දේශපාලන පෙරළි කළ නව සැසිවාර මෙවර පෙරළිය ඇතුළෙන්ම

299

රාජාසන කතාව ලෙස බොහෝවිට හඳුන්වන තත්ත්වය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාව අතර වෙනසක් තිබේ. මහ මැතිවරණයකින් පසුව බලයට පත්වන ආණ්ඩුවක් සිය පාර්ලිමේන්තු බහුතරය ප‍්‍රදර්ශනය කරමින්, නව රජයේ ප‍්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තුව හමුවේ පැවැත්වීම සාමාන්‍ය රාජාසන කතාවක සිරිතය. ඒ සඳහා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන ස්තුති යෝජනාව සඳහා ඡන්දය විමසීමෙන් පසු පාර්ලිමේන්තුවේ, ආණ්ඩු පක්ෂයට අයත් බලය තහවුරු වූ බව සහතික කර ගැනීම මෙහි අරමුණය. 2021 දෙසැම්බර් මස 21 වැනිදා නව වෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය අවසන් වී, 2022 ජනවාරි 18 වැනිදා ආරම්භ වූ එම පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරය සඳහා ජනාධිපතිවරයා පවත්වන ලද රාජාසන කතාව එබඳු පදනමක් සහිත රාජාසන කතාවක් නොවේ. එසේ බලන විට රාජාසන කතා දෙවර්ගයක් තිබෙන බව කිව හැකිය. සැසිවාර අවසන් කර නව සැසි වාරයක් ආරම්භ වන විට පවත්වන රාජාසන කතාව සහ විසුරුවා හැරීමෙන් පසුව නව පාර්ලිමේන්තුවක් රැස්වීමෙන් හෙවත් නව ආණ්ඩුවක් මැතිවරණයකින් පත්වීමෙන් පසු පවත්වන රාජාසාන කතාව ලෙස මෙම ද්විත්වය තේරුම්ගත හැකිය.

පාර්ලිමේන්තුවේ තාවකාලික විරාමයක් ලෙස මෙසේ වාරාවසාන කිරීම හඳුන්වා දිය හැකිය, එය ව්‍යවස්ථානුකූලව තුන් මසක් ඉක්මවා නොයායුතුය. වඩා දීර්ඝ නොකළ යුතුය. කෙසේ වෙතත්, එකී නව ප‍්‍රකාශයේ දින සිට දින තුනකට නොඅඩු දිනකදී පාර්ලිමේන්තුව කැඳවන්නේ නම්, පාර්ලිමේන්තුව කැඳවීමේ එකී දිනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබන වෙනත් ප‍්‍රකාශයක් මගින් ඉදිරියට ගෙන ආ යුතුය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (3) වන ෙඡ්දය යටතේ පාර්ලිමේන්තුව වාරාවසාන කරනු ලබන අවස්ථාවකදී, වාරාවසාන කිරීමේ ප‍්‍රකාශය විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය දැනුම් දිය යුතුය. එසේ වුවද අතර මැද්දේ වුව ද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමේ බලය නෛතික ලෙස හිමිව තිබේ. වාරාවසාන කිරීමක බලපෑම වන්නේ පාර්ලිමේන්තුව අභිමුව ඇති සියලූ කටයුතු අත්හිටුවීමය. එහිදී අවලංගු නොවන්නේ, දෝෂාභියෝගයක් පමණය. ව්‍යවස්ථාගත විධිවිධාන එසේ වුවත්, ”යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එනු ලැබ, පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිම කරනු නොලැබ ඇති යම් කාරණා ඇත්තේ ද, ඒ සියලූ කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේ දී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය’’ යනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 4 වන පරිච්ෙඡ්දයේ සඳහන් වේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙම ප‍්‍රතිපාදනය තුළ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා ඉදිරියේදී ගැනීමට නියමිත කටයුතු අහෝසි වීමක් සිදු නොවේ. එහිදී, ඉදිරියට ගැනීමට නියමිත කටයුතු පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වූ වහාම එය පැවති තත්ත්වයේ සිට ඉදිරි කටයුතු සිදු කිරීමට හැකියාව තිබේ. පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් ආරම්භ වන අවස්ථාවේ න්‍යාය පත‍්‍රයේ පෙළ ගස්වා තිබෙන සභාවේ කටයුතු පිළිබඳ විෂයයන් අඛණ්ඩව පවත්වාගැනීම අවශ්‍ය වන්නේ නම් ඒවා නැවත ලැයිස්තුගත කළ යුතු වේ.

මෙසේ බලන විට පාර්ලිමේන්තුවේ සැසිවාර කල් තැබීමෙන් පසුව පවත්වන රාජාසන කතාව හෝ එසේ සැසිවාර කල් තැබීම එතරම් වැදගත්භාවයක් නොඋසුලන බව තේරුම්ගත හැකිය. එයට හේතු වන්නේ පාර්ලිමේන්තු බලතුලනය හෝ ‘දැනෙන’ වෙනසක් එමගින් ජනිත නොවීම හේතුවෙනි. එසේ වුවත් ලාංකේය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වාර 25 කට වඩා මෙසේ සැසිවාර අවසන් කර තිබීම හේතුවෙන් එම අවසන් කිරීම් දෙස බලා මෙහි වැදගත්භාවය තීරණය කළ හැකිය.

සැසිවාර අවසන් කරන්නේ ඇයි…?

සැසිවාරයක් අවසන් කිරීම නව ගමනක් සඳහා පෙරමග ලකුණක් බව කිව හැකි අවස්ථා ගණනාවක් තිබේ. ඉතිහාසය දෙස බලන විට, ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබන ලද්දේය. 1991 අගෝස්තු 28 වැනි දින මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් සහිතව තමා වෙත ලබාදුන් දෝෂාභියෝගය භාරගත් කථානායක එම්. එච්. මොහොමඞ් මහතා ඒ පිළිබඳ දන්වමින් පසුදින ජනාධිපති ලේකම් කාර්යාලයටත් මැතිවරණ කොමසාරිස්ටත් ආරක්ෂක ප‍්‍රධානීන්ටත් ලිඛිත දැනුම් දීමක් සිදු කළේය. පෙරළිකාර තත්ත්වය සමනය කර ගැනීම සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීම සඳහා ජනාධිපති පේ‍්‍රමදාස මහතා සිදු කරන ලද්දේ, දෙවන පාර්ලිමේන්තුවේ තුන්වෙනි සැසිවාරය, 1991 අගෝස්තු 30 වෙනිදා අවසන් කිරීමය. සැප්තැම්බර් 24 වැනිදා හතරවන සැසිවාරය ආරම්භ වූයේ, මලයාලි ගුරුකම්කරුවන් දෙන ලද තෙල් සියලූ මන්ත‍්‍රීවරුන්ගේ ආසනවල රහසිගත ලෙස තැවරීමෙන් පසුවය. පාර්ලිමේන්තු ලේකම්වරයා පෙ. ව. 10.40ට ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව කැඳවීමේ ප‍්‍රකාශය කියවීය.

ජනාධිපති පේ‍්‍රමදාස මහතා ”ගරු මන්ත‍්‍රීවරුනි’’ යනුවෙන් සභාව ඇමතීම ආරම්භ කිරීමත් සමග, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක රිචඞ් පතිරණ මන්ත‍්‍රීවරයා ”ගරු ජනාධිපතිතුමනි’’ යනුවෙන් ආමන්ත‍්‍රණය කරමින් සිටිමින්,”ගරු ජනාධිපතිතුමනි, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු බහුතරයක් විසින් ඔබතුමාට විරුද්ධ දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඔබතුමා එම යෝජනාව ඉදිරිපත් වූ වහාම පාර්ලිමේන්තුව කල් තැබුවා. පාර්ලිමේන්තුව කල් තබා අද දින ඔබතුමා මෙම උත්තරීතර සභාවට පැමිණ මේ ගරු මන්ත‍්‍රීවරුන් අමතා කතා කිරීමෙන් මේ ප‍්‍රශ්නය පිළිබඳ මූලික විනිශ්චයකරුවන් වන ගරු මන්ත‍්‍රීවරුන්ට අනිසි ආකාරයේ බලපෑමක් ඇති කරනවා. එනිසා මම ඉල්ලනවා කරුණාකර ඔබතුමාගේ දේශනය නොපවත්වන හැටියට. කල් තබන ලද කාලයේදී පේ‍්‍රමදාස ජනාධිපතිවරයා තමාට අවාසිදායක පරිසරය, බලපෑම් සහගත අයුරින් වෙනස් කරගත් අතර, දෝෂාභියෝගයක් වැනි අභියෝගයකට මුහුණ දිය නොහැකිව අතිශය සදාචාර විරෝධී අයුරින් ඔහු සිය බලය පාර්ලිමේන්තුව කල් දැමීම සඳහා යොදා ගත්තේය. ‘මගේ පියාණන්’ එසේ පාර්ලිමේන්තුව අශීලාචාර අයුරින් කල් තැබූ ඉතිහාසය අමතක කරමින්, මෙවර පාර්ලිමේන්තු කල් තැබීම පිළිබඳව සජිත් පේ‍්‍රමදාස විපක්ෂ නායකවරයා ප‍්‍රකාශ කරන ලද්දේ, පාර්ලිමේන්තු සැසිවාරය හදිසියේ කල් තැබීම පිටුපස සැඟවුණු න්‍යාය පත‍්‍රයක් ඇති බවය. සීනි බදු වංචාවේ තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමට ද ආණ්ඩුවට එමගින් හැකි වන බව සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේය. එවැනි ආවරණයක් නැති බව පැහැදිලිව පෙනී යන්නේ, පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව තවමත් ඉදිරියට යන බව පෙනී යන හෙයින් සහ එවැනි පැමිණිල්ලක් පිළිබඳව මෙම නව සැසිවාරයේදී ද විභාග කළ හැකි අවස්ථාව තිබීම හේතුවෙනි.

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගම මහත්මිය හතරවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අවසන් කරන ලද්දේ, 2001 ජුලි 10 දාය. පාර්ලිමේන්තුවේ අස්ථාවර තත්ත්වය සමනය කර ගැනීම සඳහා ජවිපෙ සමග නව ගිවිසුමක් අත්සන් තැබීම එම කාල සීමාවේදී කුමාරතුංග මහත්මිය මුල පුරන ලදී. ඉතිහසයේ වැඩිම දින ගණනකට හෙවත් දින හැටකට පාර්ලිමේන්තු සභාවාරය අවසන් කරන ලද්දේ එවරය. පොදු පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ අතර පරිවාස ආණ්ඩුවක් ඇති කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කළ ඉල්ලීම අනුව පාර්ලිමේන්තුව සැප්තැම්බර් 07 වන දින, පැවැත්විය යුතු නව සභා වාරය සැප්තැම්බර් හයවෙනි දින ආරම්භ කළේය.

දේශපාලන කලබැගෑනි සමතය උදෙසා භාවිතා වූ සභා වාරය කල් තැබීම ජයග‍්‍රාහි පණිවිඩයක් ජාතියට ලබාදීම සඳහා භාවිතා වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේය. හයවෙනි පාර්ලිමේන්තුවේ තුන් වෙනි සැසිවාරය ජනාධිපතිවරයා නිම කරන්නේ, 2009 මැයි 17 දාය. මැයි 19 වෙනිදා නව සැසිවාරය ආරම්භ වන්නේ, එතෙක් භූමියෙන් බෙදී තිබූ දේශය ඒකීය රටක් බවට භූමියෙන් පත්වෙමිනි.ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් වූයේ 2018 අපේ‍්‍රල් 12 දාය. තමාට පැවරී ඇති බලතල ප‍්‍රකාරව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ සඳහා පියවර ගන්නේ, මහ බැංකු බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් ඩිව් ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කෝප් කමිටුව සිය අතුරු වාර්තාව එළිදක්වන්නට පෙර දිනය. දෙවන සැසිවාරය මැයි 08 වෙනිදා ආරම්භ වන විට ඩිව් ගුණසේකරගේ වාර්තාව පමණක් නොව ඩිව්ගේ කෝප් කමිටු සභාපතිකම ද අහිමි කර දමා, එදා මෙදා සිදුවූ දැවැන්තම දූෂණය වළලා දැමීමේ පළමු පියවර සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල මහතා පියවර ගෙන තිබුණි.

පාර්ලිමේන්තු සැසි වාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තවත් වරක් සිදු කරන්නේ, දේශපාලන පෙරළියක් ද සිදු කරමිනි. අටවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා නිමා කරනු ලබන්නේ, 2018 ඔක්තෝබර් 27 දිනයේදීය. තුන්වන සැසිවාරය නොවැම්බර් 14 පවත්වන බවට මෛත‍්‍රිපාල ජනාධිපතිවරයා නිවේදනය කළේය. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති අගමැතිවරයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගැනීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුව තුළ පත් කළ අගමැතිවරයා සඳහා බහුතර බලය සකසා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙම පියවර ගනු ලැබුවද මහින්ද රාජපක්ෂ මහතා වෙත අග‍්‍රාමාත්‍යවරයා ලෙස බහුතර බලයක් සකසා ගැනීමට අවකාශයක් නොලැබුණි. එසේම මෙම වාර අවසන් කිරීම අවනීතික බවට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රීවරු පිරිසක් සිය අත්සනින් කථානායකවරයා වෙත දැනුම් දීමත් සමග සහ එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ගණනාවක් ඉදිරිපත්වීමේ පසුබිම සමග 2018 නොවැම්බර් 09 වැනිදා රාත‍්‍රියේ, වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන අතිවිශේෂ ගැසට් පත‍්‍රයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබුවේය. ඊට අනුව පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 2019 ජනවාරි 5 වන දාට දින නියම කර තිබුණි.

මේ පාර්ලිමේන්තු වාර අවසන් කිරීමේ ඉතිහාසයේ ප‍්‍රධාන කතා කිහිපයකි. එසේ නම් ගෝඨාභය රාජපක්ෂ ජනධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය නිමා කරන ලද්දේ කුමන හේතුවක් නිසා ද යන්න කියවා බැලිය යුතුය. තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවේ පාර්ශ්ව ගණනාවක් ආණ්ඩුව සමග දැන් පවත්වන තත්ත්වය ඇත්තේ මිහිරි අඩවියක නොවේ. එසේම ආණ්ඩුවේ දෙවසරක ගමන නිමවා, තීරණාත්මක තෙවසර පැමිණ තිබේ. අනෙක් විශිෂ්ඨ එන්නත්කරණ ක‍්‍රියාවලියක සහ පසු විපරම්, පියවර ගැනීම් ඔස්සේ ආණ්ඩුව මූලික වී, වසංගතයක නිමාව සනිටුහන් කර තිබුණි.

මේ සමග ජනාධිපතිවරයා නව ගමනක්, නව වසරේ සිට යන බවට ජාතියට එළි දැල්වීම මෙම නව සැසිවාරයක් ආරම්භ කිරීමේ අරමුණ බව කිව හැකිය. නව සැසිවාරය ආරම්භ කිරීමට ප‍්‍රථම රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීම සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය නිලයෙන් ඉවත්වීම ද සටහන් වී තිබුණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම සඳහා පැමිණෙන අවස්ථාවේ සම්ප‍්‍රදායික ආචාර වෙඩි මුර වැනි සංදර්ශනීය ආකෘති නොමැති වුවත්, ඇතුගල්පුර අධිවේගය විවෘත කිරීම, වාරය නගරය සඳහා පළමු පියවර තැබීම, ආදී සංවර්ධන සන්දර්ශන ගණනාවක් ආණ්ඩුව රටට දක්වා තිබුණි. යහපාලන ආණ්ඩුව සංවර්ධනය ලෙස ඉටු කරන ලද පාරේ ඇති කහ ඉරි, සුදු ඉරි බවට පත් කිරීම් ආදිය වසර ගණනාවක් දැක තිබූ ජනතාවට යළිත් මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධනය මතකයට නඟා ගැනීමට එමගින් හැකි විය.

ජනාධිපති කාර්යාලයේද නව ආකෘතික වෙනසක් සිදුව තිබුණි. පරිපාලන කේෂ්ත‍්‍රයේ දක්ෂම සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් වූ ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් තනතුර සඳහා පත්ව තිබීම ජනාධිපතිවරයා වටා පරිසරය නව සැකසුමකට භාජනය කිරීමේ පළමු පියවර වී තිබුණි. ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ලෙස සිටින විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙල වැනි ලියන මහත්වරු පන්නයේ මුහුණු පහත් කරගත් චරිත වෙනුවට මානව සම්බන්ධතා සම්බන්ධයෙන් හැකියාවන් සහිත චරිත පත් කර ගැනීමට නව ජනාධිපති ලේකම්වරයාට අවකාශ ජනාධිපතිවරයාගෙන් ලැබුණහොත්, දැනට පාලූගල් බංගලාවක් සේ ආරක්ෂක බල ඇණි සිටුවන ලද ලයිට් කණු මෙන් සිටින ජනාධිපති කාර්යාලය සඳහා නව එළියක් ලැබෙනු ඇත. පසුගිය වසර දෙක පුරාවටම රටේ ප‍්‍රධාන දේශපාලන චරිතය වන ජනාධිපතිවරයාගේ කාර්යාලය තුළ, දේශපාලන ගතිකයක් සහිතව, මානව සම්බන්ධතා පැවැත්වීමට හැකි සහ ජනාධිපතිවරයා සමග බාහිර ස්ථරයන් කළමනාකරණය කිරීමේ හැකියාව සහිත චරිතයකට සිටියේ, ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පමණය. අනික් සියල්ලෝම පාහේ මේජර් ජෙනරාල් එගොඩවෙල පන්නයේ, ලියන මහත්වරුය. නව ජනාධිපති ලේකම්වරයා මෙම පරිසරය මුළුමනින්ම වෙනස් නොකළහොත්, ජනාධිපතිවරයා වෙතින් දැනටමත් දුරස්ව සිටින ආණ්ඩු පක්ෂයේ දේශපාලන නියෝජිතයන් ආදී කොටස් තව දුරටත් දුරස්වීම සිදුවනු ඇත. මේ නිසා නව සැසිවාරය, නව ගමනක ආරම්භයක් වන ලකුණු ආණ්ඩුව දැනටමත් පෙන්වා දී ඇති බව කිව හැකිය. ජනාධිපතිවරයා නව සැසිවාරය විවෘත කිරීම සඳහා පැමිණීමෙන් පසුව ඔහු පවත්වන කතාව, රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලෙස හඳුන්වා දිය හැකිය. අතීතයේදී එය හඳුන්වන ලද්දේ, රාජාසන කථාව ලෙසය. එය ඉදිරිපත් කරන ලද්දේ අග‍්‍රාණ්ඩුකාරවරයාය. එසේ වුවත් 1978 සිට ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ප‍්‍රකාශ විවාදයට ලක් කිරීමක් හෝ ඡන්ද විමසීමකට භාජනය කිරීමක් සිදු නොවීම සම්ප‍්‍රදායය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිබඳව බොහෝ දෙනා සිතුවේ සහන පැකේජ් ආදීය ඇතුළත්, නව වසරේ පැමිණෙන සහන මල්ලක් ලෙසය. ”ඒ කතාවේ මොකුත් නැහැනේ’’ ලෙසා බොහෝ දෙනා සඳහන් කරන ලද්දේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක, ආකෘතිය හඳුනා නොගනිමිනි. විශේෂයෙන්ම සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ ජනාධිපතිවරයා අවධාරණය කරන ලද ප‍්‍රධානම කාරණය වූයේ ජාතික ආර්ථික සැලසුමක් සකසා ගැනීමය. විවෘත ආර්ථිකයේ අවසාන අදියර බවට විශේෂයෙන්ම ණය බර සහ වසංගතය හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජාතික ආර්ථිකයක් සඳහා අවකාශයක් සිය පාලන කාලයේ ඉදිරි තෙවසර තුළ සාදා ගැනීම ජනාධිපතිවරයාගේ වුවමනාව බව මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් පැහැදිලි විය. ජනතාවට වස නොකෑමට ඇති අයිතිය තහවුරු කරමින් සහ ආහාර සුරක්ෂිතභාවය පරිසරවාදී, දේශීය ක‍්‍රමවේදයක් තුළ තහවුරු කර ගැනීම සඳහා රසායනික පොහොරෙන් තොර ගොවිතැනක් බවට රජයේ අතිවිශිෂ්ඨ ප‍්‍රතිපත්තියය. පොහොර මාෆියාවේ අනුබලයෙන් සහ ආධාරයෙන් සිදු කරන ලද කුමන්ත‍්‍රණ හමුවේ යම් තරමකට වියැකී ගියේය. එසේ වුවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරන ලද්දේ, හරිත කෘෂිකර්මය ක‍්‍රියාත්මක කිරීමේදී ගැටලූ ඇති වූයේ අරමුණ හරියාකාරව සන්නිවේදනය නොවීමෙන් වුවත් එම ප‍්‍රතිපත්තියෙන් රජය බැහැර නොවන බවය.

ජාතික ආර්ථිකය සඳහා සිය ප‍්‍රතිපත්තිමය රාමුව එහිදී ඉදිරිපත් කළේය. රට නව ආර්ථික දිශානතියක් සඳහා යන ගමන පිළිබඳව සිය රාමුව ඉදිරිපත් කළ ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ වැදගත්ම කතාව වූයේ, වසංගතය හේතුවෙන් තමන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ පමා වූ නමුත් ඒ සියල්ල ඉදිරි වසර තුන තුළ තමන් ක‍්‍රියාත්මක කරන බවය.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment