සමාජ – දේශපාලන අංශවල පමණක් නොව, මෙරටේ බහුතර ජනතාව තුළ ද ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවිනිශ්චිත බව කුතුහලය තවමත් දුරු වී නැත. ඉකුත් 17 වැනිදා ඒ සැක සංකා දුරලමින් ජනාධිපතිවරණය පිළිබඳව නිල නිවේදනයක් කිරීමට මැතිවරණ කොමිසමට නීත්‍යානුකූල බලය හිමි විය. මේ ලියන මොහොත වන විට ජනාධිිපතිවරණය සඳහා අදාළ ගැසට්ටුව ප්‍රකාශයට පත්කර තිබේ.
කුමක් වුවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී ක්‍රියා කළ ආකාරය බොහෝදෙනකුගේ විවේචනයට මෙන්ම චෝදනාවලට ද ලක් විය. විපක්ෂයෙන් පවා ප්‍රකාශ වූයේ කොමිසම තමන්ට නීත්‍යානුකූලව ජනාධිපතිවරණය සම්බන්ධ නිල නිවේදනය කිරීමට හිමි වූ අවස්ථාවේදීම අදාළ කාර්යභාරය කළ යුතුව තිබුණු බවය. කොමිසම තෙපරබාමින් සිටින පසුබිමක තවත් දේශපාලන අංචියක් ඇදීමට කාලයත් අවකාශයත් සැලසෙන බව බොහෝදෙනකුගේ විවේචනය විය.
මේ රටේ තිබෙන සමාජ දේශපාලන වාතාවරණය මෙන්ම බොහෝවිට බලයේ සිටින ආණ්ඩුවල කූට හා දුෂ්ට මෙහෙයුම් පිළිබඳව මැතිවරණ කොමිසම නොදැන සිටිය නොහැක. පළාත් පාලන ඡන්දය අතුරුදන් කළ මේ ආණ්ඩුවේ කැරැට්ටුව කෙබඳුදැයි අපටත් වඩා ඔවුහු දැන සිටිය යුතු වෙති. හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වන මහින්ද දේශප්‍රිය ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටි හා අදටත් පෙනී සිටින ඍජු නිලධාරියෙකි. වත්මන් මැතිවරණ කොමිසමට කවර හෝ දේශපාලන රාහු කෙනෙක් බැල්ම හෙළා එහි සභාපතිවරයා නීච භංගයකට හසු කර තිබේ දැයි අපට ද ප්‍රශ්නයකි. ඒ නීච භංගය කපා හැරීමට සභාපතිවරයා උච්චස්ථානයට පත්ව රජ විය යුතු යැයි ජ්‍යොතිෂය විශ්වාස කරන අය නම් පවසති. එහෙත් ඒ කිසිවක් අපට අදාළ හෝ තර්කානුකූල දේවල් නොවේ. ලබන සැප්. 17ත් ඔක්. 17 අතර දිනයක මැතිවරණය පැවැත්විය යුතු බවද කොමිසම කියයි. මේ වනවිටත් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු විවිධ පිරිස් ඒ සම්බන්ධව මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කළ බවද වාර්තා විය.
කුමක් වුවද මැතිවරණය පිළිබඳ අදාළ නිල නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සඳහා ආණ්ඩුවේ කිසිදු මැදිහත් වීමක් නොමැති බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පමණක් නොව, වෙනත් අදාළ නිලධාරීන් විසින් ද ප්‍රකාශ කරනු ලැබ තිබුණි. මැතිවරණ නිරීක්ෂණ කටයුතු කරන ඇතැම් සංවිධානවල විවේචනයක් වන්නේ ආණ්ඩුව සංවර්ධන ක්‍රියාකාරකම් මුවාවෙන් මහජන මුදල් නීති විරෝධී ලෙස භාවිත කරන බවය. ඒවා ඍජුවම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනු ඇතැයි සිතන ජනාධිපති රනිල් වෙනුවෙන් සිදුවන බවද කියනු ඇසෙයි. එහෙත් මේ වනවිටත් ජනාධිපතිවරයාගේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ප්‍රජා උපදේශක කමිටු පිහිටුවීමේ චක්‍රලේඛය ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් අත්හිටුවා තිබේ. එබඳු සාධනීය ප්‍රතිචාර සිදුවුවත් මේ ආණ්ඩුව කුමන හෝ දහම් ගැටයක් ගසා ජනාධිපතිවරණය අතුරුදන් කරනු ඇතැයි යන සැකය බොහෝදෙනකුට තිබේ. කුමක් වුවද දැන් සෑහෙන කලක පටන් මේ රටේ තිබෙන සමාජ දේශපාලන කැළඹිල්ලටත් එහිම නියත ඵලයක් ලෙස ජනතාව පත්වන අවිනිශ්චිත හා ව්‍යාකූලත්වයටත් මේ ආණ්ඩුව වගකිව යුතුය. එය තුළින් ප්‍රබුද්ධ පුරවැසියන් පමණක් නොව, යම් ප්‍රමාණයක හෝ දේශපාලන සාක්ෂරතාවක් සහිත ජනතාවත් දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානියත් පක්ෂ දේශපාලනයේ දෙදරීමත්ය.
මේ තත්ත්වයන් ජාත්‍යන්තර දේශපාලනයේ ද තිබෙන බව සමාජ – දේශපාලන විචාරකයෝ තහවුරු කරති. ඉන්දියාවේ මෝදි යළි බලයට පත්වූයේ සභාග ආණ්ඩුවක් ලෙසය. බි්‍රතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයත් ඒ සමග සිටි ප්‍රභූ පන්තියත් පසුබස්වා කම්කරු පක්ෂයට බලය හිමි වී තිබේ. ලේබර් පක්ෂයේ නායක කෙයර් ස්ටාමර් දක්ෂිණාංශයට නැඹුරු නායකයෙක් ලෙස පිළිගනු ලැබේ. බි්‍රතාන්‍යයේ ජනතාව පීඩනයට පත් කළ ආර්ථික ප්‍රතිපත්තිවල වෙනසක් අද ඒ ජනතාවට වුවමනා වී තිබේ. වසර 14කට පසු බි්‍රතාන්‍යයේ සිදුවූ ඒ පෙරළිය කිසිවෙක් අපේක්ෂා නොකළ එකකි. අද බි්‍රතාන්‍ය ජනතාවට අවශ්‍යව තිබෙන්නේද දුගී ජනතාවටත් වැඩ කරන ජන කොටස්වලටත් සංවේදී පාලනයකි.
ඇමෙරිකාවේ ජනාධිපතිවරණය තුළ ඇත්තේද අවුලකි. ජෝ බයිඩන්ට ජනාධිපතිවරණ සටනේ තවදුරටත් එල්ලී සිටීමට නොහැකි වූයේ ඔහුගේ ශාරීරික හා මානසික දුබලතාවන් නිසා පමණක් නොව, ඒ දේශපාලන අවුල් ජාලය ද නිසාය. එහෙත් ප්‍රශ්නය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ සමාජ දේශපාලන අවුල් නිරාකරණය කළ හැකිද යන්නයි. ඇතැම් සමාජ දේශපාලන විචාරකයන්ට අනුව නම් එළැඹෙන ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයගතහොත් ඔහු නීතියටත් උඩින් සිටින ජනාධිපතිවරයෙක් විය හැකිය. බයිඩන් වෙනුවට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය උප ජනාධිපතිනි කමලා හැරිස්ට ලැබෙනු ඇතැයිද ජගත් මාධ්‍යවල විශ්වාසය වී තිබේ.
ඒ කුමක් වුවත් මේවායින් පෙනී යන්නේ ලොව ධනවාදී ප්‍රභූ දේශපාලනය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයත් අවුල් වී තිබෙන ආකාරයයි. එහෙත් මේ රටේ දේශපාලනය ඊට වඩා වෙනස්ය. එක් අතකින් එය ප්‍රභූ දේශපාලන තන්ත්‍රය නොඉවසන අලුත් වෙනසක් ඉල්ලා සිටින්නකි. පවතින ජනාධිපති රනිල් ඒ වෙනස හඳුනාගෙන සිටියත්, ඔහු පවතින සමාජ දේශපාලන රාමුව තුළ දෙපා රඳවා ගෙන සිටියි. නවීනත්වය හා ආර්ථික ප්‍රවණතාවන් පිළිබඳ විශ්ලේෂණ කිරීමට ඔහු සමතෙකි. එහෙත් ඔහුගේ දෙවසරක සමාජ – ආර්ථික – දේශපාලන ශේෂ පත්‍රය තුළින් අපට දැකගත හැකි වෙනස කුමක්ද? දරිද්‍රතාව පිළිබඳ යථාර්ථය කුමක්ද?
කෙසේ හෝ අද රටම බලා සිටින්නේ ජනාධිපතිවරණයකින් හෝ ඒ සමාජ – ආර්ථික – දේශපාලන සන්දර්භය වෙනස් කිරීමටය. ඒ වෙනස මේ වැඩවසම් ප්‍රභූ දේශපාලනයට ඔබ්බෙහි තිබෙන අලුත් ‘පුනරුද’ අපේක්‍ෂාවකි. ඒ පුනරුද ප්‍රාර්ථනාව 2022 විරෝධතාව තුළ ද අන්තර්ගත වූවකි. එහෙත් ජනාධිපති රනිල් ඒ පිළිබඳ සංවේදී නොවූ අතර යම් ප්‍රමාණයකට ඒ වැඩවසම් ක්‍රමයම නඩත්තු කිරීමට සූදානම් වූවෙකි. 2022 විරෝධතාව පිළිබඳ ගැඹුරු කියවීමක් ඔහුට තිබුණත් ඔහු එයට සංවේදී නොවූ දැඩි පාලකයෙක් බව ඔහුගේ ක්‍රියාකාරකම්වලින් පැහැදිලිවේ. ඔහු මේ පවතින ක්‍රමයෙහි ආරක්ෂකයා බවට පත්ව සිටියි. මහජන මතය නිර්බාධිතව ප්‍රකාශ කිරීමට අවකාශ නොදීමත්, ප්‍රජාතන්ත්‍රවාදය මතුරමින් එය විකසිත වීමට ඉඩ නොදීමත් ජනාධිපති රනිල්ගේ ගෙවී ගිය පාලන සමය තුළ අපට දැකගත හැකි ලකුණු විය.
ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුව විසින් දක්වන ලද ප්‍රතිචාර අතිශය විවාදාත්මක විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැවැත්වීමට නියිමිත ජනාධිපතිවරණය මගහැර යෑමේ ක්‍රියාදාමය. ආණ්ඩුවේ අවශ්‍යතාවක් බව බොහෝ දෙනෙකුගේ අදහසය. ඉතා සැකෙවින් කිවහොත් ජනාධිපතිවරණය කල්දැමීමේ අභිප්‍රාය ඇතිව දියත් වූ ප්‍රමුඛ මෙහෙයුම් දෙක වූයේ ව්‍යවස්ථාවේ එන ජනාධිපති ධුර කාලය ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් වීමය. ඒ දෙකම නිෂ්ප්‍රභා වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අදාළ පෙත්සම්කරුවන්ට දෝෂාරෝපණ පවා සිදුකළ බවද වාර්තා විය. කුමක් වුවත් මේ පෙත්සම්කරුවන් විසින් ඉල්ලා සිටින ලද වාරණය නොලැබීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස බොහෝ දෙනෙක් කීහ. ඒ පෙත්සම්කරුවන් හා ජනාධිපති රනිල්ට හෝ ඔහුගේ පාර්ශ්වයට සබඳතාවක් නොවූ බව ප්‍රකාශ වුවත්, ඉන් සිදුවූ අවමානය අපකීර්තිය ඔවුන්ට එල්ල විය.
මේ පෙත්සම්කාරයන්ගේ ක්‍රියාදාමය නිෂ්ප්‍රභ වෙද්දී ජනාධිපති රනිල් විසින් ම කැබිනට් මණ්ඩලයට 22 වන සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීම අතිශය ආන්දෝලනාත්මක කරුණක් විය. ඒ යෝජනාව ගැසට් නොකරන ලෙස අධිකරණ ඇමැති විජයදාස නියෝග කළත් ජනාධිපති ඔහුගේ ප්‍රතිචාරය නොඉවසූ බවද පැහැදිලි විය. ජනාධිපතිගේ නියෝගය අනුව සංශෝධනය ගැසට් කිරීම සිදුවිය. එය නාට්‍යමය උත්ප්‍රාසය දනවන ප්‍රතිචාරයක් බදුවිය. එහිදී ඔහු ක්‍රියා කළේ “ධීර බලැති ජනපති වෙමි – ඕන ඇමැතියෙක් මැඬලමි” යන මානයකින් යුතුව නොවේද?
ජනාධිපති රනිල් ඒ පිළිබඳ දැක්වූ ප්‍රතිචාරද විවාදාත්මක විය.
ජනාධිපති රනිල් 22 වැනි සංශෝධනයේ අරමුණ සාධාරණීයකරණය කරන්නේ එදා ඒ කාර්යයටදායක වූ ජයම්පතිගේ වෘත්තීය පළපුරුද්ද නොසෑහුණු බව පවසමින්ය. ජනාධිපති රනිල් එබඳු කටයුතු පවරන නීතිඥ චොක්සි ඒ වනවිට දිවංගතව සිටි නිසා ජයම්පතිව තෝරා ගත් බව ඔහු කීවේය. එපමණක් නොව, අත්දැකීම් අඩුවීම නිසා ඒ වරද සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටීම ද විශේෂත්වයකි. එහෙත් ඔහුගේ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ ආචාර්ය ජයම්පති සඳහන් කළේ එදා ඒ සංශෝධන සැකසූ රාමුව වෙනස් එකක් බවය. ජනමතවිචාරණයකට නොගොසින් ඒ කටයුතු කිරීමේ සීමාබට යටත්ව ක්‍රියාකළ බව ඔහු පැවසූ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල ද එය තහවුරු කළේය. දෙමළ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ද ඒවා නිවැරදි බව කීවේය. මේවා මේ අයුරින් සිදුවීම යෝග්‍ය නොවන බව පමණක් අපට කිව හැකිය. ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා කීපයක දීම ජනාධිපති ධුරකාලය වසර පහක් බවට තීන්දු දී තිබියදීත් තකහනියේ ඒ ව්‍යවස්ථා ඇදය ඇරීමට ආණ්ඩුවට තිබෙන වුවමනාව කුමක්ද? ඒ ක්‍රියාදාමය සද්භාවයෙන් කරන ලද්දක් ලෙස ජනතාවට පිළිගත හැකිය. බොහෝ දෙනෙක් සඳහන් කළේ ආණ්ඩුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් භීතියකට පත්ව සිටින බවය.
මෙම 22 වන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධ ක්‍රියාදාමය සරල එකක් නොවන බව ආණ්ඩුව ද දනී. එහෙත් එය අත් නොහැරීම පැහැදිලිවම දේශපාලන මුරණ්ඩුකමකි. ඇත්තටම ජනාධිපති රනිල්ගේ විධායක ශෛලිය ඔහුගේ දේශපාලන ගුරුවරයා වන ජේ. ආර්. ජයවර්ධනට ද වඩා වෙනස්ය. මේ බව හිටපු අගවිනිසුරුවරයකු වූ සරත් එන්. සිල්වා විසින් ද අවධාරණය කරනු ලැබ තිබුණි. අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ලෙස ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට හා නීතියට ද උඩින් පනින්නේ නම් එයට රාජපක්ෂවරු ද වගකිව යුතුවෙතියි හිටපු අගවිනිසුරුවරයා පවසා තිබුණි.
ජනාධිපතිවරයා විසින් පසුගියදා නීතිපතිවරයාගේ (සංජේ රාජරත්නම්ගේ) ධුරකාලය දීර්ඝ කිරීමට ගත් උත්සාහය ද නීති ක්‍ෂේත්‍රයේ විවේචනයට ලක් විය. එය වසර 76ක් පුරා තිබුණු සම්ප්‍රදාය බිඳ හැරීමට ගත් ප්‍රයත්නයක් ලෙස ද සමහරකු හැඳින්වූහ.
ඇත්තටම විධායකය විසින් ක්‍රියා කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මෙන්ම ව්‍යවස්ථාමය සම්ප්‍රදායන්ට ද ගරු කරමින් බවට සැකයක් නැත. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන කුලුනු තුන සමබරව ස්වාධීනව එහෙත් අන්‍යොන්‍ය අවබෝධයකින් ක්‍රියා කළ යුතු බවද අද බොහෝවිට නීති ක්‍ෂේත්‍රවල අවධාරණයක් බවට පත්ව තිබේ. එයට හේතුව විධායකයේ ප්‍රතිචාර බවද රහසක් නොවේ.
දින කීපයකට පෙර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධීකරණය විසින් ලබාදෙන ලද නියෝගය ගැන ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විමර්ශනය කළ යුතු බවට කරන ලද ප්‍රකාශය ද දැන් විවාදයට තුඩුදී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සම්බන්ධයෙන් ආණ්ඩුවක ස්ථාවරය පැවැසීම ප්‍රශ්නකාරී බවද සමහරු පවසති.
මේ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය සමග මෙන්ම රටේ සංස්කෘතික හා චර්යාධර්ම සමග ද ගැඹුරු කියැවීමක් තිබේද යන ප්‍රශ්නය අද සමාජ දේශපාලන අංශවලින්ද මතු කර තිබේ. මේ රටේ චිරාගත සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ නොතකමින් සුළුතර පිරිසකගේ අවිචාරවත් අවශ්‍යතා සපුරා දීමට මේ ආණ්ඩුව ක්‍රියා කරන බවට ද චෝදනාවක් ඇත. පසුගිය දිනවල ත්‍රෛනිකායික මහා නායක හිමිවරුු ඒ චෝදනාව නඟමින් ජනාධිපතිවරයාට ලිපියක් යැවීමට ද පියවර ගෙන තිබුණි. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන සමරිසි පනත් කෙටුම්පත අරභයා දැක්වූ විරෝධයකි.
මේ සම්බන්ධයෙන් අපේ පළමු විධායක ජනාධිපතිවරයා මෙන්ම එ.ජා.ප.යේ නායකයකු ද ජේ. ආර්. ජයවර්ධන විසින් කරන ලද අගනා ප්‍රකාශයක් උපුටා දැක්විය හැකිය.
ලෝකයේ යම් ජාතියක් දියුණු වෙලා තියෙනවා නම් ඒ ජාතීන් දියුණු වෙලා තියෙන්නේ තමන්ගේ සංස්කෘතිය ආරක්ෂා කරමින්. සාහිත්‍යය දියුණු කරමින් රෙගුලාසි අනුව, නීතිය අනුව, විනය අනුව කටයුතු කළ නිසයි. ජාතිය උසස් කිරීමට, නැවතත් ලෝකයේ උසස් ජාතියක් වීමට, අපේ සංස්කෘතිය දියුණු කිරීමට ලේඛකයන්ට උදව් කරන්නට ඕනෑ….
(1978 සැප්තැම්බර් 16 වැනිදා මාදම්පේ සාහිත්‍ය උත්සවයේදි)
අද සමරිසියන්ගේ මනදොළ සපුරා දීමට පමණක් නොව, නිරාගාමික සමාජයක් අපේක්ෂා කරන අයට ද සිතා බැලීමට යමක් මෙහි ඇති බව පමණක් සඳහන් කළ යුතුය. නූතනත්වය මෙන්ම නවීන තාක්ෂණය සම්බන්ධයෙන් දක්වන උනන්දුව ජාතික සංස්කෘතික වටිනාකම් සුරැකීමට ද යොමු නොවීම අද රටක් වශයෙන් අපගේ පරිහානියට ද හේතු වී තිබේ.