දේශපාලන වරප්‍රසාදවලින් අප්‍රසාදය වැසීම!

310

ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදය විසින් පීඩාවට පත්කරන ලද ජන ජීවිත අපේක්‍ෂාභංගත්වයේ පත්ලටම ඇද වැටෙමින් තිබුණත්, බොහෝ දේශපාලන පක්‍ෂ මෙන්ම ඒවායේ නායකයන් ද නිරතව සිටියේ තම තමන්ගේ දේශපාලන ක්‍රියාන්විතවල බව පැහැදිලිව පෙනුණි. ශ්‍රී.ල.නි.පය සිය 71 වැනි සංවත්සරය සිහිපත් කරද්දී එජාපය 76 වැනි සම්මේලනය පැවැත්වීය. ස්වාධීන පක්‍ෂ එකමුතුව ‘උත්තර ලංකා සභාගය’ නමින් අලුත් දේශපාලන ව්‍යාපාරයක් ජනගත කරද්දී කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්‍ෂය ද සිය දේශපාලන ක්‍රියාන්විතය සවිබල ගන්වමින් පක්‍ෂයට ප්‍රධාන කාර්යාලයක් විවෘත කර තිබුණි. මේ සියලු ක්‍රියාකාරකම්වල සුවිශේෂ ලක්‍ෂණය වූයේ ඒවාට මෙරටේ හිටපු රාජ්‍ය නායකයන් හා වර්තමාන රාජ්‍ය නායකයා මෙන්ම රාජපක්‍ෂ කඳවුරෙන් බිඳී ආ ප්‍රබල චරිත ගණනාවක් ම ඒවා සඳහා දායක වී සිටීමය. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල, හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා හා වර්තමාන ජනාධිපති රනිල් ද දැක ගත හැකි විය. ඊට අමතරව විමල්, වාසු,  ගම්මන්පිල ප්‍රමුඛ සමසමාජ හා කොමියුනිස්ට් නායකයෝ ද ඔවුන්ගේ අලුත් සංවිධානවල ක්‍රියාකාරීව සිටියහ. රාජපක්‍ෂ දේශපාලන කඳවුරේ විවේචකයන් බවට පත්ව සිටින ඩලස් හා ජී. ඇල්. ප්‍රමුඛ කණ්ඩායමක් වෙනම ද සිටිති.

දේශපාලන වරප්‍රසාදවලින් අප්‍රසාදය වැසීම!

මෙම දේශපාලන පක්‍ෂ, නායකයන් මෙන්ම අලුතින් බිහි වූ සංවිධාන පිළිබඳව ද නොයෙක් විවේචන ද තිබේ. පොදු පෙරමුණේ මහලේකම් සාගරට අනුව නම් ළමා සමාජ වැනි දේශපාලන සංවිධානවලට එම පක්‍ෂයේ ගමන නැවැත්විය නොහැකිය. ඔහු මෙහිදී වක්‍රාකාරව පවසන්නේ විමල්ලාගේ උත්තර ලංකා සභාගය ගැන විය හැකිය. එහෙත් විමල් පවසා තිබුණේ ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සෙවීම තම  සභාගයේ අරමුණ බවය. ජනතාවගේ ප්‍රශ්න තොරොම්බල් කිරීම වෙනුවට ඒවා වහා විසඳන සමාජ – ආර්ථික – දේශපාලන ආකෘතියක් රටට අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කර ඇත. ඒ කුමක් වුවත් වර්තමාන දේශපාලන සන්දර්භය තුළ මෙරටේ ලක්‍ෂ 220කට නොඅඩු ජනතාවගේ ඉරණම භාරව තිබෙන්නේ නම් ජනාධිපති රනිල්ට හා ඔහුට අනුග්‍රහය දක්වන පොහොට්ටු මන්ත්‍රීවරුන් කණ්ඩායමට බව ද කිව යුතුය. එසේම පොහොට්ටු කණ්ඩායමේ නියමු රාජපක්‍ෂවරුන්ගේ අභිමතය හා අභිලාෂයන් ද ඒ සඳහා අනිවාර්ය සාධකයක් වන බව ද පෙන්වා දිය යුතුය.

ලංකාවේ දේශපාලනය යනු කිසිවෙකුට අනාවැකි පළකළ හැකි ක්‍ෂේත්‍රයක් නොවන බව මෙයට පෙර ද අප විසින් අවධාරණය කරන ලද කරුණකි. ජනාධිපති ධුරය හා අගමැති ධුරය මෙන්ම ඇමැති ධුර ද අතහැර දැමූ රාජපක්‍ෂවරුන් පිළිබඳව පසුගිය දිනවල එල්ල වූ විවේචන, විරෝධතා කව්රුත් දනිති. රාජපක්‍ෂ පවුලේ දේශපාලනය මේ රට අගාධයකට ඇද දැමූ බව අද ඔවුන් සමඟ සිටි දේශපාලන සගයන්ගේම විවේචනය වී ඇත. එහෙත් පොහොට්ටුවේ ලේකම් සාගර පසුගිය දිනෙක ප්‍රකාශ කළේ රාජපක්‍ෂවරුන්ගේ ඒ දේශපාලනය මේ රටේ ජනතාවට වුවමනා වී තිබෙන බවය. ඉදිරි කාලයේ ඒ සඳහා මහජන මතය උරගා බලන බව ද ඔහු සඳහන් කර ඇත. මෙය අනාගතයට අයිති ප්‍රශ්නයකි. එහෙත් මෙබඳු ප්‍රකාශවලින් තහවුරු වන්නේ ජූලි 09 වැනිදා මේ රටේ ඇති වූ ඓතිහාසික ජනතා විරෝධතාව හා එම අරගලය පිළිබඳ පොහොට්ටුවේ දේශපාලන තක්සේරුවය. විපක්‍ෂ නායක සජිත් පසුගිය දිනක කියා සිටියේ ජනාධිපති රනිල්, රාජපක්‍ෂ පවුලට පාවඩ එළමින් රටේ ලක්‍ෂ 220කට මල්වඩම් යවන බවය . රතුපස්වල මිනීමරු සංස්කෘතිය නැවත වරක් ප්‍රතිනිර්මාණය කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මුවා වී ම්ලේච්ඡ මර්දනයක් සිදුකෙරෙන බව ද සජිත්ගේ චෝදනා විය. ත්‍රස්තවාදී පනත යොදා ගනිමින් අරගලයේ ක්‍රියාකාරීන් මර්දනය කරන බවට බොහෝ දෙනෙක් ආණ්ඩුවට චෝදනා කරන බව ජනාධිපති රනිල් ද දනී.

එජාප 76 වන සමුළුවේදීත් ජනාධිපති රනිල් පැහැදිලිවම සඳහන් කළේ අරගලය නැති වුවත් තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු නැති වී නොමැති බවය. එසේම ඔවුන් මේ පවතින දේශපාලනය පිළිකුල් කරන බවත්, ප්‍රතිපත්තිමය දේශපාලනයක් එම අරගලකරුවන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කර ඇත. ඒ තරුණ තරුණියන් තුවක්කු හා බෝම්බ නැතිව අරගලයක් කළ බවත් එය ඇතුලේ ප්‍රචණ්ඩකාරීන් වෙනම ක්‍රියාත්මක වූ බව ද ජනාධිපතිවරයා තේරුම් ගෙන සිටින ආකාරය ද පැහැදිලි විය. එසේ නම් අද ආණ්ඩුව විසින් ගෙනයනු ලබන මර්දනකාරී මෙහෙයුම කුමක් සඳහා ද යන්න ගැටලුවකි. ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ තවත් කරුණක් ද විය. ඒ ත්‍රස්තවාදී පනත වෙනුවට අලුත් නීතියක් ඉදිරිපත් කිරීම හා සත්‍ය කොමිසමක් හඳුන්වා දීමය. එසේ නම් ඒවා ඉදිරිපත්වනතුරු අපි බලා සිටිමු.

හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා දින කීපයකට පෙර අවධාරණය කළේත් මෙම අරගලය කළ තරුණ තරුණියන් අමතක කර මින් ඉදිරියට මෙරටේ දේශපාලනය කළ නොහැකි බව ය. නිදහසින් පසු මෙරටේ පාලනය භාර වූ ප්‍රධාන පක්‍ෂ දෙක විසින් ම සිදුකර ඇත්තේ රට විනාශ මුඛයට ඇද දැමීමක් බව ද පැවසීමට චන්‍ද්‍රිකා නිහතමානී වීම ගැන ද ඇයට ප්‍රශංසාව හිමි විය යුතුය. සත්තකින්ම අද මේ රටේ ලක්‍ෂ 220න් බහුතරයක් ගෙවන ජීවිතය කටුක හා දුක්මුසු වූවකි. ගාලුමුවදොර අරගලය විසින් ඉල්ලා සිටින ලද්දේත් ඒ විනාශකාරී දේශපාලනය අප්‍රමාදව අවසන් කළ යුතු බව ය. වරප්‍රසාදලාභී ප්‍රභූ දේශපාලනයට තවත් ඉඩ නොදිය යුතු බව ය.

1978 දී හඳුන්වාදෙන ලද කූට, බලලෝභී, දේශපාලන ක්‍රමය තවදුරටත් නඩත්තු කිරීමට නොහැකි බව වටහාගත් අලුත් දේශපාලනයක කටහඬ ඇසීමට අපේ තරුණ තරුණියන්ට මෙන්ම ජනතාවට ද අවශ්‍ය වී තිබේ. රාජපක්‍ෂ පවුල් දේශපාලනයේ රැකවලුන් බවට පත්ව සිටි සමහරුන්ට ද මේ ජනතා අභිලාෂය වැටහී තිබෙන බව ඔවුන්ගේ ඇමතුම්වලින් පෙනී යයි. තම පක්‍ෂය වෙනුවෙන් රටේ ව්‍යවස්ථා සකස් කළ ජේ. ආර්.ට මෙන්ම තම පවුලේ අභිලාෂයන් ඉටුකර ගැනීමට එයට සංශෝධන එකතු කළ රාජපක්‍ෂවරුන් පිළිබඳව ද දැඩි විවේචන තිබේ. එදා ඒ සංශෝධනවලට අත එසවූ දේශපාලනඥයන්ට අද තමන්ගේ දේශපාලන මුග්ධ භාවය පසක් වී තිබෙන බව ද පෙනේ. කුමක් වුවත් මේ රටේ දේශපාලන ගමන් මඟ දැඩි පරිවර්තනයකට ලක් විය යුතු බව අද බොහෝ දෙනෙක් පිළිගනිති. එහෙත් තවමත් ඒ වැඩවසම් දේශපාලන ක්‍රමය නඩත්තු කිරීමට සමහරුන්ට අවශ්‍ය බව ද රහසක් නොවේ. වසන්ත මුදලිගේට ත්‍රස්තවාදී චෝදනා නඟන අය තවමත් මේ රටේ තාරුණ්‍යයේ අපේක්‍ෂා ඉඳුරා වටහා ගෙන නැත. සැබැවින් ම ඔවුන් සිරකර තබා හෝ පීඩාවට පත් කර හෝ ඒ තාරුණ්‍යයෙහි හෘදසාක්‍ෂිය නිහඬ කළ නොහැකි බව ද අප වටහා ගත යුතුය.

මේ වන විට එළිදක්වා තිබෙන ජගත් මානව හිමිකම් වාර්තාවෙහි ද ලංකාවේ සමාජ – ආර්ථික – දේශපාලන අර්බුද පිළිබඳ යම් යම් ප්‍රකාශ සිදුකර තිබේ. අද උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය සියලු ජනකොටස්වලට හා හැම තරාතිරමකම ජනතාවගේ මානව හිමිකම්වලට බලපාන බව ද එහි දක්වා තිබේ. එසේම දරුණු ආරක්‍ෂක නීති මත යැපීම හා විරෝධතා මර්දනය අවසන් කළ යුතු යැයි ද එහි යෝජනා කර ඇත. ත්‍රස්තවාදී පනත යටතේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත් මහජන විරෝධතා මර්දනයට ආණ්ඩුව යොමු වී සිටින බවට ද එහි චෝදනා කර ඇත. ඔවුන්ගේ අවධාරණය අනුව ආණ්ඩුව මිල්ටරිකරණය දෙසට ගමන් කිරීම ආපසු හැරවිය යුතු වේ. මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ පිළිබඳ අපට විවේචන තිබේ. එහෙත් ඇය සඳහන් කරන මේ කරුණුවල යුක්තිසහගත පදනමක් නැතැයි කීමට අපට නොහැක.

 ආණ්ඩුව තවමත් ගාලුමුවදොර අරගලකරුවන් ලුහුබඳින ආකාරය සහ ඔවුන් වෙනුවෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳ විවේචන මෙන්ම විවෘත චෝදනා ද ඇත. සිවිල් සංවිධාන, නීතිඥයන්, විද්වතුන් ඒ වෙනුවෙන් ඉදිරිපත්ව සිටින ආකාරය ද දැක ගත හැකිය.

ගාලුමුවදොර අරගලය විසින් එල්ල කරන ලද විරෝධතා අබියස රාජපක්‍ෂ කඳවුරට වූ දේශපාලන අලාභය ඉමහත් ය. එනිසා ඔවුන්ට මේ අරගලය දෙස උපේක්‍ෂාවෙන් බැලීම ද අසීරුය. ඒ කුමක් වුවත් අරගල ක්‍රියාකාරීන් රිදවීම ඔවුන්ගේ වුවමනාව බවට තිබෙන චෝදනාවට පිළිතුරු දිය යුත්තේද රාජපක්‍ෂ කඳවුරෙන්මය. ජනාධිපති රනිල් ලවා එයට නීතිමය ප්‍රතිචාර දක්වන ආකාරය ජගත් සංවිධානවල කනස්සල්ලට ද හේතුවී තිබේ. සර්ව පාක්‍ෂික ආණ්ඩු යෝජනාවට වඩා පොහොට්ටුවට වුවමනා තම දේශපාලන බල ව්‍යාපෘතිය යළි සවිබල ගැන්වීම බව ද පෙනේ. අලුතින් පත්වීම් ලද රාජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව එය තහවුරු කරන්නකි. එහිදී එදා ධුරය හැරගිය ශෂීන්‍ද්‍ර යළි කැඳවීම ද අරගලකරුවන්ගේ විරෝධයට අභියෝගයක් වැන්න. මෙහිදී ශ්‍රීලනිපයේ හයදෙනෙක් එක්ව සිටීම ද තවත් සුවිශේෂ සිද්ධියකි. මේ පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නය වූයේ ද යළිත් පොහොට්ටුවේ අණසක පැතිරවීමක් ද යන්නයි. ඇත්ත වශයෙන්ම ජනාධිපති රනිල්ට මෙම පොහොට්ටුවේ ඇමැති හා රාජ්‍ය ඇමැති දොළදුක් නොසංසිඳවා ඉදිරියට යා නොහැක. මේ අය අතර වත්මන් සමාජ – ආර්ථික – දේශපාලන අර්බුදවලට ප්‍රබුද්ධ සැලසුම් ඇතැයි සිතිය හැකිද?

මේ වන විට ජගත් ආයතන පමණක් නොව මෙරටේ ප්‍රාමාණික විද්වතුන් විසින් ද දැඩිව අවධාරණය කරන්නේ ළමා මන්දපෝෂණය හා ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ  ගැටලුය. සෞඛ්‍ය බලධාරීහු නින්දෙන් නැඟිට ඇවිත් යුනිසෙෆ් වාර්තාවට අභියෝග කරති. එහෙත් රිජ්වේ ළමා රෝහලෙන් පවා ඒ දරුවන්ගේ මන්දපෝෂණය ගැන තහවුරු කිරීම් සිදුවේ. ලෝක වැඩසටහන් වාර්තාවට අනුව මෙරටේ පවුල් පහකින් හතරක්ම ආහාර වේලක් මඟහරින බව සඳහන් වේ. පසුගිය දිනක වැලිගම ප්‍රදේශයේ උත්සව ශාලාවක සාදයකින් පසුව කුසගිනි නිවාගැනීමට ගිය දරුවන් කීපදෙනෙකු මුහුණ දුන් සිද්ධියක් ගැන පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්නකර තිබුණි. වැලිගම කිසියම් දේශපාලන බලවන්තියක් ඒ දරුවන් බිම දණගැස්සවූ බව ද ප්‍රකාශ වී ඇත. මේ නපුරු දේශපාලන බලවතියට එයට ඕනෑ තරම් නිදහසට කරුණු ද දැක්විය හැකිය. එහෙත් එය සදාචාරාත්මක හා මාතෘත්වයට පටහැනි මෘග ප්‍රතිචාරයක් බව පෙන්වා දිය යුතුය.

 නිලබල සහිත ඉසුරුමත් ජීවිත ගෙවන ඒ වර්ගයේ චරිත අද විරල නැත. එහෙත් මේ රට දරිද්‍රතාව නමැති අගාධයට තල්ලු කළ දූෂිත, වසල දේශපාලනය ඒ සියල්ලට වගකිව යුතුය. දුප්පත්කම නිදන්ගත රෝගයක් නොව පන්ති සමාජයක දුෂ්ට ප්‍රතිඵලයකි. ඒ නිසා දේශපාලනය යනු ඒ සමාජ – ආර්ථික අර්බුදවලට විසඳුම් හා පිළියම් යෙදීම කේන්ද්‍ර කරගත් සද් ව්‍යාපාරයකි. එහෙත් අපේ දේශාපලනය ගැන කතා කිරීම පවා නිෂ්ඵලය. එය බොරුව, දූෂණය, වංචාව, නාස්තිය යනාදී සකලවිධ දුෂ්ප්‍රතිපත්තිවලින් යුතු දුර්ගන්ධය පිරුණු කුණුපයක් බවට පත්ව තිබේ.

ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය ආධාරයක් අනුමත කෙරෙන එකඟතාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රබල කොන්දේසියක් වී ඇත්තේ ද දූෂණය මර්දනය කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ය. ලංකාව චෞර පාලනයක හිර වී සිටින රටක් බව අද ලෝකයා ද පවසන බවට තවත් සාක්‍ෂි අවශ්‍යද? අපට ණය ආධාර දීම සඳහා සාකච්ඡා කළ විශේෂඥයන් අතර සිටි මෂාහිරෝ නොසාකි මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ද දූෂණ මර්දනය ශක්තිමත් කිරීමට වහාම යාන්ත්‍රණයක් අවශ්‍ය බව ය. රටට මේ අවමානය ලබාදුන් දේශපාලන කම්බාහොරු මෙන්ම ඒවාට උඩගෙඩි දුන් වසල නිලධාරීහු ද අදත් සුවසේ සිටිති. කති, බොති. වළඳති. එහෙත් එකම ඩොලරයක්වත් හොරකම් නොකළ ජනතාවගේ දරුවෝ මන්දපෝෂණයෙන් කෘශ වෙති. මෙරටේ පාලකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් විසින් මහජන මුදල් ගසා කෑ ආකාරය නොදන්නා සිහිබුද්ධි ඇති පුරවැසියෝ සිටිත් ද?

ජනමාධ්‍ය විසින් මෙරටේ දේශපාලනඥයන් මෙන්ම නිලධාරීන් විසින් ද කරන ලද හා කරනු ලබන දූෂණ වංචා, අක්‍රමිකතා, කොපමණ හෙළිකළත් ඒවායින් පලක් වී තිබේද? එක්කෝ මන්තිරියා හොරෙකි. එසේත් නොවේ නම් හොරා ඇමැතියකුගේ නෑයෙකි. මේ රටේ අවංක මිනිස්සු දේශපාලනයේ මෙන්ම රාජ්‍ය සේවයේ ද සිටිති. එහෙත් හොරුන් ගැන කතා කිරීම තමන් පමණක් නොව දරු පවුලම අනතුරක හෙළීමක් බව සිතන අය ද සිටිති. දේශපාලනය කුමක් වුවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් බයක් සැකක් නොමැතිව හොරුන්ට, දූෂණයට වංචාවට එරෙහිව හඬ නැගූ හා අදත් එසේ කරන ධෛර්යවන්ත මිනිසෙකි. ඔහු පසුගිය දිනක රූපවාහිනී නාලිකාවකින් කියා තිබුණේ මේ රටේ ඇතැම් දේශපාලනඥයන් පසුගිය කලබල සමයෙහි විනාශ කළ නිවාස, පැහැරගත් වස්තුව සම්බන්ධයෙන් බොරු වාර්තා පෙන්වා ජනතා මුදල්වලින් වන්දි ලබා ගැනීමට සැරසෙන බව ය. (දෙරණ – සැප්. 7 දිවා ප්‍රවෘත්තිවල එය විකාශය විය.)

 කෙසේ හෝ දිවයින ප්‍රධාන පුවතින් දැක්වුණේ එදා  ගිනිගත් දේපොළවල තක්සේරු වටිනාකම දෙගුණ තෙගුණ කර වන්දි ලබා ගැනීමට දේශපාලනඥයන් පිරිසක් කටයුතු කරමින් සිටින බවකි. එහි ඉතා පැහිදිලිව සඳහන් වූයේ එම ක්‍රියාව නිසා තක්සේරු කරන නිලධාරීන් ද දැඩි අපහසුතාවකට ද පත්ව සිටින බවය. කිසිවකුගේ නමක්  ගමක් නොමැති වුව ද සිදුවීමට යන අනිසි හා අයුතු ක්‍රියාවක් හෙළිකිරීම වරදක් ලෙසද අපට නොපෙනේ. ඒ මහජන මුදල් නිසා ය. වාර්තාවේ ඉතා මැනවින් එම ප්‍රයත්නය විග්‍රහ කර තිබුණි. එහෙත් එයින් කිසිවෙක් කලබල විය යුතු නැත.

පාර්ලිමේන්තුව මෙන්ම ජනමාධ්‍ය බැඳී සිටින්නේ ද මහජනයා වෙනුවෙන් කරුණු කාරණා දැක්වීමට ය. පාර්ලිමේන්තුවේ වාද විවාද මෙන්ම ඇතැම් විට එහිදී සිදුවන ගැටුම්, අපහාස, උපහාස ආදියත් මාධ්‍යවල පළ වේ. එය මාධ්‍යවල හිමිකමකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ලබා දී ඇත්තේ ද අභීතව, තම මහජන සේවය ඉටු කිරීමටය. එහෙත් මාධ්‍යකරුවාට එබඳු රැකවරණ නැත. එසේම වාර්තාකරණය නිසා ජීවිතවලින් වන්දි ගෙවීමට මාධ්‍යකරුවන්ට සිදු වූ අතර මාධ්‍ය ආයතනවලට ද නොයෙක් ප්‍රහාර එල්ල වූ අවස්ථා ද තිබේ. එනිසා මාධ්‍යවේදීන්ට කිසිසේත් ගරු මැති ඇමැතිවරුන්ට හා ඔවුන් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන නිලධාරීන්ට ද ලැබෙන වරප්‍රසාද හා ආරක්‍ෂාව නැති බව ද කව්රුත් දනිති. එහෙත් සත්‍යය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම සැබෑ මාධ්‍යවේදියකුගේ මෙහෙවර විය යුතුය. සොක්‍රටීස් පඬිවරයා වස පානය කර ජීවිතය පුද කළේත් ඒ සත්‍යය වෙනුවෙනි. වරදක් වීමට පෙර එය පෙන්වා දීම මාධ්‍යයෙහි වගකීමකි. සාවi තොරතුරු දක්වා දේශපාලන කඳවුරක් වෙනුවෙන් පෙනී සිටීමට දිවයිනට අවශ්‍ය නැති බව පමණක් මෙහිදී සඳහන් කිරීම ප්‍රමාණවත් ය. දේශපාලනයත්, ජනමාධ්‍යත් විනිශ්චය කළ යුත්තේ මැති ඇමැතිවරුන් විසින් නොව බුද්ධිමතුන්, විද්වතුන් හා පොදු ජනතාව විසින් බව ද අපගේ අදහසය. ඒ කුමක් වුවත් වරප්‍රසාදවලින් අප්‍රසාදය වසා ගත නොහැකි බව ද කිව යුතුමය.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment