දේශීය සමාගමේ අයැදුම්පත පුස්කන්න යවලා: සෝඩියම් බයි කාබනේට් එන්නත් හිඟයක්

275

වකුගඩු රෝග, පාලනය කළ නොහැකි දියවැඩියාව, දැඩි විජලනය වැනි රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සංකූලතා පාලනය කිරීමට භාවිත කරන සෝඩියම් බයි කාබනේට් එන්නත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම එන්නත් හිඟය හේතුවෙන් දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබන රෝගීන් සහ අවයව සැත්කම් සිදුකළ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවයකටය.

සෝඩියම් බයි කාබනේට් එන්නත හිඟවීමට බලපෑ ප්‍රධාන හේතුව වී තිබෙන්නේ එය දේශීයව නිපදවීම සඳහා එක්තරා සමාගමක් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ඉල්ලා යොමුකළ අයැදුම්පතට අවසර ලබාදීමට වසර දෙකක කාලයක් ගතවීම යැයි හෙළිවී තිබේ.

එම සමාගමට මෙතෙක් වෛද්‍ය සැපයුම් අංශය විසින් ඇණවුම් භාරදී නොමැත.

ඇණවුම් ලැබුණ ද එන්නත් සාදා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට තවත් සති හතක පමණ කාලයක් ගතවන බව ද වාර්තා වෙයි.

මේ අතර තවත් සමාගමක් එන්නත් දේශීයව සකස්කර ලබාදීමටත් ආනයනය කිරීමටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයැදුම්පත් යොමුකර ඇතත් මෙතෙක් ඒ සඳහා ද අවසරය ලැබී නැත.

මෙම එන්නතේ අවශ්‍යතාව පිළිබඳව නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය විනෝදනි වනිගසේකර මහත්මිය මෙලෙස අදහස් දැක්වූවාය.

“මෙම ඖෂධය දැඩි සත්කාර කටයුතුවලට රෝගීන්ට ඕන වෙනවා. සංකූලතා ඇතිවූ අවස්ථාවක රුධිර පීඩනය අඩු වූ අවස්ථාවකදී අවයව බද්ධ කිරීමකදී සෝඩියම් බයි කාබනේට් අවශ්‍ය වෙනවා.

රෝගීන්ගේ රුධිරයේ පවතින ආම්ලිකතාවය අඩු කිරීමට මෙය උපකාරී වෙනවා. මෙය එදිනෙදා අවශ්‍ය වන බෙහෙතක් නෙවෙයි.

නමුත් සංකූලතා ඇති වූ විට අවශ්‍ය වෙනවා” යැයි ඇය පැවසුවාය. සෝඩියම් බයිකාබනේට් එන්නත් නොලැබීමෙන් අනුරාධපුර රෝහලේදී මරණයක් වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment