දේශපාලන ඩීල් බල වෙන්දේසි එපා! ඒ විජයග්‍රහණය සුරකිව්!

418

ශ්‍රී ලාංකික ඉතිහාසයේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරමින් 2022 ජූලි 09 වැනිදා විජයග්‍රහණය කළ ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරය පිළිබඳව ලියැවුනු කියැවුනු ප්‍රශංසාත්මක ඇගයීම් බොහෝ ය. ලෝක ඉතිහාසයට එක්ව තිබෙන විශිෂ්ටතම ජනතා විජයග්‍රහණයක් ලෙස අප බොහෝ දෙනෙකු විසින් කියවන ලද ප්‍රංශ විප්ලවය (1871 ප්‍රංශ රාජාණ්ඩුවට එරෙහිව එරට කම්කරුවන් විසින් බිහිකරන ලද ක්‍රොමියුනය) මෙන්ම 1917 දී සුවිශිෂ්ට ජනතා පිබිදීමක් ලෙස පිළිගනු ලබන රුසියානු විප්ලවය පිළිබඳ අභිමානවත් සැමරුම් යළිත් මතකයට නංවන අසාමාන්‍ය අභීෂ්ට ජන අරගලයක් ලෙස මෙරටේ අප්‍රමාණ තාරුණ්‍ය විසින් උත්කර්ෂයට පත්කරන ලද ආදරයේ අරගලයට ගෞරව බුහුමන් දැක්වීමට අපට බාධාවක් නැත. මා එම අරගලයට හිස නමන්නේ එහිලා ප්‍රබුද්ධ තරුණ පිරිස් අනුගමනය කරන ලද අවිහිංසාවාදී හා නිර්පාක්‍ෂික ගුණයෙන් ආඪ්‍ය වූ සෞන්දර්ය ආඥාවක් ද වූ හෙයිනි. නිසැකයෙන් ම මේ අරගලකරුවෝ සවිඥානවකව හෝ අවිඥානකව පෙරදිග පරම අවිහිංසාවාදී විමුක්ති සටන් මෙහෙය වූ මහත්මා ගාන්ධිතුමාගේ පරමාදර්ශි විරෝධතාවන් හි හරය ස්පර්ශ කරන ලද්දෝ වෙති. දින 90ක් ඉක්ම වූ විරෝධතා ව්‍යාපාරයක් අබියස නිශ්ක්‍රීය වී ඇත්තේ හැටනව ලක්‍ෂයක ජනවරමක් හා 2/3 බලයක් සහිත ප්‍රබල ආණ්ඩුවක සුපිරි ජනාධිපතිවරයකු වූ ගෝඨාභය රාජපක්‍ෂගේ ආධිපත්‍යයකි. ‘ගෝඨා ගෝ ගම’ ඒ අරගලයේ දේශපාලන සංකේතය විය.

එදා එනම් ජූලි 9 වැනිදා සිව්දෙසින් කොළඹට ඇදුනු ඒ මහා ජන ගඟ මෑත ඉතිහාසයේ යෝධ ජනසන්නිපාතය බව ද නිසැකය. “ගෝඨා එපා කිව්වට – අපි ආවා කොළඹට”, “අපේ ගමන අපි යනවා” වැනි අර්ථවත් සටන් පාඨවලින් ඒ ජන අරගලයම ගිගුම් දුන් ආකාරය ද අපි දිටිමු. අති නවීන යුද තාක්‍ෂණ ජවයෙන් යුතු ආණ්ඩුවේ බල හමුදා මැදින් නිරායුධව ඉදිරියට ඇදුනු විරෝධතාකරුවෝ දැඩි පරිශ්‍රමයකින් ජනාධිපති මන්දිරය, එම කාර්යාලය හා අගමැති නිල නිවහන වූ අරලියගහ මැඳුර ද සිය බලයට නතුකර ගැනීමට සමත් වූහ. පොලිසිය එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ඒ තාරුණ්‍යයේ අධිෂ්ඨානය බිඳලීමට අසමත් විය. සත්තකින්ම 1818 ඌවේ හා 1848 මාතලේ වැනි ඓතිහාසික සටන්වලට පණ දුන් දේශීය වීරයන්ගේ ආධ්‍යාත්මයෙහි ජවය ඒ තරුණ අරගලකරුවන්ගේ ජානවලට කැවී තිබෙන්නට ඇතැයි යනු මගේ පුහුදුන් සිතට ද නැගෙන සිතිවිල්ලකි.

දේශපාලන ඩීල් බල වෙන්දේසි එපා! ඒ විජයග්‍රහණය සුරකිව්!

ලංකා ඉතිහාසයේ මෙම සංසිද්ධිය දේශපාලනිකව විග්‍රහ කරන කිසිවෙකුට එය තරුණ අරගලයකට හෝ නිරායුධ කැරැල්ලකට හෝ ලඝු කළ නොහැකි බව ද අවධාරණය කළ යුතුය. මෙම විරෝධතාව මෙරටේ ගම් දනව්වල ද විවිධ ක්‍ෂේත්‍රවල ද ජනතාවගෙන් හා පුරවැසියන්ගෙන් ලද ජීව ගුණයෙන් වර්ධනය වූ දේශපාලන ක්‍රියාන්විතයකි. එහෙත් ඒ සඳහා වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්‍ෂයක මැදිහත්වීම් නොවූ අතර ඒ අරගල භූමියට පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන්ට ද එල්ල වූයේ දැඩි විරෝධයකි. කුමක් වුවත් මෙම විරෝධයෙහි ප්‍රමුඛ ඉලක්කය බවට පත්ව තිබුණේ මැදමුලන රාජපක්‍ෂ දේශපාලන බලය පරාජය කිරීමය. නිදහසින් පසු මෙරටේ රාජ්‍ය බලය අත්පත් කරගත් ප්‍රභූ දේශපාලන පැලැන්තියේ වඩාත්ම විවේචනයට ලක්වූයේ රාජපක්‍ෂවරුන් ය. ඉතා සැකෙවින් කිවහොත් රාජපක්‍ෂ දේශපාලන පවුල් ගස මුළු සමාජ – ආර්ථික ක්‍ෂේත්‍රයන් ද සිසාරා වැඩුණු පිළිලයක් විය.

පනස්හයේ විප්ලවය ලෙස හැඳින්වෙන බණ්ඩාරනායක අගමැතිවරයා සමඟ ඇරඹුණු පොදුජන යුගයෙහි රාජපක්‍ෂවරුන්ගේ ද දේශපාලන සම්ප්‍රාප්තිය සිදුවිය. එහෙත් හැත්තෑව, අසූව දහකවලින් හා විශේෂයෙන් දෙදහේදී ඇරඹුණු දේශපාලනයෙහි වර්තමාන රාජපක්‍ෂවරුන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රමුඛ විය. 1978 දී ජයවර්ධන දේශපාලන ව්‍යාපෘතිය ඔහු වටා නිම වුවද රාජපක්‍ෂ දේශපාලන කේන්ද්‍රය ඒ පවුල පදනම් වූ දූෂිත ව්‍යාපාරයක් බවට අද චෝදනා නැගෙයි. ප්‍රජාතන්ත්‍රවාදය අභිබවා රාජපක්‍ෂවාදය වැඩෙද්දී ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය බෙහෙවින් දූෂිත එකක් ලෙස ගලා ගිය බව ද රහසක් නොවේ. මහජන ආයතන, රාජ්‍ය සම්පත් ඒ දේශපාලන නායකයන්ගේ හා ඔවුන්ගේ සහචර ගජමිතුරු සමාගම්වල ගොදුරු බවට ද පත්විය.

2015 දී පසුබැස ගිය රාජපක්‍ෂවරුන්ගේ විවාදාත්මක භූමිකාව එළඹෙන්නේ 2020 දීය. පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව මෙරට දේශපාලන භූමිය ආක්‍රමණය කිරීමට පමණක් නොව වර්තමාන දේශපාලනයේ ආන්දෝලනයට තුඩු දී සිටින ගෝඨාභය විධායක ජනාධිපති ධුරයට පත්කරවීමට තරම් ප්‍රබල විය. වැඩකරන අපේ විරුවා ගයමින් මේ රටේ හැටනව ලක්‍ෂයක ජනතාවක් ඇන්දවීමට පොහොට්ටුවට හැකි වූ බව අප පිළිගත යුතුය. ජනාධිපති වූ ගෝඨාභය තවත් බලාත්මක කිරීම සඳහාම ඉදිරිපත් වූ 20 වැනි සංශෝධනය විසින් ඔහු අපිරිමිත හා සුපිරි බලැති ජනාධිපතිවරයකු බවට පත්කරන ලදී. ගෝඨාභයට සුපිරි බලයක් තිබුණත් එයින් මෙරටේ නොපිරි ජන ජීවිත සුවපත් කිරීමට ගත් පියවර ඉතා අල්ප විය. ජනාධිපතිවරයා ලෙස ඔහු මුහුණ දුන් පොදු ව්‍යසනය වූ කොවිඩ් 19 වසංගතය පරාජය කිරීමට සමත් වුවද ඉන්පසු රට ඇදී ගිය සමාජ – ආර්ථික – දේශපාලන අර්බුද කිසිවකට ඔහුගේ ආණ්ඩුවට විසඳුම් හෝ සැලසුම් නොවීය.

පොහොට්ටුවේ මුදල් ඇමැති බැසිල් මල්ලී සමඟ එල්ලී සිටි මහ බැංකු අධිපති කබ්රාල් රටේ මූල්‍ය කළමනාකරණය අන්ත විනාශයක් කරා ගෙන යද්දී ඒ ක්‍ෂේත්‍ර පිළිබඳ අඳෝ සංසාරයක් නොදත් ජනාධිපති ගෝඨාභය නිර්වින්දයන වූවකු සේ බලා සිටියේය. ඉන්ධන, විදුලිය, ගෑස්, ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර ආදී ජන ජීවිතයට හා සමාජ ආර්ථිකය පවත්වාගෙන යෑමට අවශ්‍ය වූ සියල්ල හිඟ සම්පත් බවට ද පසුව කළුනික සෙවීමටත් වඩා අමාරුවෙන් ලද හැකි දේවල් බවට ද පත්කිරීමේ කුප්‍රකට වාර්තාව ජනාධිපති ගෝඨාභය සතු විය. මේ අපකීර්තිමත් සමාජ ආර්ථික පීඩනයෙහි ගොදුරු බවට පත් වූ ජනතාව අන්ත දුක් විඳිද්දී රටේ නායකයෝ

මැඳුරුවල සුවසේ වැජඹුණහ. ජනතාව මගට වැටී සිටි අතර ආණ්ඩුවේ වියත් මග රාජ්‍ය ආයතනවල ලැග ඒවා බොහොමයක් විනාශ කර දැමීය. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවල රාජ්‍ය ආයතනවල දූෂිතයන්ගේ අමන ක්‍රියාකාරකම් ද හෙළිවෙමින් තිබුණි. ගසාකෑම්, යටිමඩි ගැසීම්, රටට බරක් වූ ව්‍යාපෘති හා ඒවායේ අශුද්ධ ගනුදෙනු ආදිය ගැන තොරතුරු ගලා යමින් තිබුණි.

ආණ්ඩුව පෙන්වූ සෞභාග්‍යයේ සීතාම්බර පටය දුටු ජනතාව කරබාගෙන සිටියත් තරුණයෝ එයට එරෙහිව නැඟී සිටියහ. මහජනතාව ද ඔවුන් සමඟ එක්වූහ. අප්‍රේල් 31 වැනිදා එම විරෝධය පුපුරා ගිය ප්‍රථම අවස්ථාව මිරිහානේ ගෝඨාභයගේ පෞද්ගලික නිවස ආසන්නයෙන් වාර්තා වූයේ ඒ පසුබිම යටතේ ය. ලොව බංකොලොත්ම රටවල් කීපය අතරට වැටුණු ශ්‍රී ලංකාව එයට වගකිවයුතු රාජපක්‍ෂ පාලනයෙන් මුදාගත යුතුය යන්න තේමා කරගනිමින් තරුණ විරෝධතාව නැගුණි. ගෝඨා ගෝගම – ගාලුමුවදොර සටන් මධ්‍යස්ථානය වෙද්දී ආණ්ඩුව තවත් රට අර්බුදයටම ඇදගෙන යමින් තිබුණි. ජනාධිපති ගෝඨාභයට කැබිනට් කුට්ටම කීපවරක් ඇනීමට ද සිදුවිය. එහෙත් ඒ සියල්ල පය බරවායට පිටිකර බැඳි බේත් වැනි විය. කොටින්ම ඔහුගේ දේශපාලන ගොඩ වෙදකම් වැඩක්ම නැතිවිය. දේශපාලන සුජාත භාවය යක්‍ෂයාට ගියත් ඔහු වෙනුවෙන් වගකීම් භාරගත් රනිල්ට හා ධම්මිකට කළ හැකි කිසිවක් නොවූ බව අද වනවිට මැනවින් තහවුරු වී තිබේ. ඒ තරමට ම සමාජ – ආර්ථික දේශපාලනය කුණු වී තිබිණි.

ජූලි 09 වැනිදා ගාලු මුවදොර විරෝධතාකරුවන් මේ රටේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක සමාරම්භය සටහන් කරද්දී ජනාධිපති ගෝඨාභය අතුරුදන්ව සිටියේය. නැව ගිලෙන විට පනින මීයන්ගේ කතාව සිහිපත් කරමින් ඔහුගේ කැබිනට් ඇමැතිවරුන් පස්දෙනෙක් ද ඉවත් වී සිටිති. මේ මොහොත වන විටත් රටේ කේන්ද්‍රීය රාජ්‍ය ආයතන අරගලකරුවන් යටතේ ය. ජනාධිපති ගෝඨාභය කොතැනක හෝ සැඟව සිටිමින් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැන්වූ තම අස්වීමේ නිවේදනය (13 වැනිදා ඉල්ලා අස්වන බව) තහවුරු කරමින් අගමැති රනිල්ට ද ලිපියක් එවා ඇති බව වාර්තා වේ. පවත්නා දේශපාලන ව්‍යුහයෙහි දැඩි ව්‍යාකූලත්වයක් නොමැති වුවද, ජනාධිපති ගෝඨාභය ඉල්ලා අස්වීමෙන් තවත් උභතෝකෝටික ප්‍රශ්න කීපයක් ම මතුවෙමින් තිබේ. පක්‍ෂ නායකයන්ගෙන් කිසිවෙක් රනිල්ගේ අගමැති ධුරය අනුමත නොකරති. ඔවුන්ගේ එකඟතාව අනුව ජනාධිපති මෙන්ම අගමැති ද ඉල්ලා අස්විය යුතුමය. අගමැති රනිල් සිය ධුරය අතහැරීමට සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ස්ථාපනය වන තෙක් බලා සිටියි. එහෙත් එය විවාදිත මෙන්ම විවේචනාත්මක තීන්දුවක් වී තිබේ. මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ නායකයන්ගේ අදහස වී ඇත්තේ පාර්ලිමේන්තුව රැස්කිරීමෙන් පසු ඒ ගැන තීරණයක් ගැනීමටය.

ලබන 20 වැනිදා රහස් ඡන්දයකින් ජනාධිපතිවරයකු (අනුප්‍රාප්තික) තෝරා ගැනීම ද ඒ අනුව සිදු වේ. එසේම මෙම පාර්ලිමේන්තුවට ද තවදුරටත් රැඳී සිටීමට ජනමතයක් නොමැති බව අරගලකරුවෝ දක්වති. මේ සම්මත ගතානුගතික දේශපාලන රාමුව ඔව්හු ප්‍රතික්‍ෂේප කරති. එහෙත් පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව කෙටි කාලීන පාලනයක් ගොඩනගාගෙන අනතුරුව මහ මැතිවරණයකින් ජනවරමක් ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් ද නැත. ඇත්ත වශයෙන්ම ජූලි 09 විජයග්‍රහණයේ ප්‍රතිඵලය වූ ජනාධිපති ගෝඨාභය ගෙදර යැවීමට අමතරව රාජපක්‍ෂ දේශපාලන කඳවුර කොන්දේසි විරහිතව පරාජය කිරීම ද අරගලකරුවන්ට අවශ්‍ය විය. එහෙත් තවමත් පාර්ලිමේන්තුවේ තිබෙන ඔලුගෙඩි සංඛ්‍යාව අනුව පොහොට්ටුවට යම් බලපෑමක් කිරීම අසීරු නැත.

පොහොට්ටුව පසුපස සිදුවන හා සිදුවිය හැකි දේශපාලන උප්පරවැට්ටි ගැන ද ඇසෙයි. දේශපාලන ඩීල්, අතයට ගනුදෙනු වැනි දූෂිත මෙහෙයුම්වලින් ම පරාජිකා වී සිටින බහුතරයක් එහිදී කෙසේ ක්‍රියාත්මක වනු ඇද්ද යන්න ප්‍රශ්නයකි. එහෙත් මේසා දැවැන්ත මහජන බලවේගයක් සමඟ එබඳු අශුද්ධ කණ්ඩායම්වලට ගැටිය නොහැකිය. එය තවත් විනාශයකට අත වැනීමක් බවද ඔව්හු දනිති. එනිසා මෙතෙක් හුරු වූ බලවෙන්දේසියට ඔව්හු යොමුවෙත් ද? එසේ නොවේවා යි අපි ප්‍රාර්ථනා කරමු. ඒ අනුව ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම මේ අරගලය විජයග්‍රහණය කළ තරුණයන් මෙන්ම රටේ ජනතාව ද අපේක්‍ෂා කරති.

මෙහිදී කථානායකවරයා මෙන්ම සියලු පක්‍ෂවල නායකයන් ද වඩාත් සංවේදී විය යුත්තේ විරෝධතාකරුවන්ගේ අදහස් හා යෝජනා කෙරෙහිය. අද රට මුහුන පා සිටින අර්බුද සමනය කර ගැනීම සියලු පාර්ශ්ව වල වගකීමකි. දේශපාලන කඳවුරුවල බලශක්තිය බිඳ හෙළමින් නැගුණු නැවුම් දේශපාලන නවෝදයෙහි අපේක්‍ෂා පිළිබඳව නිසි අවබෝධයක් ද සියල්ලෝම ලබාගත යුතු වෙති. මෙය පැරණි සම්ප්‍රදායික රාමුව තුළ කෙරෙන බල තරගයක් නොවේ. මෙම ජන අරගලය පුද්ගල කේන්ද්‍රීය එකක් ද නොවේ. එනිසා ඒ සමස්ත ජයග්‍රහණය සාමූහික ඵලයකි. එය අපේ සම්මත රාමුවට ඉඳුරා වෙනස් තත්ත්වයකි. එනිසා ප්‍රබුද්ධ මනසකින් හා විවෘත භාවයකින් සියල්ලන්ටම පිළිගත හැකි කෙටි කාලීන පාලන ව්‍යුහයක් ගොඩනඟාගත හැකි වේ යැයි තවතමත් පීඩනයට ලක්ව සිටින මේ රටේ ජනතාව ප්‍රාර්ථනා කරති. කුමක් වුවත් ස්වාර්ථය හා ධනෝපායන මාර්ගයක් බවට දේශපාලනය භාවිත කරන කිසිවකුට තවදුරටත් මේ ජූලි 09 වැනිදා විජයග්‍රහණය නොතකා ක්‍රියාකළ නොහැකි බව ද අපගේ අදහසය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment