ධනය සොයා පෙරදිගට පැමිණි ලන්දේසීන්

420

ආසියාවෙහි යටත්විජිත පිහිටුවීම සඳහා යොමු වූ යුරෝපා රාජ්‍යයන් අතර පෘතුගාලය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ඩෙර්මාකය, ප‍්‍රංශය, මහා බි‍්‍රතාන්‍ය යන රාජ්‍යයන්ට මෙන්ම පසුකාලීනව 20 වන සියවසයේ මුල් භාගය වන විට එම තරගයට එක් වූ ඉතාලිය හා ජර්මනිය යන රාජ්‍යයන්ට ද වැදගත් ස්ථානයක් හිමි වේ. එම රාජ්‍යයන් අතුරින් ආසියාවෙහි වාණිජ බලය ලබා ගැනීමෙහි අරමුණින් නෙදර්ලන්ත ජාතිකයන් (ලන්දේසීන්) ආසියාව කරා ප‍්‍රවේශවීම මෙහිදී අතිශයින් වැදගත් ක‍්‍රියාදාමයක් වී ඇත. 17 වන සියවස වන විට ‘වාණිජවාදය’ ද වෙනසකට ලක්ව තිබිණ. එයට හේතු වූයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු වූ ඇඩම් ස්මිත් විසින් ඉදිරිපත් කළ ‘රාජ්‍ය නිර්බාදවාදි’ ආර්ථික ප‍්‍රතිපත්තියයි. මෙම ආර්ථික න්‍යාය තුළින් පෞද්ගලික වෙළෙඳ පන්තියට ඉදිරියට ඒමට අවශ්‍ය පදනම සකස් විය. ඒ අනුව එතෙක් පෘතුගාලය හා ස්පාඤ්ඤය යන රාජ්‍යයන් අනුගමනය කළ රාජ්‍ය භාණ්ඩාගාරය පිරවීම සඳහා වූ සූරා කෑමෙහි ප‍්‍රතිපත්තිය වෙනුවට පෞද්ගලික වෙළෙඳුන්ගෙන් සමන්විත සමාගම් වෙළෙඳ කටයුතු සඳහා යොමුකිරීමට කටයුතු කරනු ලැබූ ආකාරයක් හඳුනාගත හැකිය.

එමෙන්ම මෙම අවධියේ යුරෝපා රාජ්‍යයන් බහුතරයක් රෝමානු කතෝලික ආගම අතහැර රෙපරමාදු ආගම වැළඳගැනීම ද පෞද්ගලික වෙළෙඳ පැලැන්තියේ වර්ධනයට බෙහෙවින් හේතු විය. ඒ අනුව මුල්කාලීන යටත්විජිත බලවතුන් වූ ස්පාඤ්ඤයන් හා පෘතුගාලය රාජ්‍ය මැදිහත් වීමෙන් යටත්විජිත පිහිටුවීම සඳහා යොමු වුවත් මෙම වෙනස්වීම් සමග ලන්දේසී, බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශ ජාතිකයන් යටත්විජිත පිහිටුවීම සඳහා වෙළෙඳ සමාගම් ලෙස සංවිධානය වෙමින් ප‍්‍රවේශවීම දැකිය හැකි විය. ඒ අනුව යටත්විජිතවාදයේ දෙවන අදියර නියෝජනය කරමින් බද්ධ වස්තු ව්‍යාපාර ඔස්සේ පැමිණ ඉන්දියානු සාගරයේ වෙළෙඳාමෙහි නියළීමට ලන්දේසීන් කටයුතු කොට ඇත.

මෙසේ වෙළෙඳ සමාගම් ඔස්සේ ඉන්දියානු සාගර කලාපයට ප‍්‍රවේශ වන යුරෝපා ජාතිකයන්ගේ මූලික අරමුණ වී ඇත්තේ උපරිම ලාභ ලබාගැනීම වන අතර එමනිසා ඉන්දියානු සාගර කලාපයේ වාණිජ වශයෙන් වැදගත් ප‍්‍රදේශ කෙරෙහි ඔවුන් මූලික අවධානයක් යොමුකොට ඇත. ඒ අනුව ඉන්දියානු සාගර කලාපයේ ලන්දේසි වෙළෙඳාම පිළිබඳව විමසීමේ දී ඔවුන් අවම වියදමකින් උපරිම ලාභ ලැබීම අරමුණු කොටගෙන සිය වාණිජ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කොට ඇති ආකාරයක් හඳුනාගත හැකිය.

ධනය සොයා පෙරදිගට පැමිණි ලන්දේසීන්

මුල්කාලීනව ඕලන්ද හෙවත් ලන්දේසි ජාතිකයන් පෘතුගාලයේ ලිස්බන් නුවරින් ආසියාතික වෙළෙඳ ද්‍රව්‍යයන් ලබා ගනිමින් ඒවා යුරෝපය පුරා බෙදාහැරීමේ වැදගත් ක‍්‍රියාමාර්ගයක නිරත වී ඇත. නමුත් II වන පිලිප් රජු ස්පාඤ්ඤයේ රජු බවට පත්වීමත් සමග රෙපරමාදු ආගම ඇදහූ නෙදර්ලන්ත ජනයාට බලවත් හිරිහැර කරමින් ස්පාඤ්ඤ බලය නෙදර්ලන්තයට එරෙහිව යොදාගැනීමට පියවර ගෙන ඇත. (ඔහු රෝමානු කතෝලික ආගම ඇදහූ පුද්ගලයෙකු වූ බැවින්) ඒ අනුව ලන්දේසීන් ලිස්බන් ආශ‍්‍රිත වෙළෙඳාමෙන් ඉවත් කිරීමට සහ ලන්දේසි නෞකාවලට ලිස්බන් වරායට පැමිණීම සම්පූර්ණයෙන් තහනම් කරනු ලැබීය. මෙම ක‍්‍රියාමාර්ගය ‘ලිස්බන් තහනම’ වශයෙන් හඳුන්වනු ලබන අතර එය ලන්දේසීන් පෙරදිග වෙළෙඳාම් කටයුතු සඳහා යොමුකළ ප‍්‍රධානතම සාධකය වශයෙන් හඳුනාගත හැකිය. එහෙත් ඇතැම් රැුඩිකල් ඉතිහාසඥයන්ගේ මතය වනුයේ ලන්දේසීන් පෙරදිගට පැමිණීමට හේතු වූ ප‍්‍රධානතම සාධකය වශයෙන් ලිස්බන් තහනම සැලකිය නොහැකි බවය. ඊට හේතු වශයෙන් ඔවුන් දක්වනුයේ සමකාලීන අවධියේ යුරෝපය තුළ පැවති දේශගවේෂණ ව්‍යාපාරය ඔස්සේ ඇතිව තිබූ චින්තනය හේතුවෙන් ආසියානු කලාපයට පැමිණීම සඳහා සෑම යුරෝපා ජාතියක්ම පාහේ උනන්දුවෙන් සිටි හෙයින් ලන්දේසීන් ද ඒ පිළිබඳව උනන්දුවෙන් පසු වූ බවය. ඒ හේතුවෙන් ලිස්බන් තහනම තුළින් සිදුව ඇත්තේ ලන්දේසීන් පෙරදිගට පැමිණීම සඳහා වූ උනන්දුව වඩාත් තීව‍්‍ර කිරීමක් බවට හඳුනාගත හැකිය.

ඒ අනුව ආසියාව හා යුරෝපය එකිනෙක සම්බන්ධ කළ ගොඩබිම් හා මුහුදු සේද මාවතෙහි බලය ලබා ගැනීමට වාණිජ ප‍්‍රජාවන් විවිධ අවස්ථාවල දී උත්සාහ ගත් අතර කුරුස යුද්ධවලින් පසුව එනම් ක‍්‍රි. ව. 1453 දී ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය විසින් කොස්තන්තිනෝපලය යටත් කර ගැනීමෙන් පසු සේද මාවත මගින් යුරෝපීයන්ට ආසියාතික ද්‍රව්‍ය ලබා ගැනීමට හැකියාවක් නොමැති විය. එමනිසා ඔවුන් ආසියාවට මුහුදින් පැමිණීමට මාර්ග සෙවූ අතර ආසියාවට පැමිණීමට ප‍්‍රධාන මුහුදු මාර්ග සතරක් පිළිබඳව විස්තර වන අතර එම මාර්ගවල බලය තහවුරු කර ගැනීමට යුරෝපීයන් උත්සාහ ගන්නා ආකාරයක් හඳුනාගත හැක. ඒ අනුව Milo Kearmey විසින් රචිත The Indian Ocean in World History නම් ග‍්‍රන්ථයේ පෙන්වා දී ඇති ආකාරයට ආසියාවට පැමිණිය හැකි ප‍්‍රධාන මාර්ග හතරක් පිළිබඳව කරුණු පැහැදිලි කොට ඇත. එනම්, The Strait of Malacca route, The Persian Gulf route, The Red Sea route, The Cape of Good Hope යන ප‍්‍රධාන මාර්ගයන් ය. එම මාර්ග අතරින් සිව්වන මාර්ගය මෙම අවධියේ දී වැදගත්ම මාර්ගය වූ අතර එම මාර්ගයේ වාණිජ වශයෙන් වැදගත් ප‍්‍රදේශ යටත්කර ගැනීම සඳහා ලන්දේසීන් මෙම අවධියේ මූලික අවධානයක් යොමු කරන ලදී. ඒ අනුව ඉන්දියානු සාගර කලාපය ඈත අතීතයේ සිට වාණිජ වශයෙන් වැදගත් භූගෝලීය කලාපයක් වීම හේතුවෙන් ලන්දේසීන් සිය අවධානය ආසියානු කලාපය වෙත යොමු කරන ආකාරයක් හඳුනාගත හැකිය.

එසේම මෙම කාලය වන විට යුරෝපයේ වර්ධනය වී පැවති වාණිජ ධනවාදයේ අදහස් ද මූලික කර ගනිමින් අග්නිදිග ඉන්දියානු සාගර කලාපයේ කලාපයේ බලය පිහිටුවීමට යොමුවන ඕලන්ද ජාතිකයන් මුලින්ම සිදුකරනු ලැබුයේ එවකට මෙම ප‍්‍රදේශවල පාලන බලය පිටුවාගෙන සිටි පෘතුගීසින්ගේ දුර්වලතා පිළිබඳව සොයා බැලීමය. එහිදී ඔවුන්ට විශාල උපකාරයක් සැපයූ පුද්ගලයා වශයෙන් ලින්ස්ඛොටන් (Jan Van Linschoten) නම් ඕලන්ද යාත‍්‍රාකරු පෙන්වා දිය හැකිය. මොහු වසර 05-06 කාලයක් ගෝවෙහි නැවතී සිට පෘතුගීසින්ගේ ආසියානු බලව්‍යාප්තිය ගැන අධ්‍යයනය කොට ආසියාව පිළිබඳව කෘතීන් ද්විත්වයක් සම්පාදනය කරන ලදී. එනම්

ධනය සොයා පෙරදිගට පැමිණි ලන්දේසීන්
  • පෙරදිග මුහුදු සඳහා නාවුක උපදෙස් (Reysgeschrift) – ක‍්‍රි. ව. 1595

⋆ යුරෝපයේ සිට ආසියාවට යන නාවික ගමන් පිළිබඳ වාර්තාවක් ද, පෘතුගීසීන් විසින් ඒ ඒ ස්ථාන පිළිබඳව රහසිගතව පරීක්ෂා කළ කරුණු අලළා ලියවුණු කෘතියකි.

  • පෘතුගීසි පෙරදිග්හි තමාගේ ගමන් විස්තරය (Itinerario) – ක‍්‍රි. ව. 1596

⋆ මෙහි සඳහන් සුවිශේෂී කරුණක් වූයේ යුරෝපයේ එතෙක් පිළිගෙන පැවති ආකාරයට ආසියාතික ප‍්‍රදේශවල පෘතුගීසිී බලය එතරම් ප‍්‍රබල නොවන බවය.

යන ග‍්‍රන්ථ ද්විත්වයයි. එම කෘති මගින් පෘතුගීසි බලව්‍යාප්තියේ ස්වරූපය හඳුනාගැනීමට මෙන්ම ඉන්දියානු සාගර කලාපයේ ලන්දේසි බලව්‍යාප්තිය ඉතා සාර්ථකව සිදුකිරීමට අවශ්‍ය මූලික පදනම සකස් කොට තිබිණි. ඒ අනුව මෙම ග‍්‍රන්ථයන් තුළින් පෙරදිග පෘතුගීසි පාලනය බෙහෙවින් දූෂිත බව, පෘතුගීසි හා පෙරදිග පාලකයන් අතර සබඳතාවල පවතින නොසන්සුන් බව, පෘතුගීසින් ජාවා වෙත ප‍්‍රවේශවීමේ අඩුභාවය නිසා එහි බලය පිහිටුවීම යහපත් තත්ත්වයක් පැවතීම වැනි කරුණු අනාවරණය කරගත් ලන්දේසීන් ආසියාවේ බලය පිහිටුවීමට යොමුවන ආකාරයක් හඳුනාගත හැකිය. ඒ අනුව පෙනීයනුයේ පෘතුගීසීන් මෙන් නොව ලන්දේසීන් දැඩිලෙස උපක‍්‍රමික අංශය භාවිත කරමින් ඉන්දියානු සාගර කලාපයේ වෙළෙඳ කටයුතු පිළිබඳ ආධිපත්‍ය ලබා ගැනීමට කටයුතු කරනු ලැබූ බවය.

ඒ අනුව ලන්දේසි ජාතිකයන් පෙරදිගට පැමිණීමේ මූලික අරමුණ වී ඇත්තේ වෙළෙඳාම තුළින් වැඩි ලාභයක් ලබාගැනීම සඳහා බව හඳුනාගත හැකිය. පෘතුගීසීන් සතුව වාණිජ අරමුණ මෙන්ම සිය රෝමානු කතෝලික ආගම ප‍්‍රචාරය කිරීම ද ප‍්‍රධාන අරමුණක් වශයෙන් ක‍්‍රියාකරනු ලැබ ඇති අයුරු දැකිය හැකිය. එහෙත් ලන්දේසීන් වෙළෙඳ සමාගමක් වශයෙන් පැමිණීම හේතුවෙන් ප‍්‍රධාන වශයෙන්ම වෙළෙඳ කටයුතු සඳහා ප‍්‍රමුඛත්වයක් ලබා දී ඇත. එහෙත් සිය යටත්විජිත පාලනයේ පහසුව සඳහා සහ වාණිජ වශයෙන් සිය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ පහසුව තකා රෙපරමාදු ආගම යටත්විජිත තුළ සුළු වශයෙන් හෝ ව්‍යාප්ත කිරීමට කටයුතු කොට ඇත. ඒ අනුව ඉන්දියානු සාගර කලාපය තුළ පෘතුගීසීන් ගෙනගිය දැඩි ආගමික ප‍්‍රතිපත්තිය මෙන්ම අනවශ්‍ය අයුරෙන් දේශීය පාලන තන්ත‍්‍රයන් තුළට අත පෙවීම වැනි හේතු කාරණා මත පෙරදිග කලාපයේ පෘතුගීසි පාලනයට එරෙහිව විරෝධතා ඇති වීම සිදුව ඇත. ඒ හේතුවෙන් සමකාලීන අවධියේ ආසියානු කලාපයේ පෘතුගීසී ආධිපත්‍යයට ප‍්‍රබල බලපෑමක් එල්ල කිරීමට ලන්දේසීනට හැකි වී ඇත.

ඒ අනුව ක‍්‍රි. ව. 1595 දී ප‍්‍රථම ඕලන්ද ආසියාතික නාවුක ගමන කොරනේලිස් ද හවුස්මාන් යටතේ සිදු වී ඇත. එහිදී යාත‍්‍රා හතරකින් යුතු නාවික කණ්ඩායමක් පෘතුගීසී මාර්ගය අනුගමනය කරමින් මැඩගස්කර් දූපත දක්වා ගමන් කිරීම සිදුව ඇත. ඉන් පසුව ඔවුන් අප‍්‍රිකානු වෙරළ තීරය ඔස්සේ උතුරු දෙසට ගමන් කිරීම වෙනුවට ඉන්දියානු සාගරය හරහා නැගෙනහිරට ගමන්කොට සුන්ඩා සමුද්‍ර සන්ධිය හරහා නැගෙනහිර ඉන්දියානු කොදෙව් දූපත්වලට පිවිස ඇති ආකාරයක් හඳුනාගත හැකිය. (අග්නිදිග ආසියානු කලාපයට) ඒ අනුව පෘතුගීසි ආධිපත්‍යය එවකට නොතිබුණු ජාවාහි බැන්තම් ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කොරනේලිස් ද හවුස්මාන් විසින් ආසියානු කලාපයේ ප‍්‍රථම ලන්දේසි මධ්‍යස්ථානය පිහිටුවීම සිදුකොට ඇත. එහෙත් පෘතුගීසි බලපෑම එම ප‍්‍රදේශයට එල්ල වීම හේතුවෙන් තවදුරටත් නැගෙනහිර ප‍්‍රදේශයට යාත‍්‍රාකොට ලොංබොක් ප‍්‍රදේශය කෙරෙහි ළඟාවීම සිදු වුවද එහි ද සාර්ථක අයුරින් වෙළෙඳ කටයුතු කරගෙන යෑමට නොහැකි වී ඇත. මෙලෙස ප‍්‍රථම අදියරේ දී ස්ථිර බල මධ්‍යස්ථානයක් ඉන්දියානු සාගර කලාපයේ ලන්දේසීනට ස්ථාපිත කරගැනීමට නොහැකි විය. නමුත් මෙලෙස පැමිණි ඕලන්දයින් 1597 අගෝස්තු මාසයේ දී යාත‍්‍රා තුනකින් නැවියන් 89 දෙනකු සමග ඕලන්දය බලා ගමන් කිරීම සිදු වූ බවට වාර්තා වේ. මෙම වෙළෙඳ ගමන් තුළින් ලන්දේසීන් බලාපොරොත්තු වූ ආකාරය වෙළෙඳ වාසි අත්පත් කරගැනීමට නොහැකි වුවත් ඉන්දියානු සාගර කලාපයේ පෘතුගීසි බලය දුර්වල බවට සහ තමන්ට අවශ්‍ය වෙළෙඳ ද්‍රව්‍ය ලබාගනිමින් සාර්ථක වෙළෙඳාමක් කළ හැකි බවට ලන්දේසීනට අවබෝධ වී ඇත.

එබැවින් ක‍්‍රි. ව. 1598 මැයි මාසයේ ඇම්ස්ටර්ඩෑම් වෙළෙඳ සමාගම් දෙකක් ඒකාබද්ධව නාවික යාත‍්‍රා 8 කින් යුතු කණ්ඩායමක් බැන්තම් වෙත පිටත්කර හැරීම සිදුකොට ඇත. මෙකල පෘතුගීසීන් බැන්තම් පාලකයා සමග ගැටුම් ඇති කරගැනීම හේතුවෙන් ලන්දේසීන් උපක‍්‍රමශීලීව වෙළෙඳ සබඳතා පවත්වා නාවික යාත‍්‍රා 4 ක් ඕලන්දය බලා පිටත්කොට යවා ඇති අතර අනෙකුත් යාත‍්‍රා 4 ජකාර්තා වෙත ගොස් මොලොක්කා දූපත් හරහා ඇම්බොයිනා සහ මර්නාට් යන ප‍්‍රදේශවලින් වෙළෙඳ ද්‍රව්‍ය එක්රැුස් කරගැනීම සිදුකරන ලදී. ඉන් පසුව එම ප‍්‍රදේශවල සුළු වශයෙන් සොල්දාදුවන් නතර කිරීම තුළින් ස්වදේශීය ජනායාට වෙළෙඳාම පිණිස නැවත ලන්දේසීන් පැමිණෙන බවට ඉ`ගියක් ලබාදීම ද සිදුකොට ඇත. මෙම රැුගෙන යන ලද ආසියාතික භාණ්ඩ යුරෝපයේ අලෙවි කරමින් අධික ලාභයක් ඉපයීමට හැකිවීම හේතුවෙන් ලන්දේසීන් ඉන්දියානු සාගර කලාපයේ අග්නිදිග ආසියානු කලාපය කෙරෙහි ප‍්‍රථමයෙන් දැඩි අවධානයක් යොමුකළ ආකාරයක් හඳුනාගත හැකිය.

එහෙත් මුල් කාලයේ දී ලන්දේසි වෙළෙඳ කණ්ඩායම් අතර වූ ගැටුම්කාරී ස්වභාවය හේතුවෙන් ආසියාතික වෙළෙඳාමෙන් පාඩු ලබන තත්ත්වයක් උදා වී ඇත. එමනිසා ඕලන්දයේ එවකට පාලකයා වූ ඔරේන්ජ්හී විලියම් කුමරු ඕලන්දයේ වැදගත් සිවිල් නිලධාරියෙකු වූ ඕල්ඩන් බ‍්‍රැන්වැල්ට් යටතේ වෙළෙඳ සමාගම් ඒකාබද්ධ සංවිධානයකට ගෙන ඒමට ක‍්‍රියාකරනු ලැබීය. ඒ අනුව ක‍්‍රි. ව. 1600 වනවිට එලිසබත් රැජිණ ‘‘ ඉන්දියා කොදෙව්වල වෙළඳාම් කරන ලන්ඩන් වෙළඳුන්ගේ සමාගම හා එහි අධිකාරිය ’’ යන නමින් යුත් ඉංග‍්‍රීසි වෙළඳ මණ්ඩලයට සුබ පැත්මේ තුඩුවේ සිට මැගලන් සමුද්‍ර සන්ධිය දක්වා වෙළෙදාම් කිරීමේ ඒකාධිකාරය පවරා දුන්නේය. සාමාන්‍යයෙන් මෙම වෙළෙඳ සමාගම ‘‘ ඉංගී‍්‍රසී පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම ’’ (English East India Company) යනුවෙන් හඳුන්වනු ලබයි. මෙලෙස 1600 දී ඉංග‍්‍රීසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම පිහිටුවීම තම බලයට අභියෝගයක් වශයෙන් හඳුනාගත් ලන්දේසීන් ක‍්‍රි. ව. 1602 මාර්තු 02 දින ඕලන්ද/ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම (Dutch East India Company) පිහිටුවනු ලැබූ අතර මෙම සමාගම V. O. C. (Vereenigde Oost-Indische Compagnie) යනුවෙන් ප‍්‍රසිද්ධියට පත්ව ඇත. ඒ අනුව මෙම සමාගමේ මුල්කාලීන අරමුණු පිළිබඳව The Cambridge Economic History of India යනුවෙන් දැක්වෙන ග‍්‍රන්ථයේ සවිස්තරාත්මකව දැක්වෙන අතර එහිදී ලන්දේසි පෙරදිග ඉන්දීය සමාගම මුල් කාලයේ පටන්ම කුළුබඩු සහ විශේෂයෙන්ම ගම්මිරිස්වල වෙළෙඳ ඒකාධිකාරිය ලබාගැනීමට අරමුණු කළ බව හඳුනාගත හැකිය. ඒ අනුව මෙම ලන්දේසි වෙළෙඳ සමාගමට සුබ ප‍්‍රාර්ථනා තුඩුවේ සිට මැගලන් සමුද්‍ර සන්ධිය දක්වා පෙදෙස්හී වෙළෙඳ ඒකාධිකාරිය වර්ෂ 121 ක කාලයකට පිරිනැමුණි. ඒ අනුව ඉන්දියානු සාගරයේ වෙළෙඳ කටයුතු සඳහා පෘතුගිසීන් අභිබවා ලන්දේසීන් ඉදිරියට පැමිණෙන ආකාරයක් හඳුනාගත හැකිවිය.

ඒ අනුව බද්ධ වස්තු ව්‍යාපාර (Joint Stock) ප‍්‍රතිපත්තිය ඇති කරගනිමින් එකතු වී සිටි වෙළෙඳ සමාගම්වල කොටස් ඇස්තමේන්තු ඒවායේ වටිනාකම් අනුව ඒ ඒ නැව් සමාගම්වලට කොටස් වෙන් කිරීම සිදු කොට ඇත. එසේම ඇතැම් පුද්ගලයන් ද මෙම නව ව්‍යාපාරයේ කොටස් මිලදී ගැනීම සිදුකරන ලදී. ඒ අනුව ලන්දේසි වෙළෙඳ සමාගම ආරම්භයේ පටන් ස්ථිර මූල්‍ය පදනමකින් ක‍්‍රියාත්මක වී ඇති බවට හඳුනාගත හැකිය. එබැවින් ආරම්භයේ පටන් ලන්දේසි සමාගමේ සැලකිය යුතු මූල්‍ය ධනයක් පැවති හෙයින් ඔවුන් අලූතෙන් පිහිටුවා ගන්නා යටත්විජිතවල වැදගත් යැයි සැලකූ ස්ථානවල බලකොටු ඉදි කිරීම, යුද නැව් සහ හමුදාවන් සංවිධානය කිරීම වැනි කාර්යන් සඳහා මුදල් යෙදවීමට හැකි විය. ඒ අනුව පෙනී යනුයේ ලන්දේසි වෙළෙඳ සමාගම ක්ෂණික ලාභ ලැබීමට වඩා ආයෝජන සිදුකරමින් දීර්ඝ කාලීන ලාභයක් අපේක්ෂා කළ ආකාරයක්ය. ඒ අනුව ඕලන්ද වෙළෙඳ සමාගම ආරම්භයේ සිටම නිසි සැලසුමක අනුව සිය වෙළෙඳ ප‍්‍රතිපත්ති ඉන්දියානු සාගර කලාපය තුළදී සිදු කොට ඇති ආකාරය දැකිය හැකිය. එසේම

පෘතුගීසීන් සෑම විටම ආසියානු කලාපයේ සිය ප‍්‍රාදේශීය බලය ව්‍යාප්ත කරමින් වාණිජ අරමුණු ක‍්‍රියාවේ යෙදවීමට උත්සාහ කළ ද ලන්දේසීන් සෑම විටම බලය ව්‍යාප්ත කිරීමට පෙළඹී ඇත්තේ වාණිජ වශයෙන් වැදගත් ප‍්‍රදේශවල පමණක් බවට කරුණු අනාවරණය කරගත හැකිය. ඒ බව ඔවුන් අග්නිදිග ආසියාව, ඉන්දියාව සහ ලංකාව ආශ‍්‍රිතව සිදු කරන ලද වෙළෙඳ කටයුතුවල ස්වභාවය අධ්‍යයනය කිරීම තුළින් හඳුනාගත හැකිය. එපමණක් නොව ඔවුන් පෘතුගීසීන් මෙන් අනවශ්‍ය යුද කටයුතුවලට සම්බන්ධ නොවී අවම යුද වියදමක් දරමින් හැකිතාක් දුරට දේශීය පාලකයන් සමග මිත‍්‍රත්වයෙන්, ගිවිසුම් මාර්ගයෙන් සිය වාණිජ අරමුණු ඉටුකර ගනිමින් අවම වියදමකින් ඉතා වැඩි ලාභයක් ලැබීමට සිය ප‍්‍රතිපත්ති සම්පාදනය කළ අයුරු ද හඳුනාගත හැකිය. එබැවින් ක‍්‍රමයෙන් ඉන්දියන් සාගර කලාපයේ වෙළෙඳ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමුකරමින් පෘතුගීසි බලය අභිබවා ලන්දේසීන් ඉදිරියට ඒමට කටයුතු කරන ආකාරයක් හඳුනාගත හැකිය.

ප‍්‍රභාත් වික‍්‍රමරත්න
ඉතිහාසය අධ්‍යයන අංශය,
ශාස්ත‍්‍ර පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment