දේශීය කර්මාන්ත වැසීයෑමේ බරපතළ තර්ජනයකට මුහුණ දීලා

155

ලංකා ජා. කර්මාන්ත මණ්ඩලයේ සභාපති කැනීෂියස් ප්‍රනාන්දු

පවතින තත්ත්වය අපනයන සඳහා හිතකර වුවත් අප සැවොම දන්නා පරිදි රටේ ආනයන වටිනාකම සැමවිටම අපනයනයන්ට වඩා වැඩි අගයක් ගනී. කර්මාන්ත ක්‍ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඉන්ධන ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ආනයනයට අමතරව කර්මාන්ත අංශයේ ක්‍රියාකාරිත්වයට ඉතා වැදගත් සාධකයක් වන අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍ර ආනයනය ගැටලු සහගත වී ඇති අතර අනෙක් පැත්තෙන් ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුවල ආනයන සීමාකිරීම්, භාණ්ඩ නිෂ්කාශන ප්‍රමාදයන්, රුපියල අවප්‍රමාණය වීම නිසා ශීඝ්‍රයෙන් ඉහළ යන අමුද්‍රව්‍ය පිරිවැය කර්මාන්ත වෙත එල්ල වී ඇති මරු පහරකි. එසේම නිරන්තර විදුලි කප්පාදු කිරීම්, ඉන්ධන ලබාගැනීමේ අපහසුතාව, සේවක ඉල්ලීම්, ඉහළ පොලී අනුපාතිකයන් ද නිෂ්පාදන පිරිවැය ශීඝ්‍ර ලෙස ඉහළ යෑමට හේතුවී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

දේශීය කර්මාන්ත වැසීයෑමේ බරපතළ තර්ජනයකට මුහුණ දීලා

මේ වනවිට බොහොමයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අරමුද්‍රව්‍ය හිඟකම, විදුලිය අඛණ්ඩව නොලැබීම, ඛනිජ තෙල් ලබාගැනීමේ අපහසුව ඇතුළු අනේකවිධ ගැටලු නිසා වැසී ගොස් හෝ අකර්මන්‍ය වී ඇත. බොහොමයක් ව්‍යාපාර විදුලිජනක යන්ත්‍ර භාවිත නොකරන අතර එසේ භාවිත කළ ද එම යන්ත්‍රවලට ඉන්ධන සපයා ගැනීමට නොහැකියාවක් වර්තමානය වනවිට උද්ගතව ඇත. බොහොමයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු සෑම ව්‍යාපාරයකම පාහේ සේවකයන් පැය ගණනක් දිගු ඉන්ධන පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීම තුළින් සේවකයන්ගේ කාර්යක්ෂමතාව ද පහළ ගොස් ඇත. තවද සැලකිය යුතු සේවකයන් සංඛ්‍යාවක් යතුරුපැදි හා මෝටර් රථ ඉන්ධන ලබා ගැනීමට නිවාඩු පවා ඉල්ලුම් කරන තත්ත්වයකට පත්ව ඇත.

අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාව හේතුවෙන් ව්‍යාපාරයකට අවම වශයෙන් කෙටිකාලීන සැලසුමක් වත් සකස් කර ගැනීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වී ඇත. කර්මාන්ත බොහොමයක් දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීමට කටයුතු කරන අතර පැහැදිලි සැලසුම්කරණයකට යෑමට අපොහොසත් වී ඇත. නිශ්චිත සැලැස්මක් නොමැතිව කටයුතු කිරීම තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාව බෙහෙවින් හීන වනු ඇත. ඍජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කටයුතු කිරීම කෙසේ වෙතත් දේශීය කර්මාන්ත කඩාවැටීමකට ලක් නොවී පවත්වාගෙන යෑම මෙම අවස්ථාවේ ගත යුතු එකම පියවර ලෙස සැලකිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment