ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය හොඳ පාඩමක් කරගෙන ඉදිරියේදී මෙවැනි සිදුවීම්වලින් වැළකී සිටීමට ක්‍රීඩකයන් වගබලා ගත යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පැවසීය. මොවුන් පාසල් ක්‍රීඩකයන් නොවන බවත් වෘත්තීය ක්‍රීඩකයන් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඔහු කීය.
ඔස්ටේ්‍රලියානු සංචාරය අවසන් කරමින් ඊයේ (07 දා) කටුනායක ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ජයවර්ධන මහතා මෙසේද පැවසීය.
මේ සිද්ධිය ඉතාම කනගාටුදායක කාරණයක්. අපි අන්තිම තරගය ඉවර කරලා ලංකාවට එන්න ඉන්න රාත්‍රියේ තමයි මෙය දැන ගත්තේ. මම මේ සම්බන්ධයෙන් වැඩියමක් දැන ගත්තෙත් මාධ්‍යයෙන් වාර්තා වූ තොරතුරු අනුවයි.
ක්‍රීඩකයන්ගේ හැසිරීම් රටා ගැන ඔවුන් වගකියන්න ඕනෑ. මේ ගැන පරීක්‍ෂණයක් සිදුවන නිසා අපිට මේ ගැන හරියට කියන්න අපහසුයි. ඔහුටත් ඒ අවස්ථාව දිය යුතුයි. කණ්ඩායමක් විදිහට අපි බලන්නේ ඒ රටවල නීති රීතිවලට අනුව ක්‍රීඩාකර රටට පැමිණීමයි. නමුත් ක්‍රීඩකයන්ගේ අතින් මේ වගේ දේවල් වෙන එක කනගාටුදායකයි. අපි බලමු නීතියට ඉඩදීලා මොකද වෙන්නෙ කියලා.
මේක පළමු සිද්ධිය නොවෙයි. වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් මෙවැනි සිද්ධි මීට පෙරත් වාර්තා වෙලා තිබෙනවා. මේ වගේ දේවල් ඉදිරියේදී නොවෙන්න වගබලා ගන්න ඕනෑ කියලයි කියන්නේ. මේ අය පාසල් ක්‍රීඩකයෝ නොවෙයි. වෘත්තීය ක්‍රීඩකයන් එක්කයි මේ යන්නේ. ඔවුන් ගන්නා තීරණවල වගකීම තියෙන්නේ ඔවුන් අතයි. අපේ ක්‍රීඩකයන්ට හැසිරිය යුතු රාමුවක් තියෙනවා. ඒ රාමුව තුළයි අපි කටයුතු කරන්න ඕනෑ. අවාසනාවකට මේ සිද්ධිය ලංකාවට පැමිණීමට දින දෙක තුනකට පෙරයි සිදුවී තිබෙන්නේ.
මේ සිද්ධිය ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රශ්නයක් නැහැ. ඕනෑම ක්‍රීඩකයෙකුට මේක හොඳ පාඩමක්. මෙවැනි පාඩම්වලින් ඉගෙන ගෙන ඉදිරියේදීවත් මේ වගේ දේවල් නොවෙන්න වගබලා ගත යුතු බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා