලට වෙනස් ස.ජ.බ. – ජා.ජ.බ. පක්ෂ දෙකත් මේ මැතිවරණ සටනේ ප්‍රබල භූමිකා නියෝජනය කරනු ඇත. දෙමළ සන්ධානය හා පෙරටුගාමි ප්‍රමුඛ තවත් සන්ධානද තිබේ. ජනාධිපතිවරණ සටනේදී රනිල් රාජපක්ෂ කඳවුර ස.ජ.බ. හා ජා.ජ.බ. වෙන වෙනම සිටින තුන් කොන් සටන කැපී පෙනෙනු ඇතැයි සිතිය හැකිය. එසේම ජ.ජ.බ. නායක අනුර කුමාර පවසන පරිදි ඒ සියල්ලන්ගේම පොදු සතුරා බවට මාලිමාව හෙවත් එම දේශපාලන ව්‍යාපාරය පත්විය හැකිය. මේ මැතිවරණ දෙකම මෙරටේ පවතින දේශපාලන ප්‍රභූ පන්තිය මුහුණ දෙන දැවැන්ත අභියෝගයක් බව ඇතැම් දේශපාලන හා සමාජ විශේෂඥයන්ගේ අදහස වී තිබේ. මෙතෙක් ජනතාව දැක තිබෙන සුපුරුදු ප්‍රභූ තන්ත්‍රයට සීමා වූ තට්ටු මාරු දේශපාලන ක්‍රමය උඩු යටිකුරු වනු ඇතැයි ද ඒ විචාරකයන්ගේ අදහස වී තිබේ. එසේ නම් තම ප්‍රවේණිගත දේශපාලන උරුමය නිර්ප්‍රභූ දේශපාලන නායකත්වයක් අතට පත්වීම වැළැක්වීම සඳහා ඒ වැඩවසම් ක්‍රමය නඩත්තු කළ අය කුමක් නොකරනු ඇද්ද?

advertistmentadvertistment
advertistmentadvertistment