නත්තලට ගමේ යන්න අමතර බස් 100ක් දුම්රියත් සූදානමින්

45

නත්තල සහ පාසල් නිවාඩුවත් සමග ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ හා දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ සියයක් යෙදවීමට පියවරගෙන ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසයි. එම බස් රථ ධාවනය ඊයේ (22 දා) සිට ආරම්භ කළ බව ද ඒ මහතා සඳහන් කළේය.

උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව අද (23 දා) සිට ආරම්භ කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි (ගමනා ගමන) එන්.ජේ. ඉදිපොල මහතා පැවසීය.

ඒ අනුව කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය විශේෂ කාලසටහනකට අනුව සිදු කෙරෙන බවත් එය මෙම මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අතර පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පැවසුවේ 25 වැනිදා නත්තල් දින සහ 26 වැනිදා උඳුවප් පොහෝ දින පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් සිදුවන බවය. එම දින දෙකෙහි බස් රථ රියැදුරන් බොහෝ දෙනෙක් නිවාඩු ගන්නා බව දැනුම් දී ඇතැයි ද එම සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment