ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කළ ‘සතරාව දීපනී’ උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (16 දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ දායකත්වයෙන් නිර්මාණය කළ කලා කෘති උදෙසා දායක වූ කලාකරුවන් පිරිසකට උපහාර දැක්වීම මෙහිදී සිදු කෙරිණි.

ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල, සිරිල් වික්‍රමගේ යන ප්‍රවීණ කලා ශිල්පීන් එහිදී ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය. මහාචාර්ය ආරියරත්න ඇතුගල, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල යන ප්‍රවීණ කලා ශිල්පීන් ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සිනමා දිවිය ඇසුරෙන් මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර, රන්ජිත් කුමාර, අරුණ ගුණරත්න, දිනුෂ කුඩාගොඩගේ යන ප්‍රවීණ මාධ්‍යවේදීන් විසින් සංස්කරණය කරන ලද ‘සුබන්ධු සිනමා වත’ කෘතිය එළිදැක්වීමද මීට සමගාමීව සිදු කෙරිණි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව පාසල් සිසු දරු දැරියන් උදෙසා වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ‘ප්‍රඥා බන්දු’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරණ දූ දරුවන් 251 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම සංකේතවත් කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීම අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන්ගේ සුරතින් සිදු කෙරිණි.