දේශපාලන වෙනස්කම් රැසයි ‘ආර්ථික ප්‍රශ්ණය’ එතැනමයි..

77

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය පසුගිය අගෝස්තු 03 පෙරවරුවේ ආරම්භ කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. එම කතාවේ දී ජනපතිවරයා කී දේවල් ගැන විවිධ අය විවිධ අදහස් ඉදිරපත් කරමින් සිටින අතර මේ ගැන ඇතැම් අය නම් කියන්නේ ඔහු කියන දේවල් සහ කරන දේවල් අතර පරස්පරයක් තිබෙන බවයි. අරගලකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන මර්දනකාරී පිළිවෙතින්ම එය පැහැදිලි වන බව ද ඇතැම් අය කියති. ජනපතිවරයා මේ කතාවේ දී කීවේ අරගලය තුළ පැවැති අවිහිංසාවාදය යටපත් වී ප්‍රචණ්ඩත්වය පසුව ඉස්මතු වූ බවයි. යම් යම් කණ්ඩායම් අරගලයේ සාමූහිකත්වය යටපත් කරමින් අයිතිකරුවන් බවට පත් වූ බවත් ඔවුන් ආදරය වෙනුවට අරගලයට ප්‍රචණ්ඩත්වය එන්නත් කළ බව සහ ත්‍රස්තවාදය කාන්දු කළ බව ද ජනපතිවරයා කියා සිටියේය. අරගලය තුළ සිදු වූ ඇතැම් දේ සහ අරගලය තුළ සිටි ඇතැම් කණ්ඩායම්වල හැසිරීම් දෙස බලන විට ජනාධිපතිවරයා මේ කියන දේ සත්‍යයක් බව ද කිව යුතුය. ඒ නිසා අරගලය නාමයෙන් නීතියට පටහැනි දේවල් සිදුව ඇත්නම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද අපි පිළිගනිමු. තම කතාවේ දී “මම ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නෑ. නමුත් අවිහිංසාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා… යනුවෙන් ද ජනපතිවරයා කියා සිටියේය. එයට අපට ද එකඟ විය හැකිය. එහෙත් අරගලය ඔය කියන පරිදිම සාමකාමීවම සිදු වුණා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට සිදු වන්නේ නැත. එසේ නම් ඒ නිසාම රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයා බවට පත් නොවන බව ද කිව යුතුය. ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් ඉල්ලා සිදු කළ අරගල ක්‍රියාමාර්ග නිසා කෙසේ හෝ අවසානයේ ‘ගෝඨා ගෝ හෝම්’ වී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වී මේ වන විට රටේ දේශපාලන වෙනස්කම් රැසක් සිදුව ඇත. එහෙත් මහජනයාගේ ආර්ථික ප්‍රශ්නය එතැනම ද? අපට ඇති ප්‍රශ්නය එයයි.

● දේශපාලන ස්ථාවරභාවය

ආර්ථික ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛත්වය නොදී මේ මොහොතේ අනිත් කවර දේශපාලන හෝ වෙනත් වෙනස්කම් සිදු වුවත් ඵලක් නැති බව අපගේ අදහසයි. ආර්ථික ප්‍රශ්නය විසඳා ගැනීමට ද යම් ස්ථාවර රජයක් පැවතිය යුතු බව නම් සත්‍යයකි. මේ දක්වා ආර්ථික ප්‍රශ්නය විසඳා ගැනීමේ ක්‍රියාමාර්ග පවා එතරම් ප්‍රතිඵලදායි නොවී ජනතාව දිගටම පීඩාවට පත්ව ඇත්තේ ද දිගින් දිගටම දේශපාලන ස්ථාවරභාවය නොමැති වූ නිසා බව ද කිව යුතුය. ඒ නිසා සියලු දේශපාලනඥයින්ට මේ මොහොතේ රට වෙනුවෙන් යම් අන්තර්කාලයකට එක්ව පුළුල් දේශපාලන සම්මුතියකින් සාමූහිකව කටයුතු කිරීමේ වගකීමක් තිබේ. පක්ෂ පාට කෙටි කාලයකට හෝ අමතක කරන ලෙස අපි ඉල්ලා සිටිමු. එහෙත් ඒ සඳහා අප සිතන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර බව පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඉදිරියේ දී සිදු කිරීමට තිබෙන බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අපට මහජනයාගේ සහාය ද අවශ්‍ය වනු ඇත. එසේම අප මුහුණ දී සිටින්නේ බලවත් විදේශ විනිමය අර්බුදයකට නිසා අපට අනිවාර්යෙන්ම ජාත්‍යන්තරයේ සහාය අවශ්‍ය වේ. ඒ නිසා රනිල් ජනපති වීමෙන් පසුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනා එක්ව සර්ව පාක්ෂික රජයක් බිහිකර ගත හැකි නම් (එහෙත් එය කවර කාලයකටද යන්න පැහැදිලි විය යුතු වේ.) එය අපගේ පණ අදින ආර්ථිකය යම් මට්ටමකින් හෝ ඉහළට ඔසවා තැබීමේ ප්‍රයත්නයට ශක්තියක් වනු ඇත. ඒ නිසා මේ මොහොතේ සියලු දෙනා උත්සාහ කළ යුත්තේ ඒ සඳහාය. මේ සම්බන්ධයෙන් සිය කතාව ආරම්භයේම ජනපතිවරයා මෙසේ පවසනු ලැබීය.

‘රට ගොඩනැංවීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට එක්වී කටයුතු කිරීම මේ අවස්ථාවේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තුවයි. එකට එක්වුණොත් අපට ජාතිය ඉහළට ඔසවා තබන්නට හැකි වෙනවා. බෙදී වෙන් වුණොත්, පරිහානියට හා අසරණභාවයට පත්වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන් පමණක් නෙවෙයි. මුළු මහත් ජාතියමයි…”

මෙය සත්‍යයකි. ජනතාවගේ අපේක්ෂාව ඇමැතිවරු පිරිසක් පත්කරගෙන කුමන හෝ අන්තර්කාලීන රජයක් අටවා ගැනීම නොවේ. සියලු දෙනා එක්ව මේ වැටී ඇති ආර්ථික අගාධයෙන් රට යම් මට්ටමකට හෝ ඔසවා තබා ගැනීමට සමත් වැඩපිළිවෙළකි. එම අන්තර්කාලයෙන් පසුව මැතිවරණයකට ගොස් ජනවරම සහිත පාලනයක් බිහි කර ගැනීමට ද හැකියාව තිබේ. එහෙත් මේ අමාරු වෙලාවේ වහාම මැතිවරණයකට යෑමට අපහසු නිසා යම් කෙටි කාලයකට අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයක් ඇතිකරගෙන මේ ආර්ථික අගාධයෙන් රට ගොඩ ගැනීම සඳහා ක්‍රියා කළ යුතු වේ. එහිදී දැනට ප්‍රමාද වී ඇති අයිඑම්එෆ් සාකච්ඡා ක්‍රියාවලිය වේගවත් කර ගැනීම සහ අන්තර්කාලීන මූල්‍ය පහසුකම් සොයාගෙන දැනට පවතින තෙල් සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආනයන රටට ගෙන්වා ගැනීමට පවතින දුෂ්කරතා ක්‍රමයෙන් සමනය කරගත යුතුය. එහෙත් යම් කාලයකට අප සියලු දෙනාටම පටි තද කරගෙන කිසියම් ඉවසීමකින් ද කටයුතු කිරීමට ද සිදුවනු ඇත. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට විශාල වගකීමක් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියා කරන ආකාරය සහ ඔවුන්ගේ කැපවීම දෙස රටවැසියා බලා සිටින බව ද අපි ඔවුන්ට සිහිපත් කරමු.

● කොටස් වෙළෙඳපොළ

පසුගිය දිනවල සිදු වූ දේශපාලන වෙනස්කම් සමග පසුබෑමට ලක්ව තිබූ කොටස් වෙළෙඳපොළේ කිසියම් සක්‍රීය වීමක් ද දක්නට ලැබිණි. ඒ අනුව ඉකුත් 03 වැනිදා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය නැවත වරක් ඒකක 8000 ඉක්මවා ගියේය. ඒ ඉකුත් ජුනි 06 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 8000 සීමාවෙන් මෙපිටට පැමිණීමෙන් පසුවය. මේ අනුව එම දිනයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8080.14 දක්වා ඒකක 172.62කින් වර්ධනය විය.

මේ අතර බොහෝ කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම ඊට පසුදින (04) රු. බිලියන 3 සීමාව පසු කළේය. මේ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී එදින රු. බිලියන 3.79 ක ගනුදෙනු පිරිවැටුමක් සටහන් විය. එසේම ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8229.14 ක් දක්වා සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 2677.67ක් දක්වා තවදුරටත් වර්ධනය විය. සියලු කොටස් මිල දර්ශකය එදින ඒකක 100 ක් ඉක්මවා අඛණ්ඩව තෙවන දිනටත් වර්ධනය වීම විශේෂත්වයකි. මේ අනුව ජනපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පසු ව්‍යාපාර අංශවල කිසියම් විශ්වාසයක් ජනිතව ඇති බව පෙනේ. එය අනාගතය සම්බන්ධයෙන් නම් හොඳ සංඥාවකි.

● දේශපාලන අවදානම්

පසුගියදා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය අප රට සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් පවතින දේශපාලන අවදානම් ගැන අනතුරු ඇඟවීමක් ද කර තිබුණි. එනම් ඔවුන් එහි මෙසේ කියා තිබුණි.

‘ආණ්ඩුවේ පාර්ලිමේන්තු ස්ථාවරය ශක්තිමත් නමුත් මහජන සහාය දුර්වල ය. ඉවත් වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ අගමැතිවරයා වූයේ ද රනිල් වික්‍රමසිංහ මහතාය. පාර්ලිමේන්තුවේ මෙන්ම ආණ්ඩුවේ ද ආධිපත්‍ය දරන්නේ ද රාජපක්ෂ පවුලට සමීපව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයන් වන නිසා ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු නොවන්නේ නම් සහ කළ යුතුව ඇති ප්‍රතිසංස්කරණවලට මහජන විරෝධතා වර්ධනය වුවහොත් තවදුරටත් දේශපාලන අස්ථාවරත්වයක අවදානමක් තිබේ.’

ඒ නිසා කිසියම් අනාගත දේශපාලන අවදානමක් ගැන ඔවුන් මෙසේ සඳහන් කරන අතර එය එසේ නොවන තැනට කටයුතු කළ හැකි වන්නේ ද ආණ්ඩුවටමය.

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විශාල බහුතරයකින් තහවුරු වීම ඔහුගේ රජයට විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ වීම, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස දුෂ්කර ප්‍රතිසංස්කරණ සාකච්ඡා කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් සහයෝගයක් ලැබෙනු ඇතැයි මෙය යම් බලාපොරොත්තුවක් ලබා දෙන බව ද එම ආයතනයේ ප්‍රකාශයේ සඳහන් වේ. රජය විසින් අයිඑම්එෆ් සමඟ එකඟ වන ඕනෑම ප්‍රතිසංස්කරණ පැකේජයක් ඉහළ බදු, වියදම් තාර්කිකකරණය සහ වැඩි විනිමය අනුපාත නම්‍යශීලීභාවයක් සඳහා කැපවීම වැනි අංග ඇතුළත් වනු ඇත. එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බාධාවක් විය හැකි මහජන විරෝධයක් ඇති වීමට සැලකිය යුතු අවදානමක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුවක් නොමැති විට, නුදුරු කාලීනව ශ්‍රී ලංකාව ඉතා ආතති සහගත බාහිර තත්ත්වයකට මුහුණ දෙනු ඇතැයි අපි අපේක්ෂා කරන බවත් ෆිච් ආයතනය සඳහන් කර තිබේ. ඉන්ධන, ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා පවා ගෙවීමට සුළු විදේශ විනිමයක් රටට ඇති අතර, විදේශ සංචිත ඉකුත් ජුනි අග වන විට ඩොලර් බිලියන 1.9 ක් (ආනයන එක මාසයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන ) පමණ දක්වා පහත වැටී ඇති බවත් එහි තවදුරටත් සඳහන්ව තිබුණි. මේ නිසා ජාත්‍යන්තර විශ්වාසය ඇති කර ගැනීමට ද මේ දේශපාලන අවදානම් තත්ත්වයන් නොමැති තත්ත්වයට රට පත් කරගත හැක්කේ ද මීට පෙර සඳහන් කළ පරිදිම සියලු දෙනා එක්ව සාමූහිකව කටයුතු කිරීමෙනි.

ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අගාධයක අපි ඇලී ගැලී සිටිමු. අප මේ ගත කරමින් සිටින්නේ අතිශය බලවත් අර්බුද කාලයකි. මෙය ආර්ථිකය පණ අදිමින් ජනතාව ඉමහත් පීඩාවට පත්ව විඳවමින් සිටින මොහොතකි. කොරෝනා වසංගතය අනපේක්ෂිතව පැමිණි බව සත්‍යයකි. එහෙත් එහි බලපෑම් ද සමග රටට මුහුණ දීමට සිදුවන මෙවන් බලවත් ආර්ථික විපතක් පිළිබඳ පෙර දැක්මක්, ආර්ථික උපායමාර්ග වෙනස් කරගෙන මේ අලුත් තත්තවයකට මුහුණ දීමට පෙර සූදානමක් හෝ

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට, එම රජයේ මැති ඇමැතිවරුන්ට හෝ ඒ ආණ්ඩුවේ සිටි ආර්ථික බලධාරීන්ට ද නොතිබුණු බව ඔවුන් කටයුතු කළ ආකාරයෙන් මේ වන විට දැන් පැහැදිලිව ඇති දෙයකි. එනම් කලට වෙලාවට නිසි තීන්දු තීරණ
නොගැනීම සහ ඇතැම් වැරදි තීන්දු ගැනීම නිසා ද වූයේ කොරෝනා වසංගතය හමුවේ උග්‍ර වූ විදේශ විනිමය අර්බුදය හරිහැටි කළමනාකරණය කර ගැනීමට අප අසමත්ව රට බංකොළොත් වීමයි. දැන් එහි විපාක රට සහ මහජනයා අත්විඳිමින් සිටී. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙන්ම ඒ ආණ්ඩුවේ සිටි අයටත් බොහෝ දේශපාලන විපාකවලට මුහුණදීමට ද සිදුව ඇත. ඒ නිසා නව රජයට ද අප කියන්නේ වෙනත් වෙනස්කම් කිරීමට පෙර සහ අනිත් සියලු දේට වඩා මේ ආර්ථික ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛත්වය දෙන ලෙසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment