ධනිය නොගැයූ ගීය

445

මානව ගුණ පිරි ධර්මසිරි ගමගේ වියතුන් විසින් ආරම්භ කරනු ලැබූ ‘යොවුන් පහන් වැටේ’ දැල්වුණු දීප්තිමත් පහනකි. යමුනා මාලිනී, සෝ දුක් ගිනි – සිත තුළ දැවෙනා විට, ඉන් ලොව ගණදුර නිව්ව හැටී අපේ මඟද ඒ එළියෙන් එළිකර – අපට මඟ කියා දුන්නු හැටි ඔබගෙනි .. හ`දුනාගත්තේ අප හැම – කිසිදින දැක නැති සරස්වතී… ඒ ඇය තමන්ට නිර්මාණාත්මක ලේඛනයට අත හිත දුන් ගමගේ වියතුන් දුටු හැටියි.

යමුනා මාලිනී පෙරේරාගේ අංකුර කවි සපුව දැනගෙන දිගුකළ අත්වැල ඔස්සේ ඇය ආවේ දීර්ඝ ගමනකි. අධිෂ්ඨානය නම් කාව්‍ය සංග‍්‍රහයෙන් ග‍්‍රන්ථකරණයට අවතිර්ණ වූ යමුනා, මේ වනවිට නවකතා 18ක් ද ගීත සංග‍්‍රහ 7 ක් ද යොවුන් සාහිත්‍ය කෘති 4 ක් ද ලියා පළකර ඇත. ඒ අතර ළමා සාහිත්‍ය කෘති 4 ක් ද වෙයි. කාව්‍ය සහ කෙටි කතා 20 ක් ද ඒ අතරේ ඇත.

ඒ අතරින් මගේ පසුවදනක් ද සහිතව ප‍්‍රකාශයට පත් කළ ණයට ගත් සාජ්ජය, 1990 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානයේදී විශිෂ්ට කෘතියක් ලෙස නිර්දේශ විය. කුලී මාලිගා කෘතිය 1991 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානයේදී වර්ෂයේ විශිෂ්ට කෘතියක් බවට නිර්දේශ වූ අතර 1993 ඇගේ ‘තිත්ත මකරන්ද ’ කාව්‍ය සංග‍්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවිය.

2015 දී ‘ඊළඟ වස්සානේ’ ගීත සංග‍්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මානවලට නිර්දේශ වූ අතර ‘සඳපහන’ ගීත සංග‍්‍රහය 2019 විද්‍යෝදය සම්මාන උළෙලේදී හොඳම කෘති අතරට එක්විය. ‘ඉති සිතින්ම’ යොවුන් සාහිත්‍ය කෘතිය ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන අතර නිර්දේශිත කෘතියක් වූ අතර එම වසරේම ගොඩගේ ජාතික සම්මාන උළෙලේ ද නිර්දේශිත ග‍්‍රන්ථයක් විය. ඇගේ ‘ගං දෑලේ’ ලිපි එකතුව විද්‍යෝදය සම්මාන සඳහා නිර්දේශ විය. මේ නිර්දේශ බොහෝදුරට බුහුමනක් සේ සැලකිය හැකිය.

බොහෝ කවියෝ ද කිවිඳියෝ ද කාව්‍ය රචනා අතරතුර ගීත රචනයට පිවිසීමෙන් ඉක්බිති, කවිය අතහැර ගීතයට ම නැඹුරුවීමේ ප‍්‍රවණතාවක් දක්නට ඇතත්, යමුනා මාලිනී පෙරේරා ඒ මතය බිඳ දමමින් නිබඳ කාව්‍ය රචනයේ නියැළීම භාග්‍යකැයි සිතමි. කවි පන්ති 73කින් සමන්විත අලූත්ම කෘතිය ‘ධනිය නොගැයූ ගීය’ ආරම්භයේම ඒ මොහොතේ පිදුම පිරිනැමෙන්නේ සිය සත්පුරුෂයාට. අපගෙන් සමුගත් ප‍්‍රවීණ නළු සේනක පෙරේරාට ය.

ඒ කව දැඩි ලෙස මගේ සිත් පැහැරගත්තේය.

දශකයක් සහ සතක් – සේය අද ඊයේම
ගෙවුණු හැටි සිතනු බැරි වේගයෙන් ඊයේ-ම
නුඹට නොලියා කවක් මා හිඳින්නේ කෝම
පිළිතුරක් නැති කවක් වුණිය නුඹ මම මේම !
වෙනස්වන ලෝකයක වෙනස්කම් අතර මා
නොවෙනස්ව සිටින වග සිතා නුඹ සතුටින්ද?
සන්නිවේදන ක‍්‍රම ද මේ තරම් දියුණු ලොව
ඉන්න තැනකින් නිකම් – දුරකථන ඇමතුමක්
කෙටි පණිවිඩයක්වත්
නොඑවන්න තරහින්ද?

නින්ද යන්නට හදන – අවසාන තත්ත්පරෙත්
හැමදාම මට එහෙම හැෙඟනවා -පල් මෝඩකම් පිරුණු
උමතු හැඟුමක්ය එය – මටම දොස් නඟන්නට හිතෙනවා
තනිව විඳිනා මෙ දුක පොදු දුකක් කර ලියන
කවි ක‍්‍රමය තවම මම සොයනවා
කවි ලියන්නට හැකැයි හිතන මේ කවිකාරි
වචන අගහිඟකමෙන් පෙළෙනවා

මේ වූ කලී අපරිමිත භක්තියක් හෝ දැඩි බැඳීමක් ඇතිවූ කල්හී බොහෝ සාම්ප‍්‍රදායික කවීන් කී ‘මම කෙසේ පවසම්’ යන අරුතමය. එය අප වඩාත් චමත්කාරයට පත් කරන්නේ ‘නව සන්නිවේදන තාක්‍ෂණය’ ඒ හා බද්ධ කිරීම නිසා වෙනි. එය අපූරු නව කවි කල්පනාවකි.

රිසානාගේ අවසාන කවිය වැලිකතරේ මෙහෙකාර සේවයට ගොස් කුරිරුකම්වලට ගොදුරු වූ දැරියගේ අවසන් සිතුවිල්ල ලෙස ලියා ඇති ඇගේ ශෝකාන්තය වූ කලී නැති බැරි සමස්ත දරු පරපුරේම කතාවයි. ඇය බැලමෙහෙවරට යන්නේ ‘කටේ කිරි සුවඳ’ යන්නටත් කලිනි. තමන් වැදූ දරුවාටවත් කරුණාවක් නැති ‘මවක’ ගෙන් ළයෙහි තෙතමනයක් පැතිය හැකිද?

තමන් දරුවාටත් සැබෑ ආදරේ නැති
ළඟින් හිඳ කිරි නොපෙව් ස්වාමිදුව ඒ කුරිරු
තදින් රජ අණ පවා දුරැරි ඇගෙ කුරිරුකම්
ඉතින් මා බිලිගන්නට ආ කරුණ පුදුම නැත

භෞතික සම්පත් පතා රටහැර යන ලක්වැසියන් අනුකම්පාවට ලක්විය යුතු පිරිසක් බව හැෙඟන්නේ අන් කිසිවෙක් නොවේ ලක් මවුන්ය.

ආදරයෙන් මගේ ළඟම – ඉන්න වරම් නැතිව
දිවි සටනෙන් ගොඩ එන්නට – සැප පරදුවෙ තැබුව
ගෙදර අඹුදරුන් මා පිය – හැර දුරු රට ඇදුන
මගෙ දුප්පත් දරුවන් ගැන – කිසි අහිතක් නැතිය

ඔවුනට පමණක් නොවේ. ලක් මව කොතරම් දයාබරිත මාතාවක්ද?

ගරහා පළිගසා මගේ – මූණට කෙළගැසුවා…
මළත් ආයෙ ලංකාවට – එන්නෙ නැතැයි කිව්වා
ඒ වාගේ ගරහාලා – ගියපු අයත් හිටියා

එසේ සිය ලක් මව පලිච්චි කළවුන්ට
අවසන සිදුවූයේ කුමක්ද?
පණ බේරා ගන්න ආයෙ
මෙහේ එන්න හිතුවා

ඒ සියල්ලන්ට ම මේ දයාබරිත මවගේ සෙනෙහස එක වගේය. එබැවිනි, ඇය මෙසේ කියන්නේ

උඹලා ඔක්කොම මගෙ දරු – එහි වෙනසක් නැතිය
බෙදා හදාගෙන දුක සැප – මගෙ ළඟ ඉනු හැකිය
වැදූ මවට ආලෙ පාන – උත්තම මනු ගතිය
කොරෝනාව ඇවිදිල්ලා – පුරුදු කෙරූ හැටිය!

උක්ත කවිය අගනා අර්ථයක්ද අපූරු ආස්වාදයක්ද එක සේ ගෙනදෙන අපූරු කවියක් සේය, මට පෙනෙන්නේ විප‍්‍රවාසයට (ඩයප්පෝරාවට) එකතුවන එහි සම්පත් අනුභව කරනවිට මවුබිමට ‘පලිිච්චි’ කරන පුද්ගලයන් අපට කොතෙකුත් මුණගැසී ඇත. උවදුර පැමිණි කල්හි ඔවුන්ට තම මවුබිම මිස අන් සරණක් නැතිවිය.

එසේ තමන්ට පලිච්චි කළවුන් පවා මවු සෙනෙහසින් පිළිගැනීමටයි. ලක් මවගේ සූදානම.

ධනිය නොගැයූ ගීය

යමුනාගේ පොතට නම දෙන ප‍්‍රමුඛ ප‍්‍රබන්ධය ලෙස දැක්වෙන්නේ ‘ධනිය නොගැයූ ගීය’ යි. එහිදී නිතැනින්ම සිහියට එන්නේ ධම්ම පදයේ එන

‘‘යථා අගාරං දුච්ඡත්තං – වුට්ඨි සවති විජ්ඣති’’ යන ගාථා පාඨයයි.

හොඳින් සෙවිලි නොකළ ගෙය වැස්සෙන් තෙමෙන්නාක් මෙන් භාවනාව පුරුදු නොකළ සිත රාගයෙන් පීඩාවට පත්වන බවය, ඉන් පළවන්නේ,

යමුනා මාලිනී ධනිය ගෝපාල පුවතට නව මානයක් දෙයි. ලෞකිකත්වය ගැන සලකා ධනිය ගයන, උදානයත් බුදුරජාණන් වහන්සේගේ ලොවුතුරු ආස්වාදයෙන් ගයන උදානයත් ඇය සැසදීමකට ලක් කරයි.

දොවාගත්තු කිරිද ඇතිව
පිසගත් රස බතද ඇතිව
මහී ගංතෙර අසල – විසල් මැඳුරක සොඳුරු
වැසූ කුටියකට වී
පියඹ සමගින් හිඳ – ගැයුවේය
ධනිය ගෝපාල නුඹ – උදම් ගී
‘ඉතින් වැහැපන් වැස්ස රිසි සේ – රිසි සේ’

එහෙත් බුදුරජාණන් වහන්සේගේ උදානය ඊට හාත්පසින්ම වෙනස් වෙයි.

මහී ගංතෙර ඉක්මවා එක රැයකි මා නම්
හද කුටිය ඇර ඇත – එහි කෙලෙස් ගිනි නැත
ඉඳින් වැහැපන් වැස්ස – රිසි සේ
යළිඳු ධනියෙන් උදානයෙන්
නොම මේ කිසිත් රොස – මැසි මදුරුවන්ගෙන්
ගවයන් සතුටින්ය – වැව්ණු තණබිම් පුරා
ඉඳින් වැහැපන් වැස්ස – රිසිසේ

දම් පවුර බැඳ ගතිමි – මා යුහුව නොපැකිලිව
සසර ඕඝය සරා පරතෙරට පැමිණියෙමි
අලූත් පහුරක් ඉඳින් මෙමට නම් අනුවැසිය
ඉඳින් වැහැපන් වැස්ස රිසිසේ

බුදුරජාණන් වහන්සේගේ උදානයයි. යමුනා කිවිඳිය ධනියගේ උදානය කෙළවර කරන්නේ ඔහුට අත්වන ඛේදනීය ඉරණමකිනි.

අවසනේ එක් දිනෙක
ඇද වැටී මහවැස්ස
ධනිය නුඹ සියල් සේසතම

ගව පට්ටි – කිරි දෙනුන් – මහ කුඹුරු සියල්ලම
විනාශ ව ගිය වෙලේ – සොවින් තැවෙනා නුඹට
බුදුන් දෙසූ දම් අසා පසක් වී ජීවිතය – නුඹ පැවිදි වූ වෙහිය

ඇය සිය ප‍්‍රබන්ධය කූඨප‍්‍රාප්තියට පත් කරන්නේ ධනිය නොගැයූ උදානයත් නිර්මාණය කරමිනි. මෙතෙක් ගැයූ සියලූ උදානයන්ට වඩා අර්ථවත්වූද සුමිහිරි වූද නොගැයූ උදානයයි ඇය දක්වන්නේ.

අඹුදරුන් හා පෙමින් කෙනෙකු පසුවන වෙලේ..
ගව රැළක් හඹා යන ගොපල්ලකු දුටු වෙලේ….
කරල් බරවී නිලට ගොයම් නැළවෙන වෙලේ..

කසා වත දරාගෙන නියර මත වැඩ සිටින
නුඹේ රුව මතුවෙලා
විසල් වන වාතලය සිසාරා මට ඇහේ!

කුලී වැඩ කරන – කුණු කඳවල් අදිනා
අපාදුක් විඳින අය ඇත හැම දෙසිනා
නොකා වේල තම අඹු දරුවන් රකිනා
ඉතා අසරණව ඇති පියවරු සිටිනා

උයන පිහන නාවන දරුවන් ගෙදර
කවන පොවන පාසල් අරගෙන දුවන
මහන කුලී වැඩකර පිච්චිය සොයන
නොකන නොබොන මවුවරු ඇත දුක් විඳින

වැලිකතරේ හැමෝම සමෝසමේ විඳින විඳවන වේදනාව මින් මැනවින් පළ වෙයි. දෙවිඳුන් තම අන්දොළොසින් වැඩක් නොගන්නාකම ගැන කිවිඳිය සරදම් ස්වරයෙන් පවසයි.

දෑත් මදිය ඔවුනට වැඩ කරගන්නට
ඔබෙ අත් දුන්නොතින් බෝමැයි ඒ පිහිට
සැක නැත ජාතිජාතීන් පිං අත්වෙන්නට
ඒ පින ඇතිය දෙවිඳුට මතු බුදුවෙන්නට

මෙහි එන පිළිම නෙළන්නාගේ කවිය පළදෙන වසන්තය නැති නෑයෝ මතක සමරුව පුතණ්ඩියා, නිතරගය ඇතුළු රචනා ගණනාවක් මගේ සිත් ගත්තේය. යමුනා මාලිනී පෙරේරාගේ කවි සපුව ඔපවත් වන්නට ඇගේ භාෂාවේ ලාවණ්‍යය බෙහෙවින් පිටිබලයක්වී ඇති බව පෙනේ. නිරහාර ගීත රචනා ලිවීමෙන් ඇතැම් පුද්ගලයකුගේ කවිය පිරිහී ගියද යමුනා මාලිනී තමත් අභිමත ක්ෂේත‍්‍ර දෙකම සමබරව ගොඩනඟා ගැනීමට සමත්ව ඇති බවට ‘ධනිය
නොගැයූ ගීය’ අගනා සාධකයකැයි සිතමි.

තිලකරත්න කුරුවිට බණ්ඩාර

ධනිය නොගැයූ ගීය

advertistmentadvertistment
advertistmentadvertistment