දොඩන්ගොඩ නම් වූ විශේෂාංගය

207

මාධ්‍යවේදයේ පරක් තෙර නිමවා සාහිත්‍යවේදයෙන් ද ජනතා මනසේ ලැගුම් ගත් චන්ද්‍රසිරි දොඩංගොඩ අද ජිවත් වූයේ නම්, වයස අවුරුදු හැත්තෑ දෙකකි.1951 නොවැම්බර් 30 වෙනිදා මාතර අකුරැස්සේ උපන්, දොඩංගොඩ අධ්‍යාපනය හදාරණ ලද්දේ, අගුළුගහ මහා විද්‍යාලයෙන් සහ ගාල්ල ලණුමෝදර විජය මහා විද්‍යාලයෙනි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූ ඔහු, සිය ලේඛනය ආරම්භ කරන ලද්දේ පාසල් සමයේ පටන්ය.

80 ජුලි වැඩ වර්ජනයේදී දොඩංගොඩ වෙත එතෙක් සිදු කරන ලද කම්කරු දෙපාර්තමේන්තුවේ රැකියාව අහිමි විය. පසුව ලේක්හවුස් ආයතනයේ යොවුන් ජනතා පුවත්පතේ, යොවුන් පහන් වැට නිර්මාණ කේන්ද්‍රයේ ප්‍රමුඛ කවියකු වූ දොඩංගොඩ, දිවයින ඉරිදා සංග්‍රහයට සම්බන්ධ වන්නේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙසය. පසුව ඔහුගේ නිර්මාණවේදිකාව බවට පත්වන්නේ, දිවයින ඉරිදා සංග්‍රහයය. දිවයින ඉරිදා සංග්‍රහයේ විශේෂාංග කර්තෘධුරය දක්වා සිය පුවත්පත් ගමන් මග නිමවා ගන්නා දොඩංගොඩ, ආත්මා, ලෝචනා, පූජාසනය, විසිරුණු මල් පෙති, සසල රාත්‍රිය, සඳ කළුවරයි, නේත්‍රා, භෂ්මාවශේෂ, කඳුළු දොරකඩ, යාත්‍රා ආදී නවකතා දිවයින සදහා කොටස් වශයෙන් පළ කළේය. වේ. ඒ අතර මගේ සඳ ඔබ සහ භෂ්මාවශේෂ ස්වර්ණ පුස්තක අවසන් වටය ද නියෝජනය කළේ ය. ලංකාවේ පුවත්පතකට වැඩිම නවකතා ලියූ ලේඛකයා ඔහු ය. ඔහු අතින් ලියැවුණු නවකතා ප්‍රමාණය 30 කට වැඩි ය.

තීරු ලිපි රචකයෙකු, ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකයෙකු සහ තමාගේ නවකතා ටෙලි නාට්‍යය කිහිපයක් සදහා පාදක කර ගත් හෙයින් ඔහු ටෙලි පිටපත් සදහා නිමිති සපයන්නෙකු ද විය.

දොඩං දැන් අතීතයට එක්වූ ජිවිතයක් වුවද වර්තමානයේ ඔහු ජිවත් වන්නේ ජීවමාන සාහිත්‍යයක උරුමකරුවෙකු විම නිසාය. ජිවතුන් අතර සිටියේ නම් හැත්තෑ එක් වස් පිරෙන ඔහු වෙනුවෙන් අකුරු දිගේ උපහාරයකි මේ.

අතවනා ඔබෙන් සමුගන්න බෑ සකී

සිත් සනහන කොවුල් හඬ
අහිමිව මිහිරී
අත්හැර දා උයන
කටු ඉපලින් සපිරී,
නික්මුණු දොඩන්ගොඩ සුමිතුර
චන්ද්‍රසිරී
දැක්මට බැරිලු ඔබ…….
පුළුවනි ඇයිද බැරී

සයසැට වසක් තිස්සේ
ලිව්ව ගොතගොතා
සියලුම පොත් පුවත්පත්
රැසක කවි කතා
කියවා බලන විට යළි යළිදු
නොනැවතා
නියතයි යළිත් හමුවෙයි
අපේ හිතවතා

මලක් උණත් පරවෙයි
පියා තොල්පෙති
සිලක් උණත් නොදිලෙයි
කලට තෙල් නැතී
ඔබත් ඉතින් යන
අවසරය ඉල්ලතී
අපත් යාවී….
මොහොතක්
අපට කල් ඇතී

තරු පවා දැවි බිම වැටෙන
යාමෙකී
හැම අතේම අනිසය
කියා පෑමකී
තොටුපළේ ඉඳිමු අපි
ඔබට යා හැකී
අත වනා ඔබෙන් සමුගන්න
බෑ සකී…..
රත්නශ්‍රී විජේසිංහ

මහ සිකුරාදා ලියූ පත්තරකාරයා විමලනාත් වීරරත්න

දොඩං සමුගත්තේ නොමැකෙන සැමරුම් රැසක් සහෘදයන් තුළ ඉතිරි කරමිනි. ඔහු සැබෑ අරුතින්ම පත්තරකාරයෙකි. අනෙක් අතට හෙතෙම තනිකර පත්තරකායෙකුද නොවුණේය. වර්තමාන පත්තරකාරයන්ට නැති සාහිත්‍යකරුවකු වීමේ මහා ලාභය ඔහුට තිබුණි. නිර්මාණශීලී ලේඛකයෙකු පත්තරකාරයකු බවට පත්වීමේ මහා ලාභය දැනෙන්නේ ලියන විට නොව ඔහු ලියන දේවල් පාඨක ප්‍රජාව විසින් කියවන විටය. දොඩන් ලියූ දේවල් කියවන විට ඔහු තුළ පත්තරකාරයෙකුට වැඩි මිනිසෙක් සිටිනු පාඨකයන්ට දැනුණේය.

ඔහු ජාතිකවාදී පත්තර ගුලාවක ගිලී ගිය පත්තරකාරයකු ලෙස ඇතැමෙකුට පෙනී යා හැකිය. එය සපුරා ඇත්තක් නොවේ. ඔහු ව්‍යාවෘත සාහිත්‍ය ලෝකය පිරික්සීමේදී දොඩං ප්‍රගතිශීලී පත්තර ලේඛකයකු හා අන්තර් වාර්ගික පැවැත්මෙහි ශික්ෂිත මිනිසකු බව පෙනී ගියේය.

‘දැල බිඳුම’ දොඩං ලියූ සාර නවකතාවකි. ඉහත කී ශික්ෂිත මිනිසා දැල බිඳුමෙහි සිටියේය. දිවි පුවතේ පරිවර්තන රැසකට මුහුණ දෙන මිනිසකුට ශික්‍ෂාව රැකීම අසීරු වැඩකි. එහෙත් දොඩන් සේම දොඩං නිමැවූ චරිතයෝ ඒ අසීරු මාවතේ නොසැලුණේය.

තම වැඩ කරන පුවත්පතෙහි කටයුතු සිදුවන ආකාරය ගැන රසවත් ලිපියක් තම පුවත්පතටම ලිවීමට සෑම ලේඛකයකුටම අවකාශය නොසැලසෙයි. බොහෝවිට පුවත්පත් සංවත්සරයක් හෝ වෙනත් විශේෂ අවස්ථාවකදී එම වරම ලැබෙන්නේ විශේෂාංග සංස්කාරවරයාටය. දොඩං “දිවයින ඉරිදා සංග්‍රහයේ” කීර්තිමත් විශේෂාංග කර්තෘවරයෙකි. දිවයිනේ එබඳු වැදගත් අවස්ථාවකදී සති අන්ත පුවත්පතේ කටයුතු සිදුවන ආකාරය, විවිධාකාරයෙන් ඊට උපකාර වන සගයන්ගේ මැදිහත්වීම යනාදිය

ප්‍රාසාංගික ස්වරූපයෙන් ලිවීම දොඩංට භාරවිය. පිටුවක් පුරා ඔහු ලියූ සටහන සමකාලීන පත්තර සගයන්ට අද පවා මතක නැතිවන්නට විදියක් නැත.

එහි මාතෘකාව ‘මහ සිකුරාදා’ යන්නය. දිවයිනේ අවසන් පිටු සකස් කරන්නේ සිකුරාදාටය. ඔහු ලියූ එම සටහන පුවත්පතේ සතිඅන්ත කටයුතු සිදුවන ආකාරය ගැන ලියැවුණු හොඳම සටහනකි.

චන්ද්‍රසිරි දොඩංගොඩ නම් වූ පත්තර භූමිකාවේ වීර්යවන්ත භූමිකාවකට ප්‍රවිශ්ටව සිටි මිනිසා යළි අපට හමුනොවන බව නම් සහතිකය. එහෙත් දොඩං යනු අප නිබඳ ලුහුබැඳිය යුතු මිනිසකු බව නම් පැහැදිලිය.

advertistmentadvertistment
advertistmentadvertistment