යාපනයට අමතරව මන්නාරමත් ජලයෙන් යටවෙයි
අධික වර්ෂාව හේතුවෙන් යාපනයට අමතරව මන්නාරමේ ප්‍රදේශ කීපයක් ජලයෙන් යටවීම නිසා ඊයේ (24 දා) වන විට පවුල් 2045කට අයත් පුද්ගලයන් 7768ක් විපතට පත්ව සිටිති.
තවත් පවුල් 107කට අයත් පුද්ගලයන් 2134 දෙනෙකු ඔවුන්ගේ ඥාතී නිවෙස්වලට ආරක්ෂාව පතා ගොස් සිටිති.
වර්ෂා ජලයෙන් නිවාස යටවීම නිසා නිවාසවල ජීවත් වීමට නොහැකි වැසියන් ඒවායින් ඉවත්ව වෙනත් ආරක්ෂිත ස්ථාන කරා යන්නට පටන් ගෙන තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් මන්නාරමේ නිවාස තුනකට සම්පූර්ණ හානි හා තවත් නිවාස 11 කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.
මන්නාරමේ මුහුදු වෙරළේ ගාල්කොට තිබූ ධීවර බෝට්ටු කීපයක්ම මුහුදට ගසාගෙන ගොස් ඇති අතර ධීවරයන් මහ වැස්සේම ඔවුන්ට අයත් යාත්‍රා ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගොස් ඇත.
පාසල්, ආගමික ස්ථාන හා වෙනත් ගොඩනැඟිලි වල රැඳී සිටින විපතට පත් පිරිස්වලට පිරිසට පිසූ ආහාර සපයා දීමට අවශ්‍ය පියවර මන්නාරම දිසාපති කේ. කනකේශ්වරන් මහතා විසින් ගෙන තිබේ.
විපතට පත් පිරිස් අතර ගැබිනි මව්වරු හා අත දරුවන් සිටින බැවින් වහාම ඔවුන්ව ඉතා පහසු ප්‍රදේශ වල රඳවා තබන ලෙසටද දිසාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
වර්ෂාව නිසා වැඩිම පිරීසක් විපතට පත්ව සිටින්නේ මන්නාරම නගරය, සවුත් බාර්, එමිල් නගර්, ශාන්තිපුරම්, සිම්රෝන් නගර් යන ප්‍රදේශවලය.
දිනසේන රතුගමගේ