දේශීය විදේශීය නිරීක්‍ෂකයන් ජනපතිවරණය නිරීක්‍ෂණයට විශාල පිරිසක් ඉල්ලීම් කර තිබෙනවා – මැතිවරණ කොමසාරිස් ජනරාල්

52

යුරෝපා සංගමයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ සංගමයේ නිලධාරීන් විශාල පිරිසක් සහ දේශීය මැතිවරණ නිරීක්ෂකයන් විශාල පිරිසක් ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

සමන් ශ්‍රී රත්නායක මහතා එසේ කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා යොදවන පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා

පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙසේ ද කියා සිටියේය. “සෑම දිස්ත්‍රික්කයකම රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට කණ්ඩායම් පත්කර තියෙනවා. මැතිවරණ සමයේ සිදුවිය හැකි වංචා වැළැක්වීමට පොලිසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සමග අපි සාකච්ඡා කරනවා. පළාත් නවයේම නියෝජ්‍ය පොලිස්පතිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධ සියලුම නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.”

මෙම සාකච්ඡාව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි නන්දන ගලබඩ මහතා විසින් සංවිධානය කර තිබුණි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට හයලක්ෂ පන්දහස් දෙසීය අනූදෙකක් ලියාපදිංචි වී සිටිති.

නුවරඑලිය – -නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment