ශ‍්‍රී ලංකා ශ්වේජින් නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී
පොකුණුවිට ශ‍්‍රී විනයාලංකාරාරාමවාසී
ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්ථවිර
මෙම ලිපිය 2021. 07. 19 දිනට යෙදෙන මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනායක මාහිමිපාණන් වහන්සේ්ගේ 125 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.
අතිපූජනීය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනායක මාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර 24 ක් සම්පූර්ණ වන අතර 2021 ජූලි මස 19 වැනි දිනට උන්වහන්සේගේ 125 වැනි ජන්ම දිනය යෙදී ඇත. 1897 ජූලි මස 19 වැනි දින ජන්ම ලාභය ලැබූ මහනායක මාහිමිපාණන් වහන්සේ වසර සියයක් ආයු වළඳා 1997 ජූලි මස 04 වැනි දින රාත‍්‍රී 8.54 ට සිහි නුවණින් යුතුව අපවත් වී වදාළහ. වසර දාහතක් දිවා රාත‍්‍රී උන්වහන්සේට උපස්ථාන කළ පූජනීය කිරිඔරුවේ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේට අනුව නම් උන්වහන්සේ භව ගමන නිම කළහ. මහනායක මාහිමිපාණන් වහන්සේ යම් කිසි මාර්ග ඵලයකට පැමිණ සිටි බව ගිහි පැවිදි බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. ”ධර්මානුධර්ම ප‍්‍රතිපත්තිය උදෙසා කැප වන භික්ෂුන් සිටින තෙක් ලෝකය රහතුන්ගෙන් හිස් නොවේ.. යන බුදු වදන මැනවින් තහවුරු කළ ඒ මහා යතිවරයාණන් වහන්සේ වසර කිහිපයක් හෝ ඇසුරු කරන්නට ලැබීම අප ලද මහත් භාග්‍යයක් කොට සලකමු.
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනායක මාහිමිපාණන් වහන්සේ සුවිශේෂ වන්නේ මෑත යුගයේ පර්යාප්ති, ප‍්‍රතිපත්ති, ප‍්‍රතිවේද යන ත‍්‍රිවිධ ශාසනයේම පැවැත්මට උන්වහන්සේ ලබාදුන් දායකත්වය නිසාවෙනි. පර්යාප්ති සංඛ්‍යාත ත‍්‍රිපිටක ධර්මය මැනවින් හදාරා ගිහි පැවිදි දෙපක්ෂයේම සුඛාවබෝධය පිණිස නිරවුල්ව ලිහිල් බසින් ලියා තැබීමෙන් ද, ධර්මානුධර්ම ප‍්‍රතිපත්තියෙහි යෙදෙමින් අන්‍යයන් එම මගට යොමු කිරීමෙන් ද, සම්බුදු සසුනේ චිරස්ථිතිය සඳහා උන්වහන්සේගෙන් සිදු වූ මෙහෙවර ප‍්‍රමාණ කළ නොහැකිය.
වයස අවුරුදු නවයේදී එනම් 1906 ජනවාරි මස 8 වැනි දින බුරුම ජාතික යූ. විනයාලංකාර නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස පොකුණුවිට ශ‍්‍රී විනයාලංකාරාරාමයේ දී ප‍්‍රවෘජ්‍යා භූමියට පැමිණි රේරුකානේ චන්දවිමල මහනායක මාහිමිපාණන් වහන්සේ බුරුම රටේ දී, පැවිද්දකු වශයෙන් ලැබිය යුතු මූලික අධ්‍යාපනය ලබාගත් අතර ධර්ම විනය පිළිබඳව ද මනා දැනීමක් ඇති කර ගත්හ. උපසම්පදාවෙන් පසු වයස අවුරුදු 21 දී පමණ නැවත ලංකාවට වැඩම කළ උන්වහන්සේ තමන් සතුව පැවැති සහජ ඥානය හා ධාරණ ශක්තිය උපයෝගී කොට ගනිමින් සම්පූර්ණ ත‍්‍රිපිටකයම කියවා මනා වැටහීමක් ඇති කර ගැනීමට සමත් වෙති. උන්වහන්සේට පර්යාප්ති ධර්මය පිළිබඳව මනා නිපුණත්වයක් ලැබීමට හේතු වූ කරුණු පසුකලෙකදී කිරිඔරුවේ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ සමඟ පවසා ඇති අතර පර්යාප්ති ධර්මය නිවැරදිව හැදෑරීමට නම් ඕනෑම කෙනකු විසින් සිතට ගත යුතු ඉතා වටිනා ආකල්ප හා හුරු පුරුදු ඒ අතර වේ.
”ධම්මානන්ද, මම ඉගෙනීම කළේ පොත් ලිවීමේ අදහසින් වත්, අනුන්ට බණ කීමේ අදහසින් වත්, උගතෙක් වශයෙන් ප‍්‍රසිද්ධ වීමේ අදහසින් වත් නෙවෙයි. අපේ සම්මෝහය දුරු කර ගැනීමටයි…
”ධම්මානන්ද, මට මේ ධර්මය පිළිබඳ හොඳ දැනුමක් ඇති කර ගන්න පුළුවන් වුණේ, යම් ධර්ම කාරණයක් හොඳින් වැටහෙන තුරු කොච්චර කාලයක් ගත වුණත් කල්පනා කිරීම අපේ සිරිත නිසයි. සමහර ධර්ම කාරණා වැටහෙන්න බොහෝ කල් ගත වී තිබෙනවා…
මෙසේ සුතමය ඤාණයෙන් හා චින්තාමය ඤාණයෙන් දියුණු කරගත් ධර්මඥානය, භාවනාමය ඤාණයෙන් තහවුරු කර ගැනීමේ උත්සාහය ද කුඩා කල පටන්ම අතනොහැර පවත්වා ගත්බව උන්වහන්සේ පවසති.
”සාමණේර කාලයේ පටන් අපි යම් කිසි භාවනාවකත් යෙදුණා. ඒක පිරිහෙන්න දුන්නේ නෑ…
”ධම්මානන්ද, කුඩා කල පටන් අපේ තිබුණ අදහස තමයි, විවේක තැනකට වී භාවනා කරමින් මේ සසර ගමන කෙළවර කර ගැනීමට කටයුතු කිරීම. ඒකට අත්‍යවශ්‍ය කරුණු කුඩා පොතක සටහන් කර ගත්තා. ඉතින් මම එහෙම විවේක තැනකට ගියා, ටික දවසකින් අසනීප වුණා. ආපසු පන්සලට ආවා. නැවත සැරයක් එහෙම ගියා. ඒ පාරත් අසනීප වුණා. නැවතත් පන්සලට ඇවිත් මේ ඉන්න තැනම ඉඳගෙන මේක කරන්න ඕන කියලා හිතා ගත්තා…
මෙසේ ත‍්‍රිපිටක ධර්මය මැනවින් හදාරා පර්යාප්තිය පිළිබඳව ඇතිකරගත් නිරවුල් දැනුම ධර්මානුධර්ම ප‍්‍රතිපදාවෙහි යෙදෙමින් තමන් වහන්සේ ප‍්‍රගුණ කළා පමණක් නොව අන් අයට වටහා ගතහැකි අයුරින් සරල බසින් ලියා තැබීමට ද උන්වහන්සේ උත්සුක වූහ. ඒ අනුව 2500 සම්බුද්ධ ජයන්තිය නිමිතිකොට ගෙන උන්වහන්සේ විසින් ධර්ම ග‍්‍රන්ථ සම්පාදනය ආරම්භ කරන ලදී. ධර්ම ග‍්‍රන්ථ විසිහතක් උන්වහන්සේ විසින් රචනා කරන ලද අතර මුළු මහත් බෞද්ධ ලෝකයාම රේරුකානේ මහනායක මාහිමිපාණන් වහන්සේ කවුරුන්දැයි බොහෝවිට හඳුනා ගන්නේ එම ධර්මග‍්‍රන්ථ නිසාවෙනි. ගිහි පැවිදි දෙපක්ෂයටම ප‍්‍රයෝජනවත් මාතෘකා ඔස්සේ මුළු ත‍්‍රිපිටකයම අළලා රචනා කරනලද එම ධර්ම ග‍්‍රන්ථ ගිහි පැවිදි දෙපක්ෂයේම ජීවිත ප‍්‍රතිපත්ති මාර්ගයට නැඹුරු කිරීමෙහිලා කොතරම් මහෝපකාරී වීද යන්න කිරිඔරුවේ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ ”මෙකල නිවුණු ඇත්තෝ.. ග‍්‍රන්ථයෙහි මෙසේ සඳහන් කරති.”තුනුරුවන් කෙරෙහි පැහැදීම හෙවත් ශ‍්‍රද්ධාව නැති අයගේ ශ‍්‍රද්ධාව ඇති කරවන ආකාරයටත්, මද ශ‍්‍රද්ධාව ඇති අයගේ එම ශ‍්‍රද්ධාව දියුණු තියුණු වන ලෙසටත්, නමට බෞද්ධයන් සැබෑ බෞද්ධයන් කරවීමට සමත් වන ආකාරයටත්, මසුරු අය ත්‍යාගවන්තයන් බවට පත් වන ලෙසටත්, පිනක් කරන විට ඒ පින නුවණින් දැන කිරීමට හැකි වන ලෙසටත්, දහම නොදැනීමෙන් පව්කම්වල ඇලී ගැලී වාසය කරන්නවුන් පවා ඒවා අතහැර සුමඟට පැමිණවීමට සමත් ආකාරයටත්, අසත්පුරුෂ අය සත්පුරුෂ අය බවට පත් කිරීමට සමත් වන ලෙසටත්, තථාගත ධර්මය තේරුම්ගෙන සංසාර භය උපදවා ගෙන මවුපියන් නෑ මිතුරන් රැකීරක්ෂා යාන වාහන ඉඩකඩම් ආදී තමා සතු ලොකු කුඩා කාම වස්තූන් කෙරෙහි ආශාව අතහැර ගිහිගෙය නමැති මහා කාම බන්ධනයෙන් මිදී පැවිදි වීමට සිත නැඹුරු කරවන ලෙසටත්, පැවිද්ද යනු කුමක්ද පැවිදි සැපය යනු කුමක්ද කියා හරි හැටි තේරුම් ගැනීමට නොහැකිව පැවිද්දෙහි කලකිරී ගිහි බවට පත්වීමේ අදහසින් සිටි පැවිද්දන්ට පැවිද්දෙහි නැවත සිත අලවා වාසය කිරීමට හැකියාවක් ලැබෙන ලෙසටත්, ග‍්‍රාමවාසී ආරණ්‍යවාසී නවක මධ්‍යම ස්ථවිර සෑම අවස්ථාවකම පසුවන භික්ෂූන් වහන්සේලාට සැකයෙන් තොරව හොඳින් මහණකම කරගැනීමට හැකි ආකාරයටත්, භික්ෂූන් වහන්සේලා විසින් කළ යුතු විනය කර්ම, කුකුස් ඇති නොවන පරිද්දෙන් ඉතා පිරිසිදු ලෙස කරගැනීමට හැකිවන ලෙසටත්, ධර්ම කථිකයන් වහන්සේලාට දේශනා කිරීමට අවශ්‍ය දහම් කරුණු නිවැරදිව පහසුවෙන් සොයාගෙන හොඳින් ධර්ම දේශනා කිරීමට පහසු වන ලෙසටත්, සසර දුකින් මිදීමේ අටියෙන් භාවනා කරන නුවණැති යෝගාවචරයන්ට නිර්වාණය ප‍්‍රත්‍යක්ෂ කරන තුරු හොඳින් භාවනා කරගෙන යෑමට හැකි වන ලෙසටත්, කමටහන් දෙන කම්මට්ඨානාචාර්යයන් වහන්සේලාට ඒවා නිවැරදිව කියා දීමට හැකිවන අයුරින් ද, දහම් පාසල් ගුරුවරුන්ට, සිසුන්ට ධර්මය හොඳින් කියා දීමට හැකි වන අයුරින් ද පමණක් නොව මේ පොත් කියවුවහොත් අන්‍යාගමිකයන් පවා දහම වැළඳ ගන්නා තත්ත්වයට සමත් වන ලෙසටත් පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාසමිඳුන් දහම් පොත් ලියා ඇත…
මහනායක මාහිමිපාණන් වහන්සේ ධර්මානුධර්ම ප‍්‍රතිපත්තිය ජීවිතයේම අංගයක් ලෙස ප‍්‍රගුණ කළ අතර, එනිසාම ජීවිතයේ පශ්චිම යාමය වන විට ප‍්‍රතිවේධ ශාසනයේ පහස ලැබීමටද උන්වහන්සේ සමත් වූ බව ගිහි පැවිදි බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගනිති.
වයස අවුරුදු 99 දී දෑස නොපෙනී ඇඳේ වැතිර සිටි මහනායක මාහිමිපාණන් වහන්සේ දිනක් අතිශය ප‍්‍රසන්න මුහුණින් යුතුව ”සුදස්සී මෙහෙ එන්නකෝ රහසක් කියන්න.. යයි මා කැඳවූහ. මම උන්වහන්සේ සමීපයට ගොස් ඇඟට අත තබා ”නායක හාමුදුරුවනේ.. යැයි ආමන්ත‍්‍රණය කළෙමි. මුහුණ පුරා උතුරා යන සොම්නසකින් සිටි උන්වහන්සේ ”මගේ කට හඬ ඇහෙන සීමාවේ තව කවුරුත් ඉන්නවා දැයි විමසූහ. ”නැහැ නායක හාමුදුරුවනේ, මම විතරයි ඉන්නේ.. යි මම පිළිතුරු දුනිමි. ඉන්පසු උන්වහන්සේගේ දෑතින් මගේ දෑත් අල්ලාගෙන සිනහමුසු මුහුණින් මෙසේ පැවසූහ. ..සුදස්සී මට විශ්වාසයක් තියෙනවා, අවසන් මොහොතේ හෝ මට සියල්ල නිම කරන්න පුළුවන් වෙයි කියලා…
මහනායක මාහිමිපාණන් වහන්සේගේ ප‍්‍රකාශයෙන් අතිශය සතුටට පත්ව ”එහෙමයි නායක හාමුදුරුවනේ.. යැයි එම ප‍්‍රකාශය අනුමත කළත්, නායක හාමුදුරුවෝ දැන් සිටින්නේ කවර තත්ත්වයක දැයි විමසන්නට සිතක් පහල නොවීම අපගෙන් සිදු වූ බරපතළ අතපසුවීමකැයි සිතේ. එසේ විමසුවේ නම් ප‍්‍රකාශ කිරීමට එහි කිසිදු බාධාවක් නොවීය. මා උපසම්පන්න භික්ෂුවක් වූ නිසාත්, උන්වහන්සේගේ ප‍්‍රකාශනය ඇසෙන මානයේ වෙනත් අනුපසම්පන්නයකු නොසිටි නිසාත්, උන්වහන්සේගේ සැබෑ තත්ත්වය හෙළි කිරීමට එහි සුදුසු පරිසරයක් ගොඩනැගී තිබුණි. උන්වහන්සේ කතාවට මුල පිරුවේ ද එම වටපිටාව ගැන විමසා බැලීමෙන් අනතුරුවය. අවසන් මොහොතේ හෝ සියල්ල නිම කිරීම හෙවත් සියලූ කෙළෙසුන් නැසීම පිළිබඳ සහේතුක විශ්වාසයක් ඇති වීමට, උන්වහන්සේ ඒ වින විට නොවැරදීම ඊට ආසන්න ඵලයක සිටින්නට ඇතැයි විශ්වාස කරමි.
කිරිඔරුවේ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ ද ”මෙකල නිවුණු ඇත්තෝ.. ග‍්‍රන්ථයෙහි මහනායක මාහිමිපාණන් වහන්සේ විසින් කළ එවැනිම ප‍්‍රකාශනයක් මෙසේ සටහන් කරති. ”අපගේ එකම බලාපොරොත්තුව, උත්සාහය මේ පංචස්කන්ධය මේ භවයේදීම කොහොමහරි කෙළවර කර ගැනීමයි.. එමෙන්ම මහනායක මාහිමිපාණන් වහන්සේ 89 වැනි වියෙහි පසුවන විට තමන් වහන්සේ පිළිබඳව කරන ලද විශේෂ ප‍්‍රකාශනයක් ද එම ග‍්‍රන්ථයෙහි දැක්වේ. ”ධම්මානන්ද, මේ කාලේ ලෝකේ ඉන්න විශේෂ පුද්ගලයෙක් තමයි මම, ලෝකයා දන්නෙ නැතුවට. එය ලෝකයාට දැන ගන්න විදියක් නෑනේ…
උපසම්පන්න භික්ෂුවක් තමන්ට මාර්ගඵල අධිගමයක් නැති බව දැන දැනම ඇති බව ප‍්‍රකාශ කරන්නේ නම් මහණකම අහෝසි වන තරමේ බරපතළ වරදකි. එනම් පාරාජිකාපත්තියකි. මාර්ගඵල අධිගමයක් ඇතත් අනුපසම්පන්න පැවිද්දෙකුට හෝ ගිහියෙකුට ඒ බව ප‍්‍රකාශ කිරීම පචිති ඇවතක් සිදු වන වරදකි. තමන් ලැබූ මාර්ගඵල අධිගමයන් පිළිබඳව බොහෝ දෙනා දැන ගනිත්වා යන අපේක්ෂාවක් නැති බව අධිගම අල්පේච්ඡතාවයි.
රේරුකානේ මහනායක මාහිමිපාණන් වහන්සේගේ ජීවිතයේ අල්පේච්ඡතාව විශේෂයෙන් මතු වී පෙනුණු ගුණයක් විය. ඉතා සරල චාම් ජීවිතයක් ගත කළ උන්වහන්සේ ලද දෙයින් සතුටු වුණු කෙනෙකි. ”ධම්මානන්ද මම පැවිදි කල ගුරුවරයාගෙන්වත් කිසිම දෙයක් ඉල්ලලා නැහැ. බෙහෙතකට හෝ කාගෙන් හරි ඉල්ලනවා නම් ඉල්ලන්නේ කිසි වියදමක් නැතුව හොයාගන්න පුළුවන් කැලෑ කොළ ආදිය ටිකක් පමණයි…
වසර සියයක් ආයු ගෙවා එකසිය එක්වැනි වියට එළඹීමට දින පසළොසක් ඉතිරිව තිබියදී 1997 ජූලි මස 04 වැනි දින රාත‍්‍රී 8. 54 ට අප විසින් ධම්මචක්කප්පවත්තන සූත‍්‍රයේ එන ”චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.. යන දේශනා පාඨය සජ්ඣායනා කරමින් සිටියදී අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනායක මාහිමිපාණන් වහන්සේ සිහි නුවණින් යුතුව අපවත් වූහ.