දේශමාන්‍ය බයිසන් ගවපාල සහ ආචාර්ය සිඟාල ඌරුසිංහ

2683

ආචාර්ය උපාධි ඉතාම අඩු මිලට ලබාගත හැකි රටවල් තුනක් ලෝකයේ තිබේ. ඉන් පළමු වැන්න ඉන්දියාවය. තමිල්නාඩුවේ දෙවැටවල්වල අටවා ඇති කුඩා ලෑලි කාමරයකින් ආචාර්ය උපාධියක් මිලට ගැනීම සඳහා ඔබ වැයකළ යුත්තේ රුපියල් 250 ක් පමණි. තවත් රුපියල් 250 ක් ගෙවූ විට ඔබට කළු රෙද්දක් පොරවා උපාධි තොප්පියක් පළඳවා දිග පිට්ටු බම්බුවක් වැනි සන්නස් පත්‍ර කොපුවක් අතට දී උපාධි පින්තූරයද ලබාගත හැකිය. හැබැයි ලංකාවේ දී ආචාර්ය උපාධියක මිල සැලකිය යුතු තරම් වැඩිය. වේල්ලවීදියේ පිහිටි ඇතැම් හොර ජොයින්ට්වලින් මෙන්ම කටුචිකිත්සකයන් සහ හොර දොස්තරලා විසින් පිහිටුවා ගත් සංවිධානවලට කිසියම් රුපියල් පන්දහසක් ගෙවීමෙන් ආචාර්ය උපාධියක් ලබාගත හැකිය. මෙසේ හිඟන ආචාර්ය උපාධි ලබාගත් පරාජිත දේශපාලන සුනඛයෝ අදටත් රටේ තැන තැන බුරා හැලෙති. මෝල්ටාව වැනි රටකට ගොස් රුපියල් ලක්‍ෂ දෙකහමාරක් හා සමාන මුදලක් ගෙවූ විට නයිට් පදවියක් ප්‍රදානය කරනු ලැබේ. එවැනි හොර නයිට්ලා මහදවල් සිය නයිට් පදවිය පාවිච්චි කරමින් මිනිසුන් රැවටීමේ යෙදෙති. 1986 සිට ලංකා ආණ්ඩුව මගින් විවිධ වෘත්තීයවේදීන්ට සහ සමාජ සේවකයන්ට ප්‍රමිතිගත ගෞරවනාම ප්‍රදානය කරන ලදී. අදටත් අවුරුදු කිහිපයකට වරක් මේ ගෞරවනාම පිරිනමනු ලැබේ. එවැනි ගෞරවනාමයක් ලබාගැනීම අතිශය දුෂ්කර වැඩකි. ඒ සඳහා අදාළ පුද්ගලයාගේ උගත්කම, වෘත්තීයවේදීභාවය, සමාජ සේවය යනාදිය ගැන වෙන වෙනම වෝහාරික විගණනයක් කරනු ලැබේ. එහෙත් මේ නම්බුනාම මීට වඩා පහසුවෙන් සහ ඉක්මනින් විවෘත වෙළෙඳපොළේ විකිණීමට ඇත. කිසියම් සමාජ සේවා සංවිධානයක් අටවා ගන්නා චෞර චීවරධාරියෝද වංචනික මිනිස්සුද ආණ්ඩුව විසින් පිරිනමනු ලබන සියලුම ප්‍රමිතිගත නම්බුනාම මුදලට පිරිනමයි. නීත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම එවැනි ගෞරව නාම ලබාගැනීම හෝ භාවිත කිරීම යනාදියට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නියෝගයක් නිකුත්කර තිබේ. මෙවැනි හොර නම්බුනාම පිළිබඳ පරීක්‍ෂා කරන ලෙසත් ඒවාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් 1981 සිට අපි හැම ආණ්ඩුවකින්ම ඉල්ලා සිටියෙමු. එහෙත් කිසිදු ආණ්ඩුවක් ඒ ඉල්ලීම ගණන් නොගත්තේ හොරුන්ට නම්බුවක් ලබාදීම ජාතික කර්ත්‍යවයක් සේ සලකාය. එහෙත් අපේ කිසිදු ඉල්ලීමකින් තොරවම මේ දූෂිත ක්‍රියාවට එරෙහිව පියවර ගැනීමට මේ ආණ්ඩුව තීරණය කර තිබේ. එම ආචාර්ය උපාධි ලබාගත් තානාපතිවරුද දේපළ වෙළෙඳාම්කරුවෝද මේ නියෝගය දැක ඊළඟ ගේම ගහන්නේ කෙසේදැයි කල්පනා කරනවා ඇත. හොර ආචාර්ය උපාධිය ඇතුළු හොර නම්බුනාම ලබාදීම සහ ලබාගැනීම යන වැරදි දෙකට මුදලින් දඩයක් නියම කර හයමාසයක් පමණ හිරේ දැමීම යෙහෙකි. එම හිරදඬුවම කිසිවිටෙකත් නොඅත්හිටුවිය යුතුය.

ලංකාවේ නම්බුනාම ඉතිහාසය මහනුවර යුගය දක්වා විහිද යයි. එකල සිටි සිංහල සහ වඩිග රජවරුන්ට පන්දම් ඇල්ලූ සහ කේළාම් කියූ සියලුම දෙනාට නම්බුනාම ප්‍රදානය කරන ලදී. ලංකාවට පැමිණි පෘතුගීසි ආක්‍රමණිකයෝ අතේ සතේ නැතිව නන්නත්තාර වූ කාලයකදී මුහුදුබඩ විසූ ධනවත් සිංහලයන්ට නම්බු නාම මුදලට වික්කේය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදියා ලංකාව අත්පත් කරගත් පසු නම්බු නාම දෙවර්ගයක් පිළියෙල කළේය. ඉන් පළමු වර්ගය සිංහල නම්බු නාමයන්ය. දෙවැන්න බි්‍රතාන්‍ය නම්බු නාමයන්ය. මේ නම්බුනාමයන්ට විවිධ පදක්කම් ලෝහයෙන් තැනූ කුරුස යනාදිය අයත් විය. 1972 දී සමගි පෙරමුණ ආණ්ඩුව මගින් මේ ක්‍රමය අවලංගු කරන ලදී. 1986 දී ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ජාතික ගෞරවනාම පනත නමැති පනතක් සම්මත කරගෙන රටට, ජාතියට, කර්මාන්තවලට, අධ්‍යාපනයට සහ විවිධ වෘත්තීන්ට කළ සේවය වෙනුවෙන් නම්බු නාම පිරිනැමීමේ ක්‍රමයක් අරඹන ලදී. මේ අනුව එන පළමුවන නම්බු නාමය වන්නේ ශ්‍රී ලංකාභිමාන්‍ය වේ. මෙය සිවිල් පුරවැසියන්ට දෙන ඉහළ සම්මානය වූ අතර ජීවතුන් අතර සිටින පුද්ගලයන් පස්දෙනකු ඉක්ම නොයන පරිදි මේ සම්මානය දෙනු ලැබේ. අලුතින් මේ සම්මානය ලබාගැනීමට නම් ඒ සම්මානය දැනට හිමි පස්දෙනාගෙන් එක් අයෙක් මිය යා යුතුමය. නොඑසේනම් සම්මානලාභියා සිය කැමැත්තෙන් එම නම්බුනාමය අත්හලොත් පමණි. එහෙත් ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය මුදලට ලබාගත් හාරපන්සීයක් මේ රටේ සිටිති. ඒ සියල්ලම හොර සම්මානය. ඊළඟට සිවිල් පුද්ගලයන්ට පිරිනැමෙන ඉහළම සම්මාන වන්නේ දේශමාන්‍ය, දේශබන්දු, ශ්‍රී ලංකා ශික්‍ෂාමනී, ශ්‍රී ලංකා තිලක, වීර චූඩාමනී, වීර ප්‍රතාප, විද්‍යාජෝති, විද්‍යා නිධි, කලාශූරී, කලාකීර්ති යනාදියයි. එසේම මෙරටට සේවය කළ ශ්‍රී ලාංකිකයන් නොවන විදේශිකයන්ටද ආණ්ඩුවේ සම්මාන හිමිවන්නේය. ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ, ශ්‍රී ලංකා රත්න, ශ්‍රී ලංකා රන්ජන, ශ්‍රී ලංකා රම්‍ය යනාදී වශයෙන්ද නම්බුනාම කිහිපයක් තිබේ. විදේශිකයන්ට පමණක් හිමි මේ සම්මාන වේල්ලවීදියෙන් මිලට ගත හැකිය. පුද්ගලයාගේ හැටියට එම ගනුදෙනුව වෙනස්ය.

ඉහත සඳහන් කරුණුවල නරකම තත්ත්වය වන්නේ කිසියම් පුද්ගලයෙක් තමන් දේශබන්දු හෝ දේශමාන්‍ය සම්මානලාභියක යැයි කී විට ඒක හොර එකක්ද නැත්නම් ඔරිජිනල් එකක්ද යන්න විමසීමට සිදුවී තිබීමය. මේ නිසා ජනාධිපති ලේකම් සමන් ඒකනායක ශ්‍රී ලංකාවේ නෛතික නම්බුනාම පිරිසිදු කිරීම සඳහා ගන්නා උත්සාහයට අපි ස්තුතිය පුදකරමු. ඒ අතරම හොර දේශබන්දුලා ඇල්ලීම සඳහා දේශබන්දු තෙන්නකෝන් ලවා මෙහෙයුමක් දියත් කරනු දැකීම අපගේ අපේක්‍ෂාවය.

advertistmentadvertistment
advertistmentadvertistment